Latest news
A+ R A-

ඡන්ද ‍පෙට්ටියට විකල්ප ඡන්දයක් දාන්න - චමීර

E-mail Print PDF

altමෙම මැතිවරණයෙන් ජනතාවගේ ගැටලු විසඳෙන්නේ නැති බවත් මෙම මැතිවරණය කැඳවා ඇත්තේ ආණ්ඩුව මුහුණ දෙන අර්බුදයට පිළියම් සෙවීමට මිස ජනතාව වෙනුවෙන් නොවන බවත් පවසන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඒ නිසා මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවී විකල්ප මැතිවරණ ක‍්‍රියාවලියක නිරතවීමට තීරණය කළ බව පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ අද (25)  පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත මහතා මේ බව පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ආණ්ඩුව අභ්‍යන්තර බල අරගලයකට මුහුණ දෙමින් සිටින බවයි. එය යටපත් කර ගැනීම මෙම මැතිවරණයේ එක් අරමුණක් යැයි ඔහු පෙන්වා දුන්නේය.

‘‘සමාජයේ විවිධ කොටස් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්, තමන්ගේ ගැටලු වෙනුවෙන් අරගල කරන්න පටන් ගෙන තිබෙනවා. අධ්‍යාපන ක්ෂේත‍්‍රය ගත්තොත් ගැටලු ගණනාවක් තිබෙනවා. ආචාර්යවරුන්ගේ අරගලය හමුවේ ආණ්ඩුව මුණිවත රකිනවා.  අනධ්‍යයන හා ශිෂ්‍ය උද්ඝෝෂණ තිබෙනවා. උසස් පෙළ සිසුන්ගේ ගැටලූවට උත්තර නැහැ. ගොවි ජනතාව වතුර නැතිව ප‍්‍රශ්නවලට මුහුණ දී තිබෙනවා. වැඩ කරන ජනතාව අර්බුදයට මුහුණ දීලා. ආණ්ඩුව අර්ථසාධක අරමුදල කොල්ල කන්න උත්සාහ කරනවා. 

මේ නිසා බරපතළ ආණ්ඩු විරෝධයක් එකට කැටි වෙමින් තිබෙනවා. මේ එකට කැටිවන ජනතා විරෝධය විසුරුවා හරින්න, අඩපණ කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුණා. මෙතෙක් එක්ව ආණ්ඩුවට විරුද්ධව අරගල කළ ජනතාව දැන් පක්ෂවලට බෙදිලා මැතිවරණ කරන තත්වයට පත් කරමින් තිබෙනවා. ඒකත් ආණ්ඩුව මේ මැතිවරණය ගෙන ඒමේ එක අරමුණක්’’ යැයිද චමීර කොස්වත්ත මහතා පෙන්වා දුන්නේය.

මේ මැතිවරණය හරහා ආණ්ඩුව තමන්ට බලය තිබෙන බව ජාත්‍යන්තරයට පෙන්වීමේ උත්සාහයකද නිරත වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

අපේ රටේ තිබෙන මැතිවරණ ක‍්‍රියාවලිය අනුව මධ්‍යම ආණ්ඩුව එක් පක්ෂයකට තිබියදී වෙනත් පක්ෂයකට පළාත් සභාවල බලය යන්නේ නැහැ. ඒ වගේම ආණ්ඩුව මේ මැතිවරණය තියන්නේත් කෙසේ හෝ ජයග‍්‍රහණය කරන්න. මේ ක‍්‍රියාවලියට විරුද්ධ වෙනවා වෙනුවට විපක්ෂයත් අනියමින් ඊට උදව් කරමින් ඉන්නවා. ඒ වගේම වෙනස් විකල්ප ප‍්‍රතිපත්තියක් නැති නිසා විපක්ෂයත් ජනතාවට නායකත්වය දෙන්න බැරි තත්වයට පත් වෙලා. ඔවුන් පෞද්ගලික බල අරගලවල හිර වෙලා ඉන්නවා.

වෙනදා අපි ගෙන් ගෙට එන්නේ ඡන්දය ඉල්ලමින්. නමුත් මේ වතාවේ අපි වෙනස් දේශපාලන පණිවිඩයක් ගෙන යනවා. ගොවියාට තිබෙන බීජ, වෙළඳ පොළ පිළිබඳ අපි කතා කරනවා. දරුවාගේ අධ්‍යාපනය ගැන ප‍්‍රශ්නයක් තිබෙනවා. ඒ වෙනුවෙන් අපි එකතු වෙමු. වැඩ කරන ජනතාවට සාධරණ වැටුපක් දිනා ගන්න, අර්ථ සාධක අරමුදල කොල්ලකෑමට එරෙහිව අපි එකතු වෙමු. ජනතාව මුහුණ දෙන ජීවන ගැටලු විසඳාගැනීම වෙනුවෙන් අපි එකතු වෙමු.

අපි වෙනදා වගේම මැතිවරණ රැස්වීම් තියනවා. ඒ රැස්වීම්වලදී අපි අවධාරණය කරන්නේ ජනතාවගේ ප‍්‍රශ්න ගැන, කළ යුත්තේ කුමක්ද කියා.

මෙවර මැතිවරණයේදී ඡන්ද පොළට යන්නේ තමන්ගේ අභිමතය ඡන්දයෙන් ප‍්‍රකාශ කරන්න බැරි ජනතාවක්. අපි ඔවුන්ට කියනවා, ඡන්ද පෙට්ටියට විකල්ප ඡන්දයක් දාන්න. තමන්ගේ අභිමතය ප‍්‍රකාශ කරන්න. තමන්ගේ විරෝධය ප‍්‍රකාශ කරන්න කියලා.’’

මෙම මාධ්‍ය හමුවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ජමින්ද සිරිවර්ධන මහතාද සහභාගි විය.

alt

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 141 guests online

Advertisment

advertisment