වව්නියාව බන්ධනාගාරයේ ඇති වූ සිදුවීමෙන් පසුව පහර කෑමට ලක් වූ රැඳවියකු සම්බන්ධයෙන් මන්නාරමේ හා යාපනයේ පදිංචි පවුල් දෙකක් අයිතිය කියා ඇතැයි වාර්තා වේ.
බන්ධනාගාර පොලිසියේ විශේෂ කණ්ඩායමක් වව්නියාවට ගොස් කරන ලද පහර දීමෙන් පසුව දිල්රුක්ෂාන් නමැති මෙම රැඳවියා ‘කෝමා’ තත්වයෙන් පසුවේ.
ඔහු පිළිබඳ තොරතුරු ලද මන්නාරම ඉලුපසිකාඩුවැයිහි පදිංචි ඇන්තනී මුතුරාසා නමැත්තා විසින් සිහිමුර්ජා තත්වයේ සිටින්නේ තම පුතා යැයි පවසා ඇති අතර ඔහු නිදහස් කර ගැනීමට මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් පියතුමාගේ හා දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන්ගේ සහාය පතා ඇත.
මේ අතර යාපනයේ පසයිපූර්හි පදිංචි නවීස් මරියදාස් නමැත්තාද ඔහු සිය පුත‍්‍රයා බව පවසා ඔහුගේ උප්පැන්න සහතික හා විවාහ සහතික ඉදිරිපත් කර තිබේ. ඔහු පවසා ඇත්තේ ‘කෝමා’ තත්වයට පත්ව සිටින රැඳවියා දිල්රුක්ෂාන් නොව ඩෙල්රුක්ෂාන් බවයි.
තවත් දින කිහිපයකින් ඔහු මේ පවුල් දෙකෙන් එකකට අයත් වනු ඇත. තවමත් කෝමා තත්වයේ පසුවන ඔහු සුව වුවහොත් ඉදිරි ජීවිතය ඇතැම් විට හොඳින් ගත වනු ඇත. එහෙත්, එක් පවුලකට ඔහු අහිමි වනු ඇත. ඒ පවුලේ අය සිය අතුරුදහන් වූ පුත‍්‍රයා සොයමින් යළිත් සැරි සරනු ඇත...








Comments