A+ R A-

‘ස’ - සමුගැනීම අබියස සහෘද සටහනක්

E-mail Print PDF

 

altවික්ටර්!

බතක්, වතක්, ගෙයක්, දොරක්

ලද පමණින්

රස්සාවක් ලද පමණින්

විමුක්තියක් ලැබිය හැකිද?

අසහනයෙන් මිදිය හැකිද?

සංසාරේ නිරන්තරව තැවරී ඇති

දුක එතනින් නිමා වේද?

                                    ප‍්‍රබුද්ධ -පිටුව 88

තම ප‍්‍රබුද්ධ කාව්‍ය සංග‍්‍රහය ඔස්සේ මෙසේ ප‍්‍රශ්න නඟන ලද්දේ මහගම සේකර කවීශ්වරයා විසින් යැයි අපි දන්නෙමු. එහෙත් සේකරයන් එලෙස පිළිවිසූයේ, දශක හතරකට අධික කාලාන්තරයක් තිස්සේ සුවහසක් රසික සිත් සතන් නිවා සනහාලූ, ගී අඩවියේ භද්‍ර යෞවන කිරුළට උරුමකම් කියූ, සිහිල් සුළං රැල්ලක් සේ පාවී අවුත් සහෘද ගිම් නිවාලූ, අනභිභවනීය, අසහාය ගායනවේදී අපේ ‘වික්ටර්’ ගෙන් නම් නොවේ.

සේකරගේ ‘වික්ටර්’ බතක්, වතක්, ගෙයක්, දොරක් නොමැති මිනිසුන් වෙනුවෙන් සටන් වැද සිටින කල මේ අපේ ‘වික්ටර්’, ගායනවේදී ‘වික්ටර්’ ඒ කිසිවක් නැති මිනිසුන්ගේ දුක් දොම්නස් තමනට හැකි පමණ තුනී කරන්නට උත්සුක වෙමින් ඔවුන්ගේ අවරසිකත්වයේ අඳුර දුරුකරන, රසිකත්වය නමැති ප‍්‍රදීපය දල්වන්නට ප‍්‍රථම පියවර තැබුවේය. එම පියවර මටසිලූටු සෞන්දර්ය චාරිකාවක් නොවූ වග අපේ ‘වික්ටර්’ ගේ අතීතයට එබී බැලීමෙන් වටහාගත හැකිය.

අයුක්තියට, අවනීතියට, පවතින සමාජ සැකැස්මට එරෙහි වූ සේකරගේ ‘වික්ටර්’ මෙන්ම අපේ ‘වික්ටර්’ ද ඒවාට එරෙහිව නැඟී සිටියේය. නොබා කිපුණේ ය. කිවයුතු දේ කෙළින්ම මූණටම

කීවේ ය. එහෙත් එබඳු දේ ප‍්‍රකාශ කරද්දී පවා ඔහුගේ ස්වරය සුසිනිඳු විය. එබැවින් විවේචනය තියුණු ඊ සරයක්ව ඇඟ මස සිදුරු කර හදවතට වදිද්දී වුව වේදනාවක් නොවී ය. අප ඒ වග වඩාත් හොඳින් ප‍්‍රත්‍යක්ෂ කරගත්තේ නිශ්ශංක දිද්දෙණියගේ ‘ගී රන් මාලා’ කැසට් පටය දොරට වැඩි දා ය. එදා අපේ ‘වික්ටර්’ කළ කතාව වර්තමානයේ සංගීත හා ගීත ක්ෂේත‍්‍රය පත්ව තිබෙන කාලකණ්ණි, මුස්පේන්තු, දඩිබිඩි ස්වභාවය අරබයා කළ අගනා පුරෝකථනයකි. එවන් කතාවක්, එවන් අදහස් දැක්වීමක්, එවන් නිර්භීත භාවයක් එතෙක් ගායන ක්ෂේත‍්‍රයේ නියැළි කිසිවකුත් දක්වා නොතිබිණ.

රාජ්‍ය යන්ත‍්‍රයට නිර්ලජ්ජිතව දාසකම් කරන කලා විහීනයන්ට එරෙහිව ඔහුගේ හඬ තියුණුව නැ`ගුණ අවස්ථා අපේ මතකයේ තැන්පත්ව තිබෙන අතර ඔහුගේ ගීයකට සිදු වූ අසාධාරණය වෙනුවෙන් නීතියේ පිහිට පතා අධිකරණයට ද ගියේ ය. එහෙත් නීතියේ පිහිට ලද්දේ ඔහු නොවේ.

