A+ R A-

සෙලවෙන සියල්ලට වෙඩි තැබීමේ හිස්ටීරියාව හා මාධ්‍ය නිදහස

E-mail Print PDF

 

altමාධ්‍ය මර්දනය සඳහා මාධ්‍යවේදීන් හඹා එන බවට අවසන් වරට අපි වාර්තා කළේ ජුනි 24වැනිදා ජනරළ මුල් පිටුවෙනි. ඊට දින 05කට පසු ජුනි 29වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් srilankamirror, sri lankaxnewsවෙබ් අඩවි දෙකෙහි මාධ්‍යවේදීන් නවදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. එම අත්අඩංගුවට ගැනීමෙන් දින 06කට පසු මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය නුගේගොඩ දී පැහැර ගැනීම වැරැදී ගියේ ශාන්ත සතුව පැවැති තීක්ෂණ බව නිසා මිස පැහැර ගැනීමට උත්සාහ කළ කණ්ඩායමේ නොහැකියාව මත නොවන බව පැහැදිලිය.

කන්‍යාවියන් සොයාගොස් බැල්කනිවලින් ඇදවැටී කකුල් බිඳීම, මන්දිරවල අගබිසව නැති දිනක ඇඳ ඇතිරිලි අවුල් වී තිබීම හෝ අන්තඃපුරවල කෙහෙවලූ පටලවා ගැනීමේ පරිවාර කතා පිළිබඳ  ඕපාදූප ලිවීම, මාධ්‍ය නිදහස හා පටලවා ගැනීමේ අවශ්‍යතාවක් අපට නැත. එහෙත් චරිත ඝාතනය කරන්නන් හා මාධ්‍ය යොදාගෙන ‘ගේම් ගසන්නන්ගේ වැඩ’ හා අප සමග එකට පටලවා ගැනීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට ඇති බව පැහැදිලිය. මාධ්‍ය යොදාගෙන ගේම් ගැසීමේ කලාව හා අපගේ මාධ්‍ය භාවිතාව අතර ඇත්තේ කිසි දිනෙක යා නොවන සුවිසල් පරතරයකි. ශාන්ත විජේසූරිය පැහැර ගැනීමට උත්සාහ දැරීම මාධ්‍ය නිදහස හා අප අතර සබඳතාව ගොඩනැෙඟන්නේ එතැනිනි.

මාධ්‍යකරුවකු ලෙස පළල් සමාජ කියවීම් හමුවේ ශාන්තගේ ප‍්‍රශ්න කිරීම් දැඩිවිය හැකිය. දේශපාලන ධාරාවේ ඔහුගේ විවේචන රළුය. මාධ්‍යකරුවකු ලෙස එය ඔහුගේ අයිතියයි. පෙර අවස්ථා දෙකකදී පැහැර ගැනීමට උත්සාහ දැරූ ඔහු තෙවන පැහැර ගැනීමෙන් ද ගැලවී අප අතරට පැමිණ ඇත. මේ ඔහුගේ වචනය.

