Latest news
A+ R A-

විසඳුම කොහේද ?

E-mail Print PDF

 

altපසුගිය දා නිමල රූබන් මහර බන්ධනාගාරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිදුවීමත් සමග ජාතිවාදී අධිපති මතවාදය නැවත වරක් විවිධ මාධ්‍ය තුළින් රූපවාහිනී තිර සරසමිනුත් පුවත්පත් සිරස්තල පුරවමිනුත් සිය සමාජමය වගකීම ඉටු කිරීමට නොපමාව ඉදිරිපත් වී සිටිනු අපි දුටිමු. 

මෙහෙයුම දින කිහිපකින් අවසන් විය. ජාතිවාදී, දේශපේ‍්‍රමී පටු දෘෂ්ඨිවාදයෙන් ඔද වැඩී සිටියවුන් සියල්ල එල්.ටී.ටී.ඊ. අවතාරය පොඩිපට්ටම් කරදැමීමේ අප‍්‍රමාණ සතුටින් සැනසුම් සුසුම් ලෑහ. වසර තුනකට කලින් ලැබූ ජයග‍්‍රහණයේ සියලූ ආශ්වාදයන් නැවතත් ආවර්ජනය කරමින් සිය හදවත් පුරවාගත්හ. හලාවත ඇන්ටනී ප‍්‍රනාන්දු ධීවරයා වෙඩිතබා ඝාතනය කරද්දී, කටුනායක වෙළඳ කලාපයේ රොෂේන් චානක වෙඩිතබා ඝාතනය කරද්දී අධිපති පාලනයට එරෙහිව ගල් ගැසූ දෑත් බොහොමයක් නිමල රූබන් ඝාතනය කරද්දී ඔල්වරසන් නගන්නට ඇති. නැතිනම් නොදැක්කා සේ සිටින්නට ඇති.

අධිපති පාලකයින් ජාතිවාදී, දේශපේ‍්‍රමී පටු දෘෂ්ඨිවාදය මනාව කළමනාකරණය කරද්දී, ජාතිවාදී නොවන, වර්ගවාදී නොවන, ගෝත‍්‍රවාදී නොවන, යුක්තිය සාධාරණත්වය සහ සැබෑ මිනිසත්කම සොයායන මිනිසුන් ඉදිරියේ පීඩිත දෙමළ ජනයා ගිලගෙන තිබෙන තවත් එක් කටුක යථාර්ථයක් කෑගසා කියමින් නිමල රූබන් මොලොවින් සමුගෙන අවසන්ය. මෙම සිදුවීම අළුත්ය. එහෙත් එම සිදුවීම නිර්මාණය කළ නිමල රූබන් ඝාතනය කළ කිසිදු කොන්දේසියක් අලූත් නැත. සියල්ල පැරණිය. අඩුම තරමින් වසර තුනක්වත් පැරණිය. සැබෑ මූලයන් දශක ගණනාවක් පැරණිය.

හලාවත ඇන්ටනී ප‍්‍රනාන්දු, කටුනායක රොෂේන් චානක මෙන්ම නිමල රූබන් යන තිදෙනාම ඝාතනය කිරීමේ දී වත්මන් අධිපති පාලක පන්තිය සිතූ පිළිවෙලහි වෙනසක් නැත. ඔවුන් තිදෙනාම ඝාතනය කිරීමට අධිපතියාට බලපෑවේ සිය පාලක බලය අභියෝගයට ලක්වීමේ භීතියයි. එම අරගලය විසින් ආණ්ඩුව ගනු ලැබූ ආසන්නතම ක‍්‍රියාමාර්ගයන් හැකිලීමට සිදුවීම පිළිබඳ භීතියට වඩා එම අරගල තම පාලක ආධිපත්‍යයට එරෙහිව ද්‍රව්‍යමය බලයක් ලෙස ගොඩ නැගී ඒමට තිබෙන අවදානම පිළිබඳ භීතියයි. පළමු මෙහොතේම සියලූ අරගල කුඩුපට්ටම් කිරීමට පාලකයා පසුබට නොවන්නේ එනිසාය. අර්ථසාධක අරමුදල වෙනුවෙන් කළ වෙළඳ කලාප අරගලය දකුණේ සමාජයට සාධාරණනම් තෙල් මිල ඉහල යාමට එරෙහි ධීවර අරගලය දකුණේ සමාජයට සාධාරණනම්, කිසිම චෝදනාවක් නොමැතිව වසර ගණනාවක් රැඳවුම් භාරයේ සිටින නිමලරූබන්ලාගේ අරගලය දකුණේ සමාජයට සාධාරණ නොවන්නේ ඇයි?