මේ අපේ ‘වික්ටර්’ හුදී  ජන ප‍්‍රසාදයට පත්වන්නේ, අන් කවර හේතුවක් නිසාවත් නොව. ඔහුටම උරුම වූ, ඔහුටම අනන්‍ය වූ, ඔහුටම විශේෂිත වූ, මන මෝහනීය ගායන ශෛලිය නිසාම ය.

ඔහුු වයලීන වාදකයෙක්, හාමෝනියම් වාදකයෙක්, සංගීතඥයෙක් වූ බව සැබැවි. ඒ සියල්ලම පිටු බලය සැපයුවේ ඔහු ගායකයෙක් ලෙස මතුකර දක්වන්නට ය. දිවයින සිවු දෙසේ විසූ, රසික ජන රංජනය කළ ආනන්දනීය වූ, රුචිකර වූ, මධුර වූ, හැඟුම් දැන වූ ඔහුගේ ගායන විලාසය ඔප් නංවන්නට ය.

එහි ප‍්‍රබල ම, උච්චතම අවස්ථාව සනිටුහන් වූයේ 1973වසරේ ජූලි මස 20වැනි දා ය. ඒ අපේ ‘වික්ටර්’ ගේ ‘ස’ ප‍්‍රසංගයේ ආරම්භක දිනය යි.

අපේ ‘වික්ටර්’ ගේ මංගල ‘ස’ ප‍්‍රසංගය නරඹන්නට, විඳින්නට ලූම්බිණියට ගිය අපට ප‍්‍රවේශපත‍්‍ර ලබාගැනීමට තබා දොරටුවෙන් ඇතුළු වීම ද කළ නොහැකි විය. අසරණ වූ අපේ පිහිටට ආයේ අයි. පී. බී. යේ සෝමපාල හේවා කපුගේ ය. ඔහු ප‍්‍රසංගයේ සංවිධායකයෙක් විය. ඔහුට පින් සිදුවන්නට දොරටුවෙන් රිංගාගත් අපට, ඔහුගේම උදව්වෙන් ලූම්බිණි වේදිකාව ඉදිරියේ බිම හිඳගන්නට ද හැකි විය. එයද වේදිකාවට හරියටම මුහුණලා නොව අඩක් පසුපස හරවා ය. ඒ භූමි භාගයේ ද එතරම්ම පිරිසකි. ඇතැම්විට ඔවුන් ද අප මෙන්ම ලූම්බිණියට ඇතුළු වූ සෝමපාල හේවාකපුගේ ගේ සගයන් වන්නට ඇත. අසීරුවට වාඩිගෙන සිටියත් ‘වික්ටර්’ ගේ මුවින් පෙරී ආ ගී මිහිර විඳගන්නට එය කිසිදු බාධාවක් නොවූ බව මට අද ද සිහිපත් කළ හැකිය.

අනතුරුව කොළඹ ආශි‍්‍රතව පැවති ‘ස’ ප‍්‍රසංග බෝහෝවකට සහභාගි වන්නට අපට හැකි විය. මෙහි දී අපේ පිහිටට ආයේ උපාලි වීරසිංහ (ආලෝක ශිල්පී), ආනන්ද බස්නායක (ඩෙ‍්‍රස් සෙන්ස් - බම්බලපිටිය), සෝමපාල හේවාකපුගේ (අයි.පී.බී.) සහ ඔහු සොයුරු ‘ඉස්කෝල මහත්තයා’ ය. ඒ ඒ තැන්වල පැවැත් වූ ‘ස’ ප‍්‍රසංගවල සමරු පොත් අලෙවිය, දොරටු රැක සිටීම ආදී කුදු මහත් කටයුතුවලට උර දෙමින් ප‍්‍රසංගය රසවිදීමේ අවස්ථාව හිමිකරගැනීමට හැකිවීම අප ලත් ජයග‍්‍රහණයකි. මේ සෑම ප‍්‍රසංගයකදී ම රසික ප‍්‍රතිචාර අප මවිත කර වූ බව කිවයුතු නැත. ප‍්‍රසංගය ආරම්භයේදී නැගෙන අත්පොළසන් නාදයත් අනතුරුව ඇතිවන ගැඹුරු නිහැඬියාවත් කිසිවකුට කිසිදා අමතක නොවේ.

එහෙත් මේ කිසිවකට වඩා අපට වටින්නේ නමෙහි අරුත පරිදිම සිය ජීවිතය ජය ගැනීමෙහි ලා අපේ ‘වික්ටර්’ තුළ වූ නිසග හැකියාවය. අදිටනය. අදීනත්වය ය. සියලූ බාධා මැඬ ඉදිරියට යාම ය.

දශක ගණනාවක් තිස්සේ ප‍්‍රබුද්ධ - පීචං (මේ යෙදුම එදා බහුලව භාවිත විය.) ගායකයන් අතර දෝලනය වෙමින් පැවැති ගායන සම්ප‍්‍රදායන් හි දුරස් බව, උස් මිටි බව අකා මකා දමා එගොඩත්

මෙගොඩත් ගං යා කරලා පාලම සාදා දුන්නේ අන් කවරෙක්වත් නොව අපේ ‘වික්ටර්’ ය. ඔහු තැනූ ඒ පාලම පරිහරණයෙන් බොහෝ පිරිස් අවරසිකත්වයෙන් මිදී උසස් වින්දනයක්, සැබෑ අරුත්බර ගී

හඳුනාගැනීමක් කරා පා එසවූ බව නොරහසකි. අපේ ‘වික්ටර්’ විසින් අපේ ගීත ක්ෂේත‍්‍රයට කරන ලද අනුපමේය සේවාව එය බැව් මගේ හැඟීමයි. මෙනයින් අපේ  ‘වික්ටර්’ යනු ගී කෙතෙන් සරු අස්වැන්නක් නෙළා එයින් සුවහසක් ජනතාවගේ වින්දන දුෂ්පෝෂණය, සුපෝෂණයකට නැංවූ සැබෑ සංගීත චින්තකයකු ලෙස සැලකීම යුක්ති යුක්ත ය.

දැන් අපේ ‘වික්ටර්’ ‘ස’ ප‍්‍රසංගයෙන් සමුගන්නා බව කියවේ. අයෙක් වියපත් වන විට යෞවනයේ කිරුළ ඔහුගෙන් ගිලිහී යාම

ස්වාභාවික ය. එයට අනුගතවීම අපට පිළිගත හැකිය. එහෙත් ‘ස’ ප‍්‍රසංගය එහි උච්චතම අවස්ථාවට පත්වෙද්දී එය සරු ව්‍යාපාරයකැයි අපඛ්‍යානයන් අපමණ එල්ල වූ බව අපි දනිමු. ඒවාට ඍජු පිළිතුරු බැඳීමට අපේ ‘වික්ටර්’ පැකිළුණේ නැත. එවිට ඔහුගේ අදහස් වේගවත්ව ගලා ආයේ දිය ඇල්ලක් පරිද්දෙනි. කලාවෙන්, ගීතයෙන් විප්ලව කරන්නට උත්සාහ කළ අය ජනතාවගේ විරෝධය, විරෝධාකල්ප ගී බවට හරවා විකිණීම ව්‍යාපාරයක් නොවන්නේදැයි ප‍්‍රශ්න කළ ඔහු තමන්ගේ ව්‍යාපාරය ඊට වඩා අවංක, අහිංසක එකකැයි පෙරළා පිළිතුරු දුන්නේය. එදා, අප ද ඔහුගේ අභීත අදහස් අගය කරනු වස් ඔහු විසින් නැඟූ ප‍්‍රශ්න වඩා තීව‍්‍රව න`ගමින් ලිපි දෙකක් (විවරණ සඟරාවට හා සංදේශය ටැබ්ලොයිඞ් පුවත්පතට) ලියූ බව

අපට මතක ය.

