A+ R A-

ලංකාවට මෙය අලුත් අත්දැකීමක් වේවි - දුමින්ද නාගමුව

E-mail Print PDF

 

altපෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇයි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් නොවෙන්නෙ?

මෙවැනි මැතිවරණයක් පවත්වන්නෙ ඇයි කියන කාරණය සමග මම පිළිතුරු දෙන්නම්. නියමිත කාලයට අවුරුද්දකට කලින් පළාත් සභා තුනක මැතිවරණ කැඳවන්නෙ හේතුවක් ඇතිව.

 පසුගිය කාලේ රටේ සිදුවීම් දිහා බලද්දී හොදින්ම තේරෙන දෙයක් තමයි ආණ්ඩුවට රට තුළ විවිධ ජනකොටස් තුළින්, විවිධ බලවේග තුළින් විරෝධයක් මතුවීම. මේ විරෝධය මතුවෙද්දී ආණ්ඩුව තෝරපු උපක‍්‍රමය තමයි මැතිවරණ ප‍්‍රකාශයට පත්කිරීම. ශිෂ්‍යයෝ අරගල කරද්දී, ගොවියෝ අරගල කරද්දී, කම්කරුවෝ අරගල කරද්දී මේවා යටපත් කරන්න තමයි මැතිවරණ පෙරමුණ යොදා ගත්තෙ. නමුත් මේ හැම මැතිවරණයකටම දේශපාලන පක්ෂ ගියේ අපි දිනනවා කියාගෙන. මැතිවරණ ව්‍යාපාරය අවසන් වුණාම ඒ දේශපාලන පක්ෂම නැවතත් නාහෙන් අඬාගෙන එනවා අපි පැරදුණා ආණ්ඩුව හොර කළා කියල. අපි හිතන දෙයක් තමයි මේ රටේ මැතිවරණ කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙන බවට පෙන්නුම් කරන සාධකයක් නෙවෙයි. එක පැත්තකින් ජනමතය විකෘති කරල ජනමතය කොල්ලකන්නත් ජනතාවගෙ ඇත්ත ප‍්‍රශ්න යටපත් කරන්නත් ගන්න උපක‍්‍රමයක්. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ තත්ත්වයට එරෙහිව මැදිහත්විය යුතුබව. මේ වෙලාවේ අපේ වගකීම වෙන්නෙ ඇත්ත සමාජ ගැටලූ වසන් කරන එක නෙවෙයි. නමුත් ආණ්ඩුව කරන්නේ මේ දේ. ඒ නිසාම තමයි මේ පවතින මැතිවරණ කි‍්‍රයාවලිය ප‍්‍රතික්ෂේප කරල විකල්ප මැතිවරණයක් සඳහා අපි යොමු වුණේ.

මොකක්ද මේ විකල්ප මැතිවරණ කි‍්‍රයාවලිය කියන්නේ?

දැනට මැතිවරණය පැවැත්වීමට නියමිත ප‍්‍රදේශවල ජනතාවගෙ ඇත්ත ප‍්‍රශ්න සංවාදයට ගේන එක තමයි මෙතනදී වෙන්නෙ. ඒ හරහා ජනතාව සංවිධානය කිරීමත් එක් පියවරක්. මීට අමතරව මැතිවරණය පැවැත්වීමට පෙර විකල්ප ඡන්දයක් පවත්වනවා. මේ ඡන්දය පවත්වන්නෙත් ජනතාවට තියෙන ප‍්‍රශ්න යොදාගෙනමයි. පවතින ක‍්‍රමය තුළ තමන්ගෙ ප‍්‍රශ්න විසඳයි කියලා ජනතාව ඡන්දය දෙන්නෙ තවත් දේශපාලන පක්ෂයක, කණ්ඩායමක බඩවඩවන එකට. නමුත් ඒකෙන් මිනිස්සුන්ගෙ ප‍්‍රශ්න විසඳෙන්නේ නැහැ. තවදුරටත් දේශපාලන වංචාවකට හසුවෙනවා. මේ තත්වය හෙළිදරව් කරන එකත් අපේ විකල්ප මැතිවරණ කි‍්‍රයාවලියේම කොටසක්.

