A+ R A-

ඩර්බන් වරායේදී දේශපේ‍්‍රමී රෙද්ද කැඩූ ලංකා මහපොළ

E-mail Print PDF

 

altශී‍්‍ර ලංකා නැව් සංස්ථාවට අයත් එකම භාණ්ඩ ප‍්‍රවාහන නැව වන මහපොළ නෞකාව රටට අහිමිවීමේ අවදානමකට මුහුණපා ඇති බවට පසුගියදා තොරතුරු වාර්තා විය. කෙසේ නමුත් ලංකාව සතු භාණ්ඩ ප‍්‍රවාහන නැව් සංඛ්‍යාව සීමා වන අතරම ලංකා නැව් සංස්ථාවට අයත් භාණ්ඩ ප‍්‍රවාහන නෞකා සංඛ්‍යාව දෙකකි.

 ‘මහපොළ’ හා ‘ලංකා මුදිත’ වශයෙන් හදුන්වන මෙම නැව් දෙක වසර 30ක් තරම් පැරණිය. මේ වන විට ලංකාවේ භාණ්ඩ ප‍්‍රවාහනය කිරීම සඳහා මෙම නැව් යොදා නොගැනීමට බලධාරීන් කටයුතු කර ඇත්තේ නෞකා දෙකෙහි වන වටිනාකම් සැලකිල්ලට නොගෙනය. විශේෂයෙන් ‘ලංකා මහපොළ’ නෞකාව ලෝකයේ බොහෝ වරායන් මගින් ප‍්‍රතික්ෂේප කරන දුර්වල පරිපාලනයක් හා අබලන් තත්වයක පවතින නැවක් බවට පත්ව ඇත. 

ලංකා නැව් සංස්ථාව විසින් සෘජුව පරිපාලනය වන  ‘ලංකා මහපොළ’ නෞකාව ලෝකයේ බොහෝ වරායන්ට මේ වන විට ඇණයක් බවට පත්ව ඇත. පසුගිය 2011වර්ෂයේ නොවැම්බර් මස 05වැනි දින සුඩාන වරායට සේන්දු වූ නමුත් එහි පවතින දුර්වලතා හේතුවෙන් සුඩාන වරාය අවට නැංගුරම් ලෑමට සිදුවිය. එසේම අන්තර්ජාතික ප‍්‍රවාහන  සංගමය පවසා සිටියේ එහි කාර්යමණ්ඩලය ආහාර නොමැතිකමින් පීඩාවට පත්ව සිටි බවත්  අදාළ වරායට අය විය යුතු ගාස්තු  නොගෙවීම හේතුවෙන් මෙවැනි තත්වයක් උද්ගත වූ බවත්ය. අදාළ ගාස්තුවෙන් අඩක් වන අමෙරිකානු ඩොලර් මිලියන 40,000ක් ගෙවා නැව නිදහස් වුවත් එහි ධාවන කටයුතු සම්බන්ධයෙන් නිසි ප‍්‍රමිතියක් නොමැති බව අන්තර්ජාතික ප‍්‍රවාහන සංගමය අවධාරණය කර සිටියේය.

කෙසේ නමුත් මෙම තත්වයන් සම්බන්ධයෙන් ලංකා නැව් සංස්ථාව කිසිවක් ප‍්‍රකාශ කිරීමට මැළි වූ අතර අදාළ මහපොළ නෞකාව විකුණා දැමීම සඳහා වන සැලැසුම් සකස් කළේය. ඒ අනුව වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් අදාළ තීරණය ගැනීමෙන් අනතුරුව විකිණීම සඳහා වන මුදල ඇස්තමේන්තුගත කළේය. ඒ අනුව රුපියල් විසිකෝටියකට  එය විකිණීමට ඇස්තමේන්තු කළ අතර එසේ නොහැකි වුවහොත් පරණ යකඩවලට නෞකාව විකුණා දැමීමට අමාත්‍යාංශ අනුමැතිය ලැබී තිබුණි. 

