A+ R A-

අවුරුදු දහතුනක් ඉස්කෝලේ ගියේ මේකටද ?

E-mail Print PDF

 

altකන්දක් විළිලා මී පැටවකු ප‍්‍රසූත කළේය. ඌ ද විකලාංගයෙකි. හාස්‍යය නම් විකලාංග වූ මී පැටවා පෙන්න පෙන්නා ‘Super’ යැයි කීමය. අප මේ කතා කරන්නෙ ‘Z’ ස්කෝර් ගැනය.

පසුගිය වසරේ අගෝස්තුවේ උසස් පෙළ විභාගය පැවැත්වීය. දෙසැම්බර් 26 වැනි දින ප‍්‍රථම වරට විභාග ප‍්‍රතිඵල නිකුත් කළේය. ගැටලූව මතුවන්නේ මෙතැන් පටන්ය. පළමුව නිකුත් කරන ලද ප‍්‍රතිඵල ද විකෘතිතා සහිතය. ඊට එල්ල වූ විරෝධය හමුවේ ප‍්‍රතිඵල හකුළා ගත්තේය. දෙවැනි වරටත් ප‍්‍රතිඵල නිකුත් විය. එය තවදුරටත් විකෘතිතා සහිත වූවකි. අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයට මැදිහත් වීමට සිදුවිය. නියෝගය ලැබිණි. සති දෙකකට අධික කාලයක් තොඳොල් වෙමින් සිට නැවතත් ප‍්‍රතිඵල නිකුත් කළේය. දැන් එය ද විකෘති ප‍්‍රතිඵලයක් වී තිබේ. ‘Z’ ස්කෝර් ගැටලූව අර්බුදයක් දක්වා වර්ධනය වී තිබේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස දැන් සිසුන්ට කබලෙන් ළිපට වැටී ලිප් ගල්වලට ද යටවීමට සිදුව ඇත. මේ දරුවන්ට වගකියන්නේ කවුද?

උසස් අධ්‍යාපන ඇමැතිවරයාගේ කටට මසුරන් දැමීමට තරම් වටින්නේය. මන්ද ඇමැතිවරයා පැවැසූ පරිදිම නව ‘Z’ ක‍්‍රමය යටතේ ඉහළ ‘Z’ අගයක් පැවැති දරුවන්ගේ ‘Z’ අගය පහළ ගොස් ඇති අතර පහළ ‘Z’ අගයක් පැවැති දරුවන්ගේ ‘Z’ අගය ඉහළ ගොස් තිබේ. මේ, ‘Z’ ස්කෝර් ගැටලූවට විසඳුමක්ද?

ප‍්‍රතිඵල නැවතත් වැරැදී ඇති බව ප‍්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමක් බව එස්.බී. දිසානායක ඇමැතිවරයා පවසයි. ඇමැතිවරයාගේ ප‍්‍රකාශයේ සත්‍ය අසත්‍ය කෙසේ වුවද එය මේ රටේ උසස් පෙළ විභාගයට පැරණි විෂය නිර්දේශය යටතේ පෙනී සිටි ළමයින් 99,535 ට අදාළ නැත.

තෙවැනි වර ප‍්‍රතිඵල නිකුත් වීම මගින් විශාල අසාධාරණයකටත් මානසික පීඩනයකටත් ගොදුරු වී ඇත්තේ පැරණි විෂය නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටි දරුවන්ය. මෙය ඛේදවාචකයක් නොවේ නම් එයට තවත් අර්ථ දැක්වීමක් තිබේද?

”මම විභාගයට ලිව්වේ කලා අංශයෙන්. ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් තමයි ඉල්ලූම් කළේ. තර්ක ශාස්ත‍්‍රය, සිංහල, දේශපාලන විද්‍යාව කියන විෂයන් තුනටම මට ‘A’ සාමාර්ථ තියෙනවා. මුලින් District rankඑක තිබුණෙ 112. Island rank 2180. මේ resultඑකට මට කැම්පස් යන්න පුළුවන්. ඒත් මේ වතාවේ ප‍්‍රතිඵල සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. District rankඑක 460 වෙලා. Island rankඑක 7591 වෙලා. මුලින් ‘Z’ Scoreඑක 1.6413 යි. දැන් 1.2659යි. මම විභාගයට ලිව්වේ තුන්වැනි වතාවට. මට කැම්පස් යන්න තිබුණ උවමනාව නිසාම තමයි මම විභාගයට ලිව්වේ. මම A3ක් ගත්තා. විභාගෙ පාස් වුණා. මුලින් කැම්පස් තේරුණු මම මේ පාර අසමත් වෙලා. කොහොමද එහෙම වෙන්නෙ? මට ආපහු විභාගයට ලියන්නත් බැහැ. මම ෆේල් වුණෙත් නැහැ. result sheetඑකේ ‘A’ 3ක් තියෙනවා. ඒත්....”