ජනතාවගෙ ප‍්‍රශ්න විසඳීමේ ඉල්ලීම්වලට ඡන්දය ප‍්‍රකාශ කිරීමට සැලැස්වීම තුළින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

මේක ලංකාවට අලූත් අත්දැකීමක් වෙයි. ජනතාව වටා ඒකරාශී වෙලා තියෙන ප‍්‍රශ්න සංවාදයකට ලක්කරල උද්ඝෝෂණ, විරෝධතා පවත්වනවා. ඒත් එක්කම ඔවුන්ගෙ ප‍්‍රශ්නවලට ඡන්දය පාවිච්චි කරන්න ඡන්ද පත‍්‍රිකාවක් සකස් කරනවා. ඒ පති‍්‍රකාව සකස් කරන්නෙ මේ විදිහට. ‘‘ඔබට නිදහස් අධ්‍යාපනය අවශ්‍ය ද?’’ ‘‘ඔබට මර්දනයෙන් තොරව ජීවත්වෙන්න අවශ්‍ය ද?’’ ‘‘ඔබට බඩුමිල ඉහළයාම නැවැත්වීමට අවශ්‍ය ද?’’ මේ ඡන්දය, මැතිවරණය පැවැත්වීමට නියමිත ප‍්‍රදේශවල අපි පවත්වනවා. අවසන් ප‍්‍රතිඵලයත් අපි රටටම දැනුම් දෙනවා. මෙය එක්තරා ආකාරයක විරෝධතා භාවිතාවකට ජනතාව කැඳවීමේ කි‍්‍රයාමාර්ගයක්.

මේ උත්සාහ කරන්නෙ විකල්ප මැතිවරණ කි‍්‍රයාවලියෙන් පවතින මැතිවරණ කි‍්‍රයාවලියට අභියෝගයක් කරන්නද?

අපි හිතන්නේ මෙහෙමයි. මැතිවරණයට පෙර ඊට ඉදිරිපත්වෙන දේශපාලන පක්ෂ කියන්නෙම ‘‘ඔව්, අපි ආණ්ඩුවට අභියෝග කරනවා’’ කියලා. මැතිවරණය ඉවර වුණාට පස්සෙ කියයි ‘‘අනේ අපිට අභියෝගයක් කරන්න බැරිවුණානෙ කියල’’. මෙතන ප‍්‍රශ්නය වෙන්නේ මැතිවරණය තුළ ආණ්ඩුවට කොයිතරම් දුරට අභියෝගයක් වෙනවද කියන කාරණය නෙවෙයි. එහෙම හිතනවනම් ඒක දේශපාලන ප‍්‍රශ්නය හරියට වටහා නොගැනීම. වෙන්න  ඕන කාරණය තමයි දේශපාලනිකව සිදුවෙලා තියෙන සහ සිදුවෙමින් තියෙන රැවටීම හෙළිදරව් කිරීම. මේ හෙළිදරව් කිරීම සඳහා ප‍්‍රවේශයකට එළඹිය යුතුයි. ඒ ප‍්‍රවේශය තමයි අපි මේ ලබාගන්නෙ.

එහෙම නම් ඔබ මේ නොකියා කියන්නේ මේ ඡන්දය වර්ජනය කරන්න කියලද?

අපේ විකල්ප මැතිවරණ ව්‍යාපරය තුළ එහෙම අදහසක් ඉදිරිපත් කරන්නේ නැහැ. මේ සඳහා ජනතාව ඊට ප‍්‍රතිචාර දක්වන්නෙ කොහොමද කියන කාරණය ඉදිරියේදි බලාගන්න පුළුවන්. අපේ අරමුණ වෙන්නෙ වෙනස් දේශපාලන භාවිතාවකට කැඳවීම. ජනතාවගෙන් ලැබෙන ප‍්‍රතිචාරයත් සමග ඉදිරි කි‍්‍රයාමාර්ග කරා අපි යොමුවෙනවා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැතිවරණයට ඉදිරිපත් නොවී විකල්ප මැතිවරණ කි‍්‍රයාවලියක් ගෙන එන්නේ ජන්ද පදනම සම්බන්ධයෙන් වන අවිශ්වාසය නිසාද?

සමහරු කියලා තිබුණා ජන පදනමක් නැතිවීමත්, ඡන්දෙට ලැයිස්තුවක් හදාගන්න බැරීවීමත් කියන කාරණා නිසා විකල්ප මැතිවරණ වගේ දේවල්වලට යොමුවෙනවා කියල. අපි දන්නවා පළාත් සභාවලට ලැයිස්තු හදන්න ඒ ප‍්‍රදේශවල පදිංචිකරුවන්ම අවශ්‍ය නැහැ.  ඕනෑම පළාතකින් ඒ සඳහා අපේක්ෂකයන් පත්කරන්න පුළුවන්. නමුත් ලැයිස්තු තිබූ පමණින් දේශපාලන පක්ෂයක කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් යම්කිසි පූර්ව කියවීමකට පැමිණීම වැරදියි. දේශපාලන පක්ෂයක් විදිහට අපිට මොන වගෙ ජන පදනමක් තියෙනවද, සංවිධාන ශක්තියක් තියෙනවාද කියන කාරණය ඉදිරියේදි පරීක්ෂා කරල බලමු. ඒකට අපි කවුරුවත් කලබල වෙන්න අවශ්‍ය නැහැ.

ඔබ ජන අරගල ව්‍යාපාරයේ කි‍්‍රයාකාරී සාමාජිකයෙක්. මේ වෙද්දි ජන අරගල ව්‍යාපාරය නිහඬ බවක් පෙන්නුම් කරනවා. අරගල අවසන් වෙලාද? නතර කරලද?

අපිට අවශ්‍ය රටේ සමාජවාදය ගොඩනඟන්න. ඒකට සමාජවාදය විශ්වාස කරන සැලකිය යුතු බහුතරයක් රට තුළ නිර්මාණය කරන්න  ඕන. ඒක දිගුකාලීන කි‍්‍රයාවලියක්. එහෙම නැතිව දවසක් දෙකක් කෑගහලා අහක බලාගෙන ඉන්න අපිට අවශ්‍යතාවක් නැහැ. ජනඅරගල ව්‍යාපාරය ගොඩනැ‍‍ඟෙන්නෙත් මේ දිගුකාලීන ගමනේ පියවරක් විදිහට. අපිට තව බොහෝ දේ තියෙනවා එකතු කරගන්න. ඉතිං අපි මේ ගමනට අවශ්‍ය දේවල් එකතුකර ගනිමින් ඉන්නෙ.  ඕනේ නම් අපිටත් පුළුවන් කරන දේවල් නවත්වලා සංවාද නතර කරලා ජනතා විමුක්ති පෙරමුණ හෝ වෙනත් පක්ෂවලින් සාම්ප‍්‍රදායිකව කරන ආකාරයේ මාධ්‍ය සාකච්ඡා පවත්වමින්, මොනවා හරි කිය කිය ඉන්න. ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ රටේ පන්ති දේශපාලනයට සිදු කළ හානියක් තියෙනවා. ඒ හානිය පියවල නැවත පන්ති දේශපාලනය රටට තහවුරු කරන තැනකට අපි යන්න  ඕන. ඒකට යම් කාලයක් ගතවෙයි. ඒ සඳහා වන අරගලය අපි නතර කරල නැහැ.

සමාජවාදය වෙනුවෙන් යන ගමනේ එකතු කරගන්න දේවල් තිබෙන බව ඔබ කියනවා. ඔබ මේ කතා කරන්නෙ මොනවා ගැනද?

ඔව්, මෙතනදි කෙනෙක් හිතන්න පුළුවන් අපි සන්නද්ධ අරගලයකට සූදානම් වෙනවද? ආයුධ එකතු කරනවද? කියලා. අපි කතා කරන්නේ මතවාදී සංවාදයක් ගැන. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් ඛණ්ඩනය වුණාට පස්සේ අපි තුළ ලොකු සංවාදයක් තියෙනවා. ඒ සංවාදය තුළ නිවැරැදි දේශපාලන ව්‍යාපාරයක් ගොඩනඟන්න පුළුවන්. දැන් කරන්න  ඕන කුමන හෝ තැනකට ගිහින් උස් හඬින් කෑගැසීම නෙවෙයි. ජනතාව විශ්වාස කරන, ඔවුන්ට වැටහෙන මතයක් ගෙන ඒමයි වැදගත් වෙන්නෙ. එය ගොඩනඟන්න සංවිධානයකට යම් කාලයක් ගතවෙනවා. අප රටට කිව්වා නවලිබරල් ධනවාදයත් එක්ක වම අභියෝගයට ලක්වෙලා තියෙන බව. ඉතිං මේ ප‍්‍රශ්නයට විසඳුම කුමක්ද? අපි කළ යුත්තේ කුමක්ද කියල පැහැදිලි කරගන්න රටපුරා සම්මන්ත්‍රණ මාලාවක් සූදානම් කරනවා. මෙතනදි ජනතාවට වගේම බොරුවට කෑගහන බොහෝ දෙනාට අපි කියන්නෙ මොකක්ද, කරන්න හදන්නේ මොකක්ද කියලා වැටහෙයි.

ඔබ ශිෂ්‍ය නායකයෙක්ව සිටි කෙනෙක්. මේ මොහොතේ උසස් පෙළ 'Z'. ස්කෝර් අර්බුදයත් එක්ක අධ්‍යාපන ක්ෂේත‍්‍රය වියවුල්කාරී තත්වයකට පත්වෙලා. මේ අර්බුදය විසඳා ගැනීමට අසමත්වීම ගැන පැහැදිලි කළොත්?

උසස් පෙළ ප‍්‍රශ්නය වෙනුවෙන් දේශපාලන පක්ෂ හෝ මාධ්‍ය හෝ මැදිහත් වුණේ නැහැ කියනවානම් එය වැරැදියි. එය නෙවෙයි සිද්ධ වුණේ. ශිෂ්‍ය සංගම්, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, මාධ්‍ය ආයතන විශාල මැදිහත්වීමක් කළා. ඒ මැදිහත්වීම නිසාම තමයි මේ ප‍්‍රශ්නය අද දක්වාම ඇවිත් තියෙන්නෙ. අධිකරණය පවා මැදිහත් වුණා. එහෙම නොවුණා නම් මේ අසාධාරණය යටගහන්න ආණ්ඩුව කටයුතු කරනවා. ඒ වගේම ආණ්ඩුව දැන් කියනවා දවස් 05 ක් දෙන්නම් විභාගයට අයදුම් කරන්න කියලා. විභාගය අගෝස්තු 06 ආරම්භ කරනවා. මෙහෙම තත්වයක් තුළ ළමයි කොහොමද විභාගයට සූදානම් වෙන්නෙ?  ප‍්‍රශ්නය පුළුවන් තරම් වවලා, වවලා දැන් මෝඩ තීන්දු ගන්නවා. අපි මෙතනදී ආණ්ඩුවට කියනවා අසාධාරණයට ලක්වුණ සෑම ශිෂ්‍යයෙක්ම විශ්වවිද්‍යාලවලට බඳවා ගන්න කියල.

විපක්ෂය අපරාධ රැල්ලක් ගැන කතා කරද්දි ආණ්ඩුව පුන පුනා එය ප‍්‍රතික්ෂේප කරනවා. නමුත් ජනතාවට විසඳුම් ලැබිලා නැහැ?

හොරා කියන්නෙ නැහැනෙ හොරකමක් කළා කියල. අපරාධ රැල්ලක් නැහැ කියන අයගෙ මානසිකත්වයට අනුව දැන් සිදුවෙමින් තියෙන අපරාධ, අපරාධ නොවන්න පුළුවන්. නමුත් දවසකට කාන්තාවො 4 දෙනෙක් බාලවයස්කාර දැරියන් 04 දෙනක් අපයෝජනයට ලක්වුණා සහ වෙනවා. මෙය අර්බුදයක් නොවෙයි නම් ඒ පාලකයන්ගෙ දෘෂ්ටිය ගැනත් අපට හිතාගන්න පුළුවන්. සමාජය තුළ බරපතළ ලෙස පීඩාවක් තියෙනවා. මිනිස්සු රැකපු සදාචාර හර පද්ධති උඩුයටිකුරු කරලා තියෙනවා. දරුවෝ හදන අම්මලාම දරුවෝ මරණ තැනට පත්වෙලා. මේක සමාජ ඛේදවාචකයක්. ප‍්‍රශ්න පුපුරායමින් තියෙනවා. ධනවාදය කියන රෝගයේ රෝග ලක්ෂණ තමයි මේ පෙන්නුම් කරමින් ඉන්නෙ. මෙතනදි පාලකයන්ගෙ හැසිරීමෙන් හොඳින්ම පැහැදිලියි ඔවුන්ට ප‍්‍රශ්න විග‍්‍රහ කරගන්නවත් බැරි බව. සංස්කෘතික වශයෙන් ආර්ථික වශයෙන් මිනිස්සු හිරවෙලා ඉන්නෙ. මේ තුළ කනබොන එකටයි, ලිංගිකත්වයටයි මිනිස්සු කොටු වෙලා. ඒ නිසා මේවා තනි පුද්ගල ප‍්‍රශ්න නෙවෙයි. ක‍්‍රමයේ වැරැද්ද තමයි මේ පෙන්නුම් කරන්නෙ. ඉතිං මේ ක‍්‍රමය වෙනස් නොකර ප‍්‍රශ්නවලට උත්තර හොයන්න බැහැ.

 

සංවාද සටහන : ආශිකා බ‍්‍රාහ්මණ

This content has been locked. You can no longer post any comment.

Advertisment

advertisment