එල්.ටී.ටී.ඊ. සංවිධානය යුධමය වශයෙන් පරාජය කර කුඩුපට්ටම් කරදැමීමෙන් පසු දකුණේ ජාතිවාදී දේශපේ‍්‍රමී පටු දෘෂ්ඨිවාදය විසින් ඉදිරිපත් කරන විසඳුම කුමක් ද ? දමිල දේශපාලන සිරකරුවන් සඳහා ඉදිරිපත් කරනු ලබන විසඳුම කුමක් ද ? ඔවුනට අනුව දෙමල පීඩිත ජනයාගේ සෑම අරගලයක්ම ත‍්‍රස්ථවාදී ක‍්‍රියාවන්ය. එවන්වූ සියලූ අරගල මුල් මොහොතේම කුඩුපට්ටම්කර විනාශකර දැමිය යුතුය. දෙමලා සිංහල සමාජය ඉදිරියේ දනගසා යටත් විය යුතුය. සියලූ දමිල දේශපාලන සිරකරුවන් ගේ දේශපාලන චින්තනය මරාදමා පවතින තත්වයන්ට අනුගත වී සිටීමට සූනම් කරන පුනරුත්තාපන ක‍්‍රියාවලියකින් පසු සමාජයට මුදාහැරිය යුතුය. එසේ නොවන්නන් මරා දැම්මාට කමක් නැත.

ඉහත චින්තනය සහිතව දකුණේ සමාජය සිටිනතාක් බලහත්කාරය යොදමින් උතුරේ බලය පවත්වාගෙන යාමට පාලකයාට කිසිදු භාධාවක් නොමැත. පාලකයාව බලයට ගෙන ඒමේ තීරණාත්මක වැඩ කොටස ඉටු කරන්නේ දකුණේ ජනතාව විසිනි. එනිසා දකුණේ මතවාදය වෙනස් නොවනතාක් උතුරේ සහෝදර දෙමල ජනයා තව තවත් පීඩාවට පත්කරමින් තම බලය පවත්වාගෙන යාමට පාලක අධිපතියා කිසිසේත් පසුබට නොවේ. තව වසර දහයක් වුවත් දෙමල ජනයා අවතැන් කඳවුරුවල සිටියාට කමක් නැත. ජීවිතාන්තය දක්වා වුවත් දෙමල සැකකරුවන් සිරකුටි තුළ සිටියාට කමක් නැත. දහස් ගණන් දෙමව්පියන් සිය දරුවන් පිළිබඳතොරතුරු නොදැන කඳුළු වැගුරුවාට කමක් නැත. ඊට එරෙහිව දෙමල පීඩිතයා කරනු ලබන සියලූ අරගලයන් ත‍්‍රස්ථවාදී ක‍්‍රියාය.

ප‍්‍රශ්ණයට විසඳුම් සෙවීමට දකුණේ මිනිසා උතුරේ මිනිසා දෙස බලන මානය වෙනස් කළ යුතුය. උතුරේ පීඩිත දෙමල ජනයා දෙස ත‍්‍රස්ථවාදී ඇසින් බලා කරනු ලබන සියලූ විග‍්‍රහයන් කොන්දේසි විරහිතව අත්හල යුතුය. අධිපති පාලක පංතිය විසින් පටවා තිබෙන ජාතිවාදී, දේශපේ‍්‍රමී පටු දෘෂ්ඨිවාදය කඩා බිඳහෙලීමට දකුණේ සමාජය අසමත් වන තාක්, දකුණේ පීඩිතයාගේ සහය තම අරගල සඳහා නොලැබෙන තාක් උතුරේ පීඩිතයාට සිය අයිතීන් වෙනුවෙන් අරගල කිරීමට නොහැකි වනනේය. එලෙසම දකුණේ පීඩිතයාගේ කිසිඳු අරගලයක් තර්කානුකූල අවසානයක් කරා ගෙනයාමට ද නොහැකිවන්නේය. ඒ අන් කිසිවක් නිසා නොව දකුණේ සමාජය තෘප්තිමත් කරන දෘෂ්ඨිවාදයම දකුණේ අරගල මැඞීම සඳහාත් අධිපති පාලක පංතිය සූක්‍ෂම ලෙස යොදාගැනීමට පසුබට නොවී ඉදිරිපත් වන නිසාමය.