සැබැවින් ම නිසරු පොළොවක අකලට සිට වූ පැළයක් සේ කේඩෑරි වෙමින් පැවැති සිංහල සරල ගීතයේත් විදග්ධයන්ගේ සම්භාවනාවට පමණක් ශේෂව පැවැති සම්භාව්‍ය ගීතයේත් සංකලනයෙන් අපූර්ව මාදිලියේ ගීත කලාවක් රසික කැලට දායාද කරන්නට උපස්ථම්භක වූ සෞන්දර්යවේදියාණ වූයේ අපේ ‘වික්ටර්’ ය.

පසුගිය කාලයේ අපේ ‘වික්ටර්’ සමාජ සේවාවට ද නැඹුරු වෙමින් ජාතික රුධිර බළකායේ යාව ජීව සාමාජිකත්වය ලබා ජාතික ලේ බැංකුව වෙනුවෙන් කටයුතු කරන බව මෙහි දී අපට සිහිපත් කර දුන්නේ ප‍්‍රවීණ රංගන ශිල්පී අමිත්ත වීරසිංහ සහෘදයා ය.

මේ සටහන අවසන් කරන්නට අපේ ‘වික්ටර්’ පැවසූ වදන් වැලක් සොයා වෙහෙසුණු මට උපකාරී වූයේ ‘මාරුතයේ මියුරු සර’

කෘතිය යි. එහි නිර්මාතෘ ගීතනාත් කූඩලිගම සහෘදයාට කෘතවේදීත්වය පුදමින් උපුටාගත් වදන් වැලය මේ.

‘‘සංගීතයෙන් මා ලැබූ දේ අපමණ ය. නොලැබූ දේ ද අපමණය. නොලැබූ දේ පිළිබඳව මසිතෙහි කිසිම දුකක් නැති අතර ලැබූ දේ ගැන ඉපිළෙන සතුටක් අද මට නොදැනේ. සෑම වියපත් වූවෙකුට ම එසේ දැනෙනවා ඇතැයි මම සිතමි. මගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන්, මගේ බිරිඳ, දරුවන් සතරදෙනා, මගේ ගුරුවරුන්, මා වටා සිටින ගීත රචකයන්, සංගීතඥයන්, වාදකයන්, නෑ හිතවතුන්, රසිකයන් ආදී පිරිවර පිළිබඳව කල්පනා වෙද්දී හෘදයාංගම පහන් සිතිවිල්ලක සිහිලසකින් මගේ ළය මඬල තෙත් වෙයි. ජීවිතයේ ඉතිරි ටික කාලය ගෙවාදැමීමට සැනසිලිදායක වටපිටාවක් මට එයින් ලබා දෙයි’’

වික්ටර් රත්නායක

මාරුතයේ මියුරු සර - පිටුව 149

ලිපියේ අවසානයට ළඟා වී ඇතත් නැවතත් මහගම සේකර ඔහුගේ ‘වික්ටර්’ අමතනු මට ඇසෙයි. ඒ ‘වික්ටර්’ ට ඇහුම්කන් දීමට මෙතෙක් පමාවීම සමාව ලැබිය නොහැකි වරදක් සේ මට හැගේ.

විසම වී ඇත ජන සමාජය

ලෙඩෙකු වී ඇත ජන සමාජය

ඒ ලෙඩා සුවපත් කරන්නට

පළා මහ ගඩුව සැතක් ගෙන

තුවාලය පිරි සැරව පිස දැමුම වරදක්ද?

 

සැත්කමක් කරන මෙන්

ලෙඩෙකු සුවපත් කරනට

ඒ සමාජය බිහි කරන්නට

ධර්ම යුද්ධයක් කළ යුතු නැද්ද?

යුද්ධයෙන් තොරව එය කළ හැකිද?

 

වික්ටර් !

මෙය ප‍්‍රශ්නයක් ය.

                        ප‍්‍රබුද්ධ - 92, 94පිටු

සැබැවි. අපේ ප‍්‍රශ්නයත් එයමැයි. කෙබඳු වූ හෝ අරගලයකින් විසම වී, ලෙඩකු වී ඇති ජන සමාජය සුවපත් කළ යුතුම ය. අපේ ‘වික්ටර්’ ද පතන සැනසිලිදායක වටපිටාව නිර්මාණය වන්නේ එවිට පමණකි.

 

 පේ‍්‍රමතිලක පේරුකන්ද

 

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 23 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 23 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා - දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහිත කාලගුණයක් ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී.   දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්... Read more

Advertisment

advertisment