‘‘මම නුගේගොඩට ආවේ අහම්බෙන්. එතනදි යාළුවෙක් එක්ක ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය පිටුපස තේ කඩයට ගොඩවැදුණා. එතනදී මට දැනුණා එක් පුද්ගලයෙක් අප ගැන විමසිල්ලෙන් සිටින බව. අනතුරක් ඉව වැටුණු නිසා මම එතනින් ඉවත්වෙලා වෙළෙඳසලකට ආවා. එතනින් එළියට එනවිට අර පුද්ගලයා තවත් අයෙක් සමග එම වෙළෙඳසල ඉදිරිපිට සිටියා. මම හැකි ඉක්මනින් එතනින් ඉවත්වෙලා ගියත් එක් පුද්ගලයෙක් මගේ පිටුපසිනුත් අනෙක් කෙනා එළිමහන් රංග පීඨය දෙසිනුත් මාව වටකරගැනීමේ අදහසින් එන බව දැනුණා. පසුව මා නැවතත් ආපු ස්ථානයට යාමට උත්සාහ කළා. ඒත් ඉදිරියට එනවිට තවත් සැක සහිත දෙදෙනෙක් ඉදිරියෙන් දුටු නිසා පාර පැනීමට උත්සාහ කිරීමේදී තවත් කෙනෙක් මගේ කමිසයේ කොලරයෙන් අල්ලා ඔහු ළඟට ඇඳලා ගත්තා. ඔහුගේ අතට පහරක් ගසා ඉවත්ව තී‍්‍රවීලරයකින් මගට ආවා. මෙම පුද්ගලයන් උසාවියෙත් දේශපාලන රැස්වීම්වලදිත් මා දැක තිබෙනවා. ඔවුන් ආරක්ෂක අංශ සමාජිකයන් විය හැකියි. මේ පිළිබඳව මම 2012/07/06දින පොලිස්පතිවරයාට ලිඛිතව පැමිණිලි කර තිබෙනවා. මීට පෙරත් මම මව්බිම පුවත්පතේ සේවය කරමින් සිටියදී ජාතික බුද්ධි තොරතුරු ඒකකයේ ආනන්ද ජයමාන්න නමැති අයෙක් පී.බී. 9654අංකය දරන සුදු වෑන් රථයෙන් පැමිණ මට තර්ජනය කළා. එමෙන්ම මම පදිංචි ප‍්‍රදේශයට පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් නිවස අසල සැරිසරා තොරතුරු විමසා තියෙනවා. මේ පිළිබඳව පිළියන්දල පොලිසියට මගේ මව විසින් පැමිණිල්ලක් කළා. මේ පැහැර ගැනීමේ උත්සාහය පිටුපස රජයේ ආරක්ෂක අංශ සිටිනවා යැයි මම විශ්වාස කරනවා.’’

ශාන්ත විජේසූරිය අත්අඩංගුවට ගැනීමට වඩා ඇත්තේ ඔහු පැහැරගෙන යාමේ අවශ්‍යතාවකි. මාධ්‍යවේදී එක්නැළිගොඩ පැහැර ගැනීමෙන් පසු අදටත් තොරතුරක් නැත.  දේශපාලකයන් විවේචනවලට බියෙන් මාධ්‍යකරුවන් පැහැර ගැනීමෙන්, ඔවුන්ට ලැබෙන දෙයට වඩා සමාජයට අහිමි කරන දේ වඩාත් බරපතළය. සෙලවෙන සියල්ලට වෙඩි තැබීම, හිස්ටීරියාවෙන් පෙළෙන ‘බියපත් සොල්දාදුවාගේ’ හැසිරීමය. ඊට වැඩියමක් එවැන්නකුගෙන් බලාපොරොත්තු විය නොහැකිය. සිදුවීම් ඉදිරියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස හා සමාජ සාධාරණය මෝසම් වර්ෂාව මෙන් අහසින් ලැබෙන තුරු බලා සිටීම කවර සමාජ සදාචාරයකට යටත් වන්නේදැයි මාධ්‍යකරුවන් තම තමන්ගේ හෘදය සාක්ෂිවලින් විමසිය යුතු මොහොත පසුවෙමින් තිබේ. එම පමාවෙන් ඊයේ එක්නැළිගොඩය. අද ශාන්තය. හෙට මම විය හැකිය. අනිද්දා ඔබය. පසුදිනයේ සමාජ අසාධාරණය ප‍්‍රශ්න කරන මුළුමහත් මිනිස් කැලම පැහැර ගැනීමට ලක්ව මෙබිමෙන් අතුරුදන් විය හැකිය.

 

ධනූ රාමවික‍්‍රම

This content has been locked. You can no longer post any comment.

පුවත්

Advertisment

advertisment