Latest news
A+ R A-

සියලු සිසුන්ට සාධාරණය ඉටු කරනු - ජන අරගල

E-mail Print PDF

 

altනව 'ඉසෙඩ්' ලකුණු හේතුවෙන් අසාධාරණයට පත් සියලු සිසු සිසුවියන්ට සාධාරණය ඉටු කරන ලෙසත් ඔවුන් සියලු දෙනාට සරසවි වරම් ලබා දෙන ලෙසත් නිවේදනයක් නිකුත් කරමින් ජන අරගල ව්‍යාපාරය ආණ්ඩුවට බල කරයි.

එම ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේද දැක්වේ.

"2011වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ විභාග ප‍්‍රතිඵල පිළිබඳව මතු වූ ගැටලූව වසරකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇතත් තවමත් නිරාකරණය වී නැත.  2011උසස් පෙළ විභාගයට විෂය නිර්දේශ දෙකකින් සිසුන් පෙනී සිටි අතර එම විෂය නිර්දේශ දෙක සඳහා සිසුන් බඳවා ගනු ලබන අනුපාතයන් ආණ්ඩුව විසින් විභාගයට පෙර දැනුම් දිය යුතුව තිබිණි. එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශය එවැනි දැනුම්දීමක් නොකර විභාගය පැවැත්වූ අතර එම වරද නිවැරදි කිරීමට උත්සාහ කළේ විෂය නිර්දේශ දෙකෙහි එකිනෙකට වෙනස් ප‍්‍රශ්න පත‍්‍ර දෙකක් සඳහා ලබා දෙන ‘ඉසෙඞ් ලකුණු’ එක් සූත‍්‍රයකින් ඒකාබද්ධ කිරීම හරහාය. සංඛ්‍යාන විද්‍යාවට අනුව නියැදි දෙකක ප‍්‍රස්තාර, එක් ප‍්‍රස්ථාරයක් බවට පත් කළ නොහැක. එහෙත් ආණ්ඩුව සිය වරද වසා ගැනීම සඳහා ප්‍රෝඩාකාරී සූත‍්‍රයක් මගින් පළමු වර ‘ඉසෙඞ්’ අගයන් නිකුත් කරනු ලැබීය.

එම ප‍්‍රතිඵල පිළි නොගත හැකි මට්ටමේ පැවති අතර විභාග ප‍්‍රතිඵලවල විශ්වාසනීයභාවය පිළිබඳ බරතළ ප‍්‍රශ්නයක් මතු විය. එහෙත් එම අවස්ථාවේදී අධ්‍යාපන අමාත්‍යාංශය විභාග ප‍්‍රතිඵල නිවැරදි බවට සහතික වු අතර ප‍්‍රථම ප‍්‍රතිඵල ලේඛනයට අනුව සමත් වූ සිසුන්ට විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ලබා දෙන බවද ප‍්‍රකාශ කළේය. පසුව පළමු ප‍්‍රතිඵල ලේඛනයෙන් අසාධාරණයට ලක් වූ සිසුන් අධිකරණය හමුවට ගිය අතර විෂය නිර්දේශ දෙක සඳහා ‘ඉසෙඞ්’ ලකුණු වෙන වෙනම ගණනය කරන ලෙස අධිකරණ නියෝගයක් නිකුත් කෙරිණි. ඒ අනුව දැන් දෙවන ප‍්‍රතිඵල ලේඛනයක් නිකුත් කර ඇති අතර බොහෝ සිසුන්ගේ පළමුවර ලැබුණු ප‍්‍රතිඵල හා දිස්ත‍්‍රික් මට්ටමේ ස්ථාන වෙනස් වී ඇත. මෙම ප‍්‍රතිඵල ලේඛනය තුළද අසාධාරණයට ලක් වූ සිසුන් විශාල පිරිසක් සිටිති.

ඒ අතරින් ප‍්‍රධාන වන්නේ පළමුවර ලේඛනයෙන් විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට සුදුසුකම් ලබා, දෙවන ලේඛනය මගින් ‘ඉසෙඞ්’ අගය අඩු වී නුසුදුසුභාවයට පත් වූ සිසු සිසුවියන්ය.  ඔවුන් අතරින්ද පැරණි විෂය නිර්දේශයෙන් විභාගයට පෙනී සිටි සිසුන්ට උසස් අධ්‍යාපනය සඳහා ඇති අවස්ථාව මුළුමනින්ම අහිමි වේ. පැරණි විෂය නිර්දේශය සඳහා මෙවර උසස් පෙළ විභාගයට සතියක් තුළ ඉල්ලූම් කරන්නැයි ආණ්ඩුව දැනුම් දී තිබේ. සතියක් තුළ ඉල්ලූම් පත‍්‍ර යැවිය හැකි වුවත් සති දෙකකටත් අඩු කාලයක් තුළ විභාගයට සූදානම් විය නොහැක. 2012උසස් පෙළ විභාගය අගෝස්තු මුල් සතියේදී ආරම්භ වේ. මෙවර විභාගය පැරණි විෂය නිර්දේශය යටත් පවත්වන අවසන් විභාගය වන අතර එම සිසුන්ට මීළඟ වසරේදී විභාගයට පෙනී සිටීමට අවස්ථාවක් නැත. මෙවර විභාගයට ලිවීමට සිදු වනුයේ හදිසියේ හා සූදානමක් නොමැති තත්වයක් තුළය. මෙය බරපතළ අසාධාරණයකි.

සියවසක පමණ කාලයක් බරපතළ ගැටලූවලින් තොරව පැවති ලංකාවේ විභාග ක‍්‍රියාවලිය මෑත කාලයේදී බරපතළ අර්බුදයකට ලක්ව ඇත. විභාග ප‍්‍රශ්න පත‍්‍රවල ගැටලූ මෙන්ම විභාග ප‍්‍රතිඵලවල ගැටලූද සාමාන්‍යයක් බවට පත් වෙමින් තිබේ.  මෙම තත්වය තුළ පොදුවේ අධ්‍යාපනය පිළිබඳ, විශේෂයෙන් රජයේ විභාග පිළිබඳ විශ්වාසනීයත්වය අහිමි වෙමින් තිබේ. මෙය හුදකලා සිදුවීමක් නොව වත්මන් ආණ්ඩුව අධ්‍යාපනය පිළිබඳව සිටින ප‍්‍රතිපත්තියේම ප‍්‍රකාශනයකි. සිය බලය පවත්වාගෙන යාම පිළිබඳ ක්ෂේත‍්‍රවලදී ආණ්ඩුවට කාර්යක්ෂමතාවය පිළිබඳ ප‍්‍රශ්න නැත. අත්‍යවශ්‍ය ආහාරවලින් පවා බදු එකතු කිරිම, විවිධ සුළු අඩුපාඩු පාදක කර ගනිමින් ජනතාවට දඩ ගැසීම, මර්දනය හා බිය ගැන්වීම් සිදු කිරීම ආදී ක්ෂේත‍්‍රවල ආණ්ඩුවට වැරදීම් සිදු නොවේ. අකාර්යක්ෂමතාවය හා අසමත්භාවය ප‍්‍රදර්ශනය කරන්නේ ජනතාවගේ ජිවිතවලට අදාළ ක්ෂේත‍්‍රවලදීය අධ්‍යාපන ක්ෂේත‍්‍රයේදී ආණ්ඩුවට පෙළපොත්, විෂය නිර්දේශ, ප‍්‍රශ්න පත‍්‍ර, විභාග ප‍්‍රතිඵල ආදී සියල්ලේ වැරදි සිදු වේ. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේදී බාල ඖෂධ ගෙන්වීම, අත්‍යවශ්‍ය වෛද්‍යඋපකරණ ගෙන්වීමට අමතක වීම ආදී සිදුවීම් නිරතුරුව වාර්තා වේ. වත්මන් රාජ්‍ය ප‍්‍රතිපත්තීන් සකස් වී ඇත්තේ ජනතාව වෙනුවෙන් නොව වරප‍්‍රසාද ලත් පන්තියක බල අභිලාෂයන් වෙනුවෙන් බව පැහැදිලිය.

දිනෙන් දින උග‍්‍ර වන මෙකී අර්බුදයන් විසින් ඔප්පු කර ඇත්තේ දැවැන්ත ප‍්‍රතිපත්තිමය වෙනසකින් තොරව සමාජයට ගැලවීමේ මාර්ගයක් නැති බවය. අද නිල විපක්ෂය නියෝජනය කරන එජාප, ජවිපෙ වැනි පක්ෂද අර්බුදය පුද්ගලයින්ට ලඝු කර ජනතා ද්‍රෝහී ප‍්‍රතිපත්තිවලට එරෙහි විරෝධය ව්‍යාකූල කරමින් සිටී. රටේ අධ්‍යාපන සංහාරය සම්බන්ධයෙන් මතුව ඇති විරෝධය අධ්‍යාපන ඇමතිවරයාට සහ උසස් අධ්‍යාපන ඇමතිවරයාට ඉල්ලා අස්වීමට බල කරන සටන් පාඨයක් දක්වා ලඝු කර ඇත. රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මතුව ඇති බරපතළ අර්බුදය පුද්ගල වරදකට හෝ අතපසුවීමකට ලඝු කිරීමේ උත්සාහයන් පරදවන ලෙසත්, අනාගත පරපුරේ අධ්‍යාපන අයිතීන් රැක ගැනීම සඳහා පෙරට එන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින අපි, විශ්වවිද්‍යාල ප‍්‍රවේශ අවස්ථා පුළුල් කර, දෙවන ප‍්‍රතිඵල ලේඛනයෙන් අසාධාරණයට ලක් වූ සියලූ සිසු සිසුවියන්ටද උසස් අධ්‍යාපන අවස්ථා ලබා දෙන ලෙසත් ආණ්ඩුවේ වැරදි නිසා පීඩාවටපත් සියලූ සිසුන්ට සාධාරණය ඉටු කරන ලෙසත් ආණ්ඩුවට බල කර කියා සිටිමු."

Comments

 
0 # Karunarathna 2012-07-25 17:07
ethakota umbala mawa elawanna pelapali giye mona ennewakatada? Japura VC
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 176 guests online

Advertisment

advertisment