ඔහුගේ දෑස් කඳුළින් තෙත් වී තිබේ. තවදුරටත් කතා කරගත නොහැකි තැනටම ‘Z’ ස්කෝර් මගඩිය විසින් ඔහුව හෙම්බත් කර ඇත. දහසක් පීඩා මැද නෙළාගත් අස්වැන්න සොරාකෑමට පාලකයන් කටයුතු කර හමාරය. නමුත් සොරාගන්නට ඉඩහැර බලාසිටිය හැකිද?

”මම විද්‍යා අංශයෙන් විභාගයට ලිව්වේ. කොළඹින් ඉල්ලූම් කළේ. මුලින් තිබුණ resultඑකට අනුව මම වෛද්‍ය විද්‍යාලයට තේරිලා හිටියෙ. දැන් වෛද්‍ය විද්‍යාලයට තියා මොන පීඨයකටවත් යන්න බැහැ. මේ මගේ අන්තිම අවස්ථාව. මම දෙවැනි වතාවේ පශු වෛද්‍ය අංශයට තේරුණා. ඒත් ගියෙ නැත්තෙ වෛද්‍ය පීඨයට යන්න  ඕන නිසා. මම උදේ හවස දැක්කෙ වෛද්‍යවරයෙක් වෙන හීනය. මගේ හැම පොතකම මුල් පිටුවේ වෛද්‍යවරයෙක්ගෙ පින්තූරයක් ඇඳලා තියෙනවා. දැන් ඒවා දිහා බලාගෙන මම විතරක් නෙවෙයි අම්මයි, තාත්තයි, අක්කයි හැමෝම අඬනවා.”

වසර දහතුනක පාසල් ජීවිතයෙ අග‍්‍ර ඵලය කඳුළට දියකර හරින්නට අද දරුවන්ට සිදුවී තිබේ. 

”මම කලා අංශයෙන් විභාගයට ලිව්වේ. කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් තමයි ලිව්වේ. ප‍්‍රතිඵල  Aදෙකයි Bඑකයි. කැම්පස් තේරිලා හිටියෙ. ඒත් දැන් මට කැම්පස් යන්න බැරි විදිහට ප‍්‍රතිඵල වෙනස් වෙලා. දෙවැනි වතාවට තමයි විභාගයට ලිව්වේ. මට උගන්වන්න අම්මයි, තාත්තයි දෙන්නම කුලී වැඩ කළා. ගෙදරට කරන්ට් එක වත් නැහැ. ඒත් මම හොඳට විභාගෙ පාස් වුණා. මුලින් ප‍්‍රතිඵල දැක්ක වෙලාවේ ගෙදර හැමෝම සතුටු වුණා. ඒත් දැන් හැමෝම අඬනවා. අම්මත් ලෙඩ වෙලා. පොත් පත් ටික පවා ගන්න ගොඩක් දුක් විඳින්න වුණා. ඇයි මෙහෙම අපේ අනාගතය එක්ක සෙල්ලම් කරන්නෙ? අපිට අයිති ප‍්‍රතිඵල කොහොමද මෙහෙම උදුරගන්නෙ?”

කුසට හරි හමන් අහරක් නොමැතිව, සිරුරට හරිහමන් වස්ත‍්‍රයක් නොමැතිව, පයට මිරිවැඩි සඟලක් නොමැතිව ඔවුන් තමන්ගෙ අරමුණ කරා දිවවිත් තිබේ. නමුත් අද පාලකයන් ඔවුන්ගේ ජීවිතයට ද අලගු තබා ඇත.

”මම කෑගල්ලෙ. මගෙ දුව විද්‍යා අංශයෙන් විභාගයට ලිව්වේ. එයාට කැම්පස් යන්න පුළුවන්කම තිබුණා. එයා A3 ක්ම ගත්තා. මගේ දරුවා පුංචි කාලේ ඉඳලම දක්ෂයි. ඒත් මේ පාර ප‍්‍රතිඵලවලින් කැම්පස් යන්න බැහැ. දරුවා හරියකට කන්නෙ බොන්නෙවත් නැහැ. ඉකි ගගහා අඬනවා. අද මගෙ දරුවා විතරක් නෙවෙයි දහස් ගාණක් දරුවො අඬනවා. අම්මලා තාත්තලා හූල්ලනවා. අපි කාටද මේවා කියන්නෙ? වගකියන්න  ඕන මිනිස්සුමනෙ හැමදේම විනාශ කරන්නෙ. අපේ දරුවන්ගෙ ජීවිතවලට මොනවහරි හානියක් වුණොත් ඔය මැති ඇමැතිවරු හැමෝම වගකියන්න  ඕන.”

