A+ R A-

හොරාගේ සිත්තම සහ සිත්තරාගේ හොරකම

E-mail Print PDF

altමිෂන් ඉම්පොසිබල් පන්නයේ කෞතුකාගාර මෙහෙයුම සිදුවූයේ කෙසේදැයි මීට පෙර අපි ඔබට පැවසූයෙමු. ඉන් අනතුරුව සිදුවූ දේවල් සැකෙවින් මතක් කරගැනීම දැන් සිදුවන දේවල් තේරුම් ගැනීමටත් ඊළඟට සිදුවන දේ අනුමාන කිරීමටත් උපකාරයක් වනු ඇත.

කෞතුකාගාරයේ අසිපත් සොරකම යට ගසන්නට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. ඉන් පසු අරුම පුදුම පරීක්ෂණ ආරම්භ විය. ඒ පරීක්ෂණවලට අනුව කටුගෙයි කඩු හොරකම් කරන්නට පැමිණි අය බීඩි පානය කර තිබෙන බව විශේෂ පරීක්ෂණ කණ්ඩායම් මහත් පරිශ‍්‍රමයක් දරා සොයාගත්තේය. සොරුන් කටුගෙයි මුර කුටි අසල සැරි සැරූ බවත් පරීක්ෂණවලින් හෙළදරව් වී තිබිණි. පුදුමයකට මෙන් සොරකම සිදුවූ දා සී.සී.ටී.වී . කැමරා ක‍්‍රියාත්මක වී තිබුණේ ද නැත.

මේ අතර කටුගෙයි කඩු සොරකම පිළිබඳ තීරණාත්මක කටඋත්තරයක් දුන් ජෝන් ද සිල්වා රඟහලේ ආරක්ෂක නිලධාරී ස්ටැන්ලි ලියනගේ අතුරුදන් විය. ජනරළත් තවත් මාධ්‍ය අතළොස්සකුත් මානව හිතවාදී සංවිධාන කිහිපයකුත් අතුරුදන් වීමට එරෙහිව හඬ නැඟූ අතර අමානුෂික ප‍්‍රහාරවලට ලක් කළ ස්ටැන්ලි ලියනගේව මහ මග අතහැරදමා යන්නට අතුරුදන් කරන්නන්ට සිදු විය. ආපසු පැමිණීමෙන් පසු ස්ටැන්ලි ඉතා වැදගත් තොරතුරක් හෙළි කළේය. එනම්, කටුගෙයි කඩු සොරකමේ වගකීම භාරගන්නා ලෙස අතුරුදන් කරන්නන් තමන්ට දස වධ දෙමින් බලකර සිටි බවයි.

සොරකම සිදුවූ දා රාත‍්‍රියේ කෞතුකාගාරය පෙදෙසේ සිට නෙළුම් පොකුණ රඟහල දෙසට සැක කටයුතු ප‍්‍රභූ වාහන කිහිපයක් පැමිණි බව කී ස්ටැන්ලිව මේ සොරකම හා පටලවන්නට උවමනාවක් තිබුණේ කාටදැයි තේරුම්ගත හැකිය.

මේ අතරවාරයේ පොලිසිය විවිධ කතන්දර මාධ්‍ය වෙත පැවසීය. සොරකම සිදුවූ සැණින් වහා පරීක්ෂණ ආරම්භ කරන බව ප‍්‍රකාශ කළ පොලිසිය අනතුරුව පැවසූවේ දැනටමත් සොරා පිළිබඳ සෑහෙන තොරතුරු ප‍්‍රමාණයක් ලැබී ඇති බවත් සොරාට දැල එළාගෙන යන බවත් නුදුරු දිනකදීම සොරා අත්අඩංගුවට ගන්නා බවත්ය. එහෙත් කිසිවක් සිදුවූයේ නැත. ආණ්ඩු ගැති නොවූ ජනමාධ්‍යයත් දේශපාලන සංවිධානත් දිගින් දිගටම මේ ගැටලූව අවුස්සමින් තිබිණි.

ඊළඟට තවත් පුවතක් වාර්තා විය. එනම්, එක්තරා පුද්ගලයකුගේ නිවසක තිබී රන් කැබැලි තොගයක් සොයාගත් බවය. එම රන් කැබැලි කටුගෙයි කඩු උණුකර සෑදු ඒවා බව පොලිසිය ඉතා ඉක්මනින් තීරණය කර තිබිණි. එහෙත් එම තීරණය ගත්තේ කුමණ සාධක මතදැයි අනාවරණය වූයේ නැත. අදාළ පුද්ගලයා කියා තිබුණේ එම රන් කැබැලි තමන් සේවය කළ, හෙට්ටිවීදියේ පිහිටි ස්ථානයකින් හමුවූ බවය. සිද්ධිය අධිකරණය වෙත ගිය ද කටුගෙයි කඩු සොරකමත් මෙම සිද්ධියත් ඈඳීමට ගත් වෑයම සාර්ථක වූයේ නැත.

දැන් අලුත්ම තත්වය, සොරකම කළ පුද්ගලයා යැයි පොලිසිය පවසන අයකුගේ ස්වරූපය සිතුවමට නඟා ප‍්‍රසිද්ධ කිරීමය. සොරකම කළේ පෙර කී රන් කැබැලි ළඟ තබාගත් පුද්ගලයා නම් මෙවැනි චිත‍්‍රයක් ප‍්‍රසිද්ධ කිරීමට උවමනාවක් නැත. අඩුම තරමේ එම පුද්ගලයා සොරකමට ඈතින් හෝ සම්බන්ධ වී ඇත්නම් චිත‍්‍ර ඇඳ ඇඳ ඉන්නවා වෙනුවට අදාළ සම්බන්ධතාවත් සොරකමේ සුලමුලත් හෙළිකර ගැනීම සඳහා අනගි ක‍්‍රමෝපායන් පොලිසිය සතුව තිබෙන බව ප‍්‍රසිද්ධ රහසකි.

අනෙක් අතට මෙම චිත‍්‍රය නිර්මාණය කර ඇත්තේ සොරකම සිදුවූ දා දිවා කාලයේදී කෞතුකාගාරය නැරඹීමට පැමිණි පාසල් සිසුන් දුටු සැකකටයුතු පුද්ගලයකුගේ ස්වරූපය අනුව බව පොලිසිය කියයි. කටුගෙයි කඩු සොරකම් කළ සොරා සොරකමට පෙර  හෝ පසුව බීඩිත් බී කටුගෙය වටේ රවුම් ද ගැසුවාට අමතරව එදිනම දවාලේ තොප්පියකුත් දමාගෙන සැකකටයුතු හා කැපී පෙනෙන ලෙස කටුගෙය තුළ රස්තියාදු ගැසුවේ යැයි ශ‍්‍රී ලංකා පොලිසිය විචක්ෂණ ලෙස අනුමාන කරයි.

මෙම නාටකයේ පිටපත තේරුම් ගැනීමට අමාරු නැත. හෙට අනිද්දාට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකයා මෙසේ කියනු ඇත. ‘‘අපි ප‍්‍රසිද්ධ කරපු චිත‍්‍රය දැකලා ජනතාව අපිට තොරතුරු දුන්නා. අපි සැකකරු අත්අඩංගුවට ගත්තා.’’

ඒ නඩු විභාගය අමතකව ගිය පසු මහන්සි වී අල්ලාගත් සොරාට විශේෂ සමාව සමග අදාළ ගෙවීම් ද ලැබෙනු ඇත. අසිපත් උණුකර හෝ විදේශිකයකුට විකුණා දමා ඇතැයි මේ පොලිසියම සොයාගනු ඇත. එතකොට ඒ ප‍්‍රශ්නයත් අහවරය. සොරා දිගටම සොරකමේ යෙදෙනු ඇත. ජනතාව බබාලා ලෙස සිටින තාක් චිත‍්‍ර ද ඇඳ දෙනු ඇත.

 

විසිකු

Comments

 
+1 # නිරා 2012-07-30 01:19
කඩු හොරා පිළිබඳ මා දන්නා තොරතුරු අනාවරණය කිරීමයි.
http://reargate.blogspot.com/2012/07/blog-post_26.html
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 30 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 30 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා -   දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කදුකරයේ විටින් විට... Read more

Advertisment

advertisment