ප‍්‍රශ්නය විසඳීමට ප‍්‍රවිශ්ඨ විය හැක්කේ උතුරේ දෙමළ පීඩිතයා දෙස ත‍්‍රස්ථවාදියකු ලෙස නොව මිනිසෙකු ලෙස බැලීමට දකුණේ සමාජයට හුරු කිරීම තුළින්ය. සිරකරුවන් පුනරුත්තාපනය කිරීම නොව, සිය අතිවාසිකම් අහිමිකළ තමන්ව පීඩාවට පත්කර තිබෙන සමාජමය කොන්දේසි වෙනස් කිරීම සඳහා සමාජය පුනරුත්තාපනය කළ යුතුය යන චින්තනය ගෙන ආ යුතුය. සිරකුටි තුළ කරනු ලබන පුනරුත්තාපනය තුළින් අයුක්තිය, අසාධාරණය, අසමානත්වය ඉදිරියේ අනුගතවී දනගැසීමට නොව සිය අයිතිවාසිකම් වෙනුවෙන් තමාවත් මුළුමහත් සමාජයමත් පීඩාවට ලක්කර තිබෙන අධිපති පාලක පංතියට එරෙහිව වඩාත් නිවැරදිව අරගල කළ යුතුය යන චින්තනය උතුරටත් දකුණටත් ගෙන යා යුතුය. අයුක්තිය වෙනුවට යුක්තියත්, සමාජ අසමානත්වය වෙනුවට සාමානාත්මතාවයත් ජාතිවාදය වෙනුවට ජාතීන් අතර සහෝදරත්වයත් වෙනුවෙන් පීඩිත පාලක පංතියට එරෙහිව සියළු ජාතීන්ට ඇත්තේ එක්ව අත්වැල් බැඳගෙන කළ යුතු එකම මහා අරගලයක්ය යන චින්තනය උතුරටත් දකුණටත් ගෙනයා යුතුය.

කොතරම් අසීරුවුවත් කෙටි මාවත් නොමැති ඉහත අභියෝගය භාරගත යුත්තේ කවුද ? සමාජයට ඉහත චින්තනය රැගෙන යා යුත්තේ කවුද ? පාලක අධිපති පංතියේ සතුරු බල ඇනිය සමග ඒ වෙනුවෙන් සටන් කළ හැක්කේ සැබෑ වාමාංශික ව්‍යාපාරයකට පමණි. සැබෑ වාමාංශික බුද්ධිමතුන්ට, සමාජ ක‍්‍රියාකාරිකයින්ට පමණි. පාලක අධිපතියාගේ අනට කීකරු නොවූ සිය සමාජ වගකීම උරමත දරාගත් සැබෑ කලාකරුවාට පමණි.

අශෝක හඳගම විසින් අධ්‍යක්‍ෂනය කෙරුණු 'ඉනිඅවන්' චිත‍්‍රපටිය හරහා උක්ත කටයුත්ත වෙනුවෙන් උතුරේ දමිලයාටත් දකුණේ සිංහලයාටත් එකවර ආමන්ත‍්‍රණය කිරීමට සාධනීය උත්සාහයක් ගෙන තිබෙනු අපි දුටිමු. තුවක්කුව අතින්ගත් ත‍්‍රස්ථවාදියෙකු ලෙස නොව, සමාජ කොන්දේසි මගින් පීඩාවට පත්කර තිබෙන පීඩිත මිනිසෙකු ලෙස එල්.ටී.ටී.ඊ. තරුණයා දෙස බැලීමට චිත‍්‍රපටය නරඹන පේ‍්‍රක්‍ෂකයාට එහි රූපරාමු විසින් ප‍්‍රබල ලෙස බලකර සිටී. දකුණේ හමුදා විසින් උතුර අත්පත් කරගැනීමෙන් පසු යුද්ධාලම්බන ප‍්‍රීතියෙන් ඔද වැඞී නාගදීපය වැඳපුදාගෙන ඔල්වරසන් නගමින් පැමිණි දකුණේ මිනිසා ගමන්කල කාපට් ඇතිරූ පාර දෙපසට පෙනෙන මානයේ දිස් නොවූ දෙමල ජනයාට තුවක්කු ගැනීමට බලකර සිටි, තවදුරටත් සිය අයිතීන් ඉල්ලා සටන් කරන්නට බලකර සිටින පීඩනයේ සැබෑ සමාජමය කොන්දේසි බොහොමයක් තිරය ඉදිරියේ සිටින දකුණේ මිනිසාට අපූරුවට කියාපෑමට 'ඉනිඅවන්' සමත්ය.