මෙම තීරණ සියල්ල ගනු ලබන්නේ නෞකාව ලංකාව ආසන්නයේ නොමැති තත්වයක් තුළය. පසුගිය මැයි මාසයේ ඩර්බන් වරායට ඇතුළුවන මෙම භාණ්ඩ නෞකාව එහි කපිතාන් ඇතුළු සේවකයන් 28දෙනකුගෙන් යුතු වූ බවට තොරතුරු වාර්තා කළේය. ඩර්බන් වරායේ දී අදාළ නැවේ සේවකයන් විසින් තමන්ට මාස 02ක වැටුප් ලබාදී නොමැති බවත් ජීවත් වීමට අදාළ පහසුකම් නොමැති බවත් දක්වමින් වරායට ආසන්නයේ වූ අධිකරණයක නඩුවක් ගොනු කළේය. 2012මැයි 17වැනි දින පැවරූ අදාළ නඩුව ඩර්බන් වරාය ආසන්නයේ වූ අධිකරණයක වූ  බැවින් හා අන්තර්ජාතික නෞකා නීතීන්ට අනුව නැවේ හා කාර්යමණ්ඩලයේ වගකීම ඩර්බන් වරායට වූ බැවින් මහපොළ නෞකාව ඩර්බන් වරායේ නැංගුරම් ලෑවේය. කෙසේ නමුත් මේ වන විට නෞකාවට අදාළ වරාය ගාස්තු හා එය නඩත්තු කිරීම සදහා වන මුදල් අනුක‍්‍රමයෙන් වැඩිවෙමින් පැවැතියේය.

කෙසේ නමුත් මහපොළ නෞකාවේ ගමන්ගත් කාර්යමණ්ඩලය මෙම තත්වයන් විසින් ජීවිත අවදානමකට මුහුණ දුන්නේය. ඩර්බන් වරායේ නැංගුරම් ලෑම හේතුවෙන් එහි සේවකයන් 28දෙනකුගේ ආහාර හා අනෙකුත් අවශ්‍යතා අදාළ වරාය විසින් ඉටුකිරීමට බැදී නොමැති තත්වයක් තුළ ඔවුන්ට ජීවත්වීම සදහා  කෙසේ හෝ මුදල් සපයා ගැනීමට  අවශ්‍ය වූ බැවින් සේවකයන් එහි වූ පැරණි යකඩ විකිණීමට කටයුතු කළේය. මෙයට විරුද්ධ වූ නැව් කපිතාන්වරයා විසින් සිද්ධියට සම්බන්ධ වූ සේවකයන් 13දෙනකු නීතිය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

මේ වන විට ලංකා ආණ්ඩුවට අයත් භාණ්ඩ නෞකාව ඩර්බන් වරායේ මෙවැනි තත්වයකට පත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ජනමාධ්‍ය තුළ කතා බහට ලක්වෙමින් පැවැතියේය. ලංකා ආණ්ඩුව වහාම මේ තත්වය සමනය කිරීම සඳහා කටයුතු කරනු ලැබූවේ නැවෙහි හිමිකාරීත්වය සම්බන්ධයෙන් වන වගකීමෙන් නිදහස් වීමෙනි.  ඒ අනුව ආණ්ඩුව පැවසුවේ  නැව මීට වසරකට පෙර ත‍්‍රිපල් එස් ෂිපින් නමැති නෞකා සමාගමට බදු දුන් බවත් එහි කටයුතු සම්බන්ධයෙන් වගකීම ඇත්තේ අදාළ සමාගමට බවත් පවසමිනි.  එහෙත් නැව හදුනාගැනීමට යොදාගන්නා නැවෙහි සවිකොට ඇති කොඩිය ශී‍්‍රි ලංකා රජයට අයත් කොඩිය බැවින් නැවෙහි මූලික වගකීම ලංකා ආණ්ඩුවට පැවරෙන බවට අදාළ මාධ්‍ය විසින් විමසීම් කරන ලදී. මෙම තත්වයන්ට පිළිතුරු වශයෙන් ආණ්ඩුව  විසින්  මහපොළ නැවෙහි හිමිකාරීත්වය දැක්වෙන කොඩිය වෙනස් කිරීමට අණ කළේය. ඒ අනුව නැවෙහි නංවා තිබූ සිංහ කොඩිය ඉවත් කොට ඒ වෙනුවට ටැන්සානියා රාජ්‍යයට අයත් කොඩියක් සවි කළේය. නැව සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ වගකීමෙන් නිදහස් වීම විහිළුවක් බවට පත්වන්නේ කොඩිය ඉවත් කළත් නැවෙහි නම ‘ලංකා මහපොළ’ වශයෙන් සටහන්ව ඇති බැවිනි.

කෙසේ නමුත් අදාළ නෞකාව ලංකා ආණ්ඩුව විසින් ත‍්‍රිපල් එස් නමැති සමාගමට පැවරුවත් එහි සේවකයන් 28දෙනකුගෙන් 26දෙනකුම අයත් වන්නේ ලංකාවට වීම විසින් හා නැවෙහි මූලික වගකීම ඇත්තේ ආණ්ඩුවට බැවින් මේ සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ වගකීම අනිවාර්යයක් වී ඇත. මෙවැනි තත්වයන් තුළ ඩර්බන් වරායේ රැදී සිටි සේවකයන්ගෙන්  18දෙනකු පසුගිය ජුනි 16වැනිදා ලංකාවට පැමිණියහ.  ඔවුන්ට අනුව මහපොළ නෞකාවට අයත් ප‍්‍රමිති සහතික සියල්ල මේ වන විට අවලංගු වී ඇති බවත් යාත‍්‍රාව කිසිදු අයුරකින්වත් ධාවනයට සුදුසු නැති එකක් වන බවත් මෙම නෞකාව  බදු දුන් ත‍්‍රිපල් එස් සමාගම විසින් නෞකාවේ නඩත්තුවට අදාළ කිසිවක් සිදු නොකරන අතර බදු දීම විසින් ද ආණ්ඩුවේ ඉහළ නිලධාරීන් අතිවිශාල මුදලක් ගසා කා ඇති බවත් තොරතුරු වාර්තා කරයි.

කෙසේ නමුත් ලංකා ආණ්ඩුව තමන් සතු භාණ්ඩ ප‍්‍රවාහන නෞකා සම්බන්ධයෙන් තබා තිබූ බර කිසිසේත්ම ප‍්‍රමාණවත් නොමැති අතර ලංකා නැව් සමාගමට අයත් භාණ්ඩ ප‍්‍රවාහන නෞකා දෙකම වැඩකට ගත නොහැකිව වරායන්හි නැංගුරම් ලා අතිවිශාල ධනයක් ඒ වෙනුවෙන් වැය කරමින් සිටී. මහපොළ නෞකාවේ තත්වය සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂාවක් සිදු කිරීමට අදාළ සමාගම හෝ ආණ්ඩුව කටයුතු නොකළ බවට වන හොදම සාක්ෂිය වන්නේ මෙම නැව ඩර්බන් වරායට පැමිණීමට පෙර, දින 20ක කාලයක් විදුලිය නොමැතිව තිබීමයි. එසේම නෛතික ලියකියවිලි පවා කල්ඉකුත් වූ ඒවා වීම විසින් මෙම තත්වය වඩාත් පැහැදිලි වේ. එසේම ලංකාවට ඇති අනෙක් භාණ්ඩ ප‍්‍රවාහන නෞකාව වන මුදිත නෞකාව දැනට වසරකට පමණ පෙර සිට ගාලූ වරායේ නැංගුරම් ලා ඇත.

ආණ්ඩුව බොරු සංවර්ධන සිහිනයක ජනතාව මුළා කිරීමට උත්සාහ කරන අතර මෙවැනි සම්පත් දිරාපත්වීමට ඉඩදීම හා එම නෞකා මගින් ජාත්‍යන්තර අපකීර්තියක් ද භුක්ති විදිමින් සිටී. ආණ්ඩුව තම සෙලූව වසා ගැනීමට දේශපේ‍්‍රමය නමැති සළුව පොරවා, එන එන අර්බුදවලින් මිදීමට කටයුතු කළ ආකාරයට සිංහ කොඩිය පහත හෙළා ටැන්සානියා කොඩිය ඔසවා මහපොළ නෞකා වගකීමෙන් මිදීමට තැන් කිරීම තුළ ද දැකිය හැකි වූයේ ආණ්ඩුවේ බොරුවය.  කෙසේ නමුත් අප‍්‍රිකාවේ ඩර්බන් වරායේ ද ලංකාවේ ගාලූ වරායේ ද දිරාපත්වන්නේ ලංකාවට අයත් සම්පත්ය. ඒවා යකඩ මුදලාලි කෙනකුට අයත්ද ජනතාවට අයත්ද යන්න හෙට දවසේ තීරණය වුවත් ඒ ජනතාවගේ සම්පත්ය.  

 

තුසිත පතිරණ

This content has been locked. You can no longer post any comment.

Advertisment

advertisment