දවසින් දවස සිය දරුවන් අකුරු කළ සැටි බලා ඔවුහු සැනසුම් සුසුම් හෙළූහ. සිහින මාළිගා බැන්දාහ. දරුවන්ගේ අනාගතය සරි කරනු පිණිස දර දිය ඇද්දෝය. සාර්ථකය. නැත. අතිසාර්ථකය. නමුත් මොහොතකින් සියල්ල අළු දුලී බවට පත්ව තිබේ. අනාගතය ගැන පමණක් නොව අද දවස වන විට තම දරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් ද ඔවුන්ට ඇත්තේ ප‍්‍රශ්නාර්ථයකි.

මාතර තෙරේෂා දිශානි කලා අංශයෙන් ‘A’ සාමාර්ථ 3ක් ලබාගෙන තිබුණි. ඇගේ දිස්ත‍්‍රික් කුසලතාව 232 විය. ප‍්‍රතිඵල වෙනසත් සමග දිස්ත‍්‍රික් කුසලතාව 523 බවට පත්ව ඇත. දැන් ඇයටත් සරසවි වරම් අහිමි වී ඇත. හම්බන්තොටින් වාණිජ අංශයෙන් විභාගයට පෙනී සිටි කපිල කුමාර ‘A’ සාමාර්ථ 2ක් සහ ‘B’ සාමාර්ථයක් ලබාගෙන දිස්ත‍්‍රික්කයේ 97 වැනි ස්ථානයට තේරී පත් වී සිටියේය. නව ප‍්‍රතිඵලයට අනුව එය 120 දක්වා පහළ ගොසිනි. කපිලගේ සිහිනය ද බොඳ වී ඇත. විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිටි පියුමි වත්සලා ‘A’ සාමාර්ථයක් සහ ‘B’ සාමාර්ථ දෙකක් ලබාගෙන නුවරින් 35 වැනි ස්ථානයට පත්වී විශ්වවිද්‍යාලයට වරම් ලබා සිටියාය. දැන් ඇගේ දිස්ත‍්‍රික් කුසලතාව 42 බවට පත්ව තිබේ. පෙර දිස්ත‍්‍රික් කුසලතාවට අනුව වෛද්‍ය පීඨයට තේරීපත් වී සිටි ඇයට දැන් එම අවස්ථාව අහිමිකර ඇත. ගම්පහ දිස්ත‍්‍රික්කයේ කලා අංශයෙන් විභාගයට පෙනී සිටි ධනංජය ලක්ෂාන් ‘A’ සාමාර්ථ 2ක් සහ ‘B’ සාමාර්ථයක් සහිතව දිස්ත‍්‍රික්කයේ 240 වැනි ස්ථානයට තේරී පත් විය. ඒ අනුව ඔහුට සරසවියේ දොරගුළු හැරිණි. නව ප‍්‍රතිඵලයට අනුව ඔහු දැන් 656 වැනි ස්ථානයේ ය. සරසවියේ ඔහුට හැරුණු දොරගුළුවලට දැන් ඉබි යතුරු දමා ඇත. මේ ප‍්‍රතිඵල විකෘතිතා අතරින් අතළොස්සක් පමණි.

ප‍්‍රශ්නයෙන් පැන යන්නට ආණ්ඩුව දැන් අපූරු උත්තරයක් හොයාගෙන තිබේ. එනම් නව ප‍්‍රතිඵලයට අනුව විශ්වවිද්‍යාලයට ප‍්‍රවේශ වීමට නොහැකි සිසුන්ට විභාගයට අයදුම් කිරීම සඳහා දින පහක් ලබාදීමය. එයත් ෆැක්ස් ක‍්‍රමයට ඉල්ලූම් කළ හැක. එසේ කළ පමණින් ප‍්‍රශ්නය විසඳේද? නමුත් මෙවර විභාගය අගෝස්තු මස 06 වැනි දිනයේ දී ආරම්භ වීමට නියමිතය. දින 10 කටත් අඩු කාලයකදී උසස් පෙළ වැනි අතිධාවනකාරී, තරගකාරී විභාගයකට ශිෂ්‍යයකුට සූදානම් විය හැකිද? පසුගිය දෙසැම්බරයේ සිට මෙම වසරේ විභාගය පැවැත්වීමට නියමිත කාලය වනතුරු ප‍්‍රතිඵල ගැටලූව විසඳීමට නොහැකි වූයේ ශිෂ්‍යයන්ගේ වරදින්ද?

අද විශ්වවිද්‍යාල වරම අහිමිකර ඇත්තේ ද ඉහළම ප‍්‍රතිඵල ලබාගත් සිසුන්ගේ වීමද මෙහි විශේෂ තත්වයකි. වරෙක ආණ්ඩුවේ නිල ලේඛන මගින්ම සරසවියේ දොරගුළු හරිද්දී ඊළඟ නිමේෂයේ එම දොරගුළුවලට ඉබි යතුරු දමන්නේය. මේ වගකිව යුතු, වගකීමට බැඳී සිටින පාලකයන්ගේ දූරදර්ශී ක‍්‍රියාකලාපයද?

පාලකයන් අද සෙල්ලම් කරමින් ඉන්නේ මේ රටේ අනාගතය සමගය. මෙය ඇස් රතු වීමෙන් පමණක්ම නතර වන සෙල්ලමක් නොවන බවද පාලකයන් දත යුතුය.

වසර දහතුනකට අධික කාලයක් පුරාවට දරුවන්, මව්පියන්, ගුරුවරුන් එක්ව කළ අරගලය මෙසේ ආපස්සට හැරවිය හැකිද? ඒ අරගලයේ නියමුවන් මෙන්ම එම ජයග‍්‍රහණයේ හිමිකරුවන් ද ඔවුන්මය. මේ ජයග‍්‍රාහකයන් පාලකයන්ගේ උවමනාව මත පරාජය භාරගත යුතුද? පාලකයන් අසමත් වන්න, අසමත් වන්න එහි පන්නරය ජනතාව ලබාගත යුතුය. වානේ පන්නරය ලබන්නේ ද ගින්නට අසුවී තැළෙන තරමටය.

මේ වන විට 2011 උසස් පෙළ විභාගය අර්බුදයට ගොස් ඇතිවාක් මෙන්ම මීට පෙර අවස්ථාවලදී මෙවන් ගැටලූවක් මතුවිය. ඒ 2005 වසරේදීය. එහිදී රසායන විද්‍යාව බහුවරණ ප‍්‍රශ්න පත‍්‍රය පරීක්ෂා කිරීමේදී මතු වූ දෝෂයක් හේතුවෙන් සිසුන්ට අසාධාරණයට ලක්වීමට සිදුවිය. රජරට වෛද්‍ය පීඨය ඇරඹෙන්නේ එම අසාධාරණයට පිළිතුරක් වශයෙනි. අද දවසේ ‘’’ ස්කෝර් මගඩිය දහස් ගණනක් දරුවන්ගේ ජීවිත හඹාගෙන ගොස් හමාරය. මොවුන් සියල්ලටම සාධාරණය ඉටුවිය යුතුය. මන්ද ඔවුන් තමන්ගේ කාර්යය වඩාත් හොඳින් අවසන් කර ඇති නිසාවෙනි.

පාලකයන්ට දැන් මේ අර්බුදයෙන් පැන යා නොහැකිය. දිව හැරෙන හැරෙන අතට කතා කියමින් අත පිහදාගත නොහැක. මන්ද මෙකී වගඋත්තරකරුවන් ඔවුන්ම වන බැවිනි. පාලකයාට බුද්ධිමත් දරුවා ප‍්‍රශ්නයක් වූවාට ඔහු රටට සම්පතකි. එහෙයින් ඔවුන්ගේ ජීවිත මෙන්ම අනාගතය ද සුරක්ෂිත විය යුතුය.

අද විශ්වවිද්‍යාල ශිෂ්‍යයා සිය අධ්‍යාපන අයිතිය ඉල්ලා වීදියට බට කල ඔවුන්ට හිමිවන්නේ කඳුළු ගෑස්ය. බැටන් පොලූ ප‍්‍රහාරය. පන්ති තහනම් කිරීම්ය. සිරගත කිරීම්ය. එදත් අදත් එකී සුවහසක් කැපකිරීම් නොවන්නට මේ නිදහස් අධ්‍යාපනයේ මළගමත් සිදුව අවසන්ය.

ඉතින් දැන් ‘නොදනිමි කාගේ දොසා’ යනුවෙන් කියා අහක බලා හිඳින්නට අවසර නැත. දොස කාගේදැයි සියල්ලෝම දැන් වඩාත් හොඳින් දන්නෙහිය. එසේ නම් කළ යුත්තේ තමන් අත්පත් කරගත් ජයග‍්‍රහණය ගිලිහී යාමට නොදී රැකගැනීම නොවේද? 

 

ආශිකා බ‍්‍රාහ්මණ

This content has been locked. You can no longer post any comment.

සේයා සටහන

අවුරුදු දා

අවුරුදු දා

අධ්‍යාපනයේ නිදහසත්, නිදහස් අධ්‍යාපනයත් දිනා ගැනිමේ අරගලයට, අවුරුදු දා වුව විරාමයක් නොතබන ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය

Search