පුනරුත්තාපනය වී ගමට පැමිණෙන තරුණයාට දක්නට ලැබෙන්නේ කාපට් ඇතිරූ නවීන මාවත් වලින් දෙබෑකළ සිය පැරණි සටන් බිමය. විශාල ඩිජිටල් දැන්වීම් පුවරු සවිකොට තිබෙන ප‍්‍රාග්ධනය විසින් ආක‍්‍රමණකාරී ලෙස දැඩිව ග‍්‍රහණය කරගත් සිය පැරණි සටන් බිමය. ඔහු තුවක්කු හා බෝම්බ අත දරාගෙන සිය පීඩනයට එරෙහිව දකුණේ හමුදා සමග මුහුනට මුහුණ ලා සටන් වැදුනු පැරණි සටන් බිම සැබෑ ලෙසම වෙනස් වී තිබෙනු ඔහුට හාත් පසින්ම ඇසට ඇන පෙන්වයි. එහෙත් සිය ගම්මානයට, නිවසට යන තරුණයාට තමා මග දෙපස දුටු කිසිදු වෙනසක් දක්නට නොලැබෙයි. පෙරදා ඔහුව පීඩනයට පත්කළ සිංහල අධිපති පංතියේ පීඩනයත් ඔහු නොදුටු දෙමල අධිපති පංතියේ පීඩනයත් සිංහල හා දෙමල ජාතිවාදයේ කුණු කන්දල් වලත් කිසිදු වෙනසක් නැත. ප‍්‍රාග්ධනය විසින් ආක‍්‍රමණය කොට ඇති උතුරේ නව ජීවන කොන්දේසි තුළ ජීවිතය ගොඩනැගීමට පොර බදන පුනරුත්තාපනය කරන ලද තරුණයාට සිය පැරණි සටන් ව්‍යාපාරය තුළ තමා විසින් රැකගත් මිනිස්කම් පවා නව කොන්දේසි තුළ වලංගු නොවීමේ උභතෝකෝටිකයට මුහුණ දීමට සිදුවන්නේය. තමාව පීඩාවට ලක් කරන ලද පැරණි කොන්දේසි සියල්ලම නව තත්වයන් තුළ තව තවත් උග‍්‍රකොට තිබෙනවා පමණක් නොව තමාට නුපුරුදු නව පීඩාවන් රැසක් ද විසින් පහර කෑමට ලක්වන පුනරුත්තාපනය වූ තරුණයාට නැවත වරක් පැරණි තුවක්කුව අතට ගැනීටම බලකර සිටින සාමජමය කොන්දේසි 'ඉනිඅවන්' තුළ ප‍්‍රභල ලෙස නිරූපනය කරයි.

වත්මන් පාලක පංතිය එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් නොකර සිටීමට සැබෑ හේතුව ලෙස දකුණේ සමාජය විශ්වාස කරන්නේත් පාලක පංතිය දකුණට අඟවන්නේත් නැවතත් සංවිධානය වීමේ භීතියය. සැබෑවටම එය මුලාවකි. එසේනම් ලලිත් කුමාර් සහ කුගන් මුරුගනාදන් පැහැරගෙන යනු ලැබුවේ ඇයි ?

ඉනිඅවන් චිත‍්‍රපටය එම පැනයට පිළිතුර සංකේතාත්මකව ඉදිරිපත් කර සිටියි. තුවක්කු අතින් ගෙන මුහුණට මුහුණ ලා සටන්කළ පැරණි සටන් බිම දැන් සැබෑ ලෙසම වෙනස්කොට තිබේ. ප‍්‍රාග්ධනය විසින් වෙලාගත් පශ්චාත් යුධ උතුරේ සටන් බිම විවෘත වන්නේ සියළු පීඩිතයින්ගේ දෑත් එකට වෙලාගත් පීඩනයේ සැබෑ කොන්දේසි අහෝසිකිරීම අරමුණුකරගත් සැබෑ සමාජ ව්‍යාපාරයකට පමණි. සියලූ පීඩාවන්ගේ මූලය වන්නේ ‘‘අධිපති පාලක පංතියේ නව ලිබරල් ධනේශ්වර කොල්ලයයි’’ යන්න උතුරටත් දකුණටත් ඒත්තු ගැන්වීමට සමත් සටන් ව්‍යාපාරයකට පමණි. ජාතිවාදය වෙනුවට සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජාතීන්ට එක්ව සටන් කළ හැකි සටන් බිම් නිර්මාණය කරන සමාජ ව්‍යාපාරයකට පමණි. ජාතිවාදී, ආගම්වාදී, කුළවාදී, කුටුම්බවාදී පවුරු බිඳදමා සියඵ පීඩිතයින් සාමූහික පොදු සටන් බිමකට කැඳවිය හැකි සටන් ව්‍යාපාරයකට පමණි. සැබෑ විසඳුම් සෙවිය හැකි දුෂ්කර මාවත වැටී ඇත්තේ එම සටන් බිම හරහාම පමණකි. එවිට ‘‘ඉනි අවන්ට’’ පැරණි තුවක්කුව පැරණි ආකාරයෙන් ඔසවනවා වෙනුවට නව අරගල මානයක් සියළු ‘පීඩාවට පත්’ මිනිසුන් ද සමග නිර්මාණය කරගත හැකිවනු ඇත.

 

ශෂික රවීන්ද්‍ර

This content has been locked. You can no longer post any comment.

පුවත්

Advertisment

advertisment