උසස් පෙළ විභාගයේ නව ඉසෙඩ් ලකුණු සම්බන්ධයෙන් සියලු සිසුන්ට සාධාරණය ඉටු කිරීම සඳහා කඩිනමින් කටයුතු නොකළහොත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම ඇතුළු පාර්ශ්වකරුවන් ගෙන්වා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම පවසයි.
උසස් පෙළ නව ඉසෙඩ් ලකුණු සම්බන්ධව මානව හිමිකම් කොමිෂම වෙත පැමිණිලි 938ක් ලැබී ඇති අතර ඒවා විභාග කිරීම සඳහා පසුගිය සිකුරාදා (27) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ උප සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න, උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න යන මහත්වරුන් ඇතුළු වගඋත්තරකරැවන්ගේ සහභාගීත්වයෙන් පැය 2ක දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී සිසුන් 3000කින් විශ්වවිද්‍යාල ප්‍රවේශය වැඩි කිරීමට උසස් අධ්‍යාපන ලේකම්වරයා එකඟවීමෙන් අනතුරුව ඊට අදාළ නීතිමය තත්ත්වය විමසීමට නීතිපතිවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන ලෙස යෝජනාවූ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ කොමසාරිස් නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය. පැරණි ඉසෙඩ් ලකුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් ශූන්‍ය කර ඇති නිසා පැරණි ඉසෙඩ් අගයට අනුව සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලබා සිටි සිසුන් සරසවිවලට ඇතුළත් කළ නොහැක. කෙසේ වෙතත් මෙම පැමිණිලිවලට අදාළ සිසුන්ට සාධාරණයක් ඉෂ්ට කිරීමට වෙනත් විකල්පයක් නොමැති නිසා මේ සම්බන්ධව ගතයුතු ක්‍රියාමාර්ග කවරේද යන්න නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන ලෙස බලධාරීන්ට නියම කළ බවද ඒ මහතා පැවසීය.
එම නීති උපදෙස් ලබාගැනීම කඩිනමින් සිදුකරන බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහතිකවූ හෙයින් තම කොමිෂම ඒ පිළිබඳව ඉතා අවධානයෙන් සිටින බවද ඒ මහතා පැවසීය. අදාළ ක්‍රියාමාර්ග පමා කිරීමක් හෝ නොසලකා හැරීමක් පෙනී ගියහොත් ඔවුන්ට එරෙහිව 1996 පනතින් ලැබී ඇති බලතල ප්‍රකාරව කටයුතු කරන බව මහානාම හේවා මහතා වැඩිදුරටත් පැවසීය.








