”අර්බුදයට ගිය සමහර පවුල්වල තාත්තලා බී, සූදු කෙළිනවා අපි දැකලා තියෙනවා. ඔවුන් ගෙදර තියෙන බඩු මුට්ටු උගත් තියමින් සූදු කෙළිනවා. ආඩම්බරකාර තාත්තාත් ඒ තත්වයට පත් වෙලා.” යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
අද එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසුවේ ලන්ඩන් අධිකරණයකින් හෙජිං ගිවිසුමට අදාළව ලබා දී ඇති තීන්දුවක් පිළිබඳව අදහස් දක්වමිනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.
”2006ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල ඩොලර් 160-170දක්වා ඉහළ ගිය අවස්ථාවේ තමයි ආණ්ඩුව මේ සූදුවට යන්න තීරණය කළේ. හෙජිං කියන්නේ සූදුවක්. ඒ අනුව ආණ්ඩුව ඩොලර් 130ක ස්ථාවර මිලකට බොර තෙල් මිලදී ගන්න ප‍්‍රසිද්ධ බැංකු පහක් සමග ගිවිසුම් අත්සන් කළා.
ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව අජිත් නිවාඞ් කබ්රාල් කැබිනට් රැස්වීමකට සහභාගි වෙලා හෙජිං ගැන කරුණු දැක්වූවා. සාමාන්‍යයෙන් කැබිනට් රැස්වීම්වලට නිලධාරීන් සම්බන්ධ වෙන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ විශේෂ ඉල්ලීමකට අනුවයි කබ්රාල් ඊට සහභාගි වුණේ. එහිදී කැබිනට් මණ්ඩලය තීරණය කළා, නැවත ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතුයි කියලා.
ඒ අනුව 2006ඔක්තෝබර් 19වැනිදා පී.බී. ජයසුන්දරගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් නම් කළා. ඒ කමිටුව 2006නොවැම්බර් 16වැනිදා නිර්දේශ පහක් ඉදිරිපත් කළා. 2007ජනවාරි 13වැනිදා ඛනිජ තෙල් හා ඛනිජ තෙල් සංවර්ධන ඇමතිවරයා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ මගින් හෙජිං ගිවිසුම්වලට එළඹිය යුතු බවත් ස්ටෑන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුව, සිටි බැංකුව, ඩොයිෂ් බැංකුව කියන විදේශීය බැංකු තුන සමගත් මහජන බැංකුව හා කොමර්ෂල් බැංකුව සමගත් ගිවිසුම් අටකට එළඹිය යුතුයි කියා නිර්දේශ කළා.
ඒ කැබිනට් රැස්වීමට ජනාධිපතිවරයා සහභාගි වුණේ නැහැ. ඒ නිසා තමන්ගේ නිර්දේශවලට කාලය අවශ්‍ය බව ඔහු දැනුම් දී තිබුණු නිසා එම රැස්වීමේදී ඒ ගැන තීරණයක් ගත්තේ නැහැ. මට කියන්න අවශ්‍ය වුණේ, හෙජිං ගිවිසුම කැබිනට් මණ්ඩලයේ සාමූහික තීරණයකුත් නොවෙයි. ඊට පිටින් ජනාධිපතිවරයා පී.බී. ජයසුන්දර හා අජිත් කබ්රාල් සමග ගෙනාවේ. දැන් බබ්බු වගේ කතා කරන්න බැහැ.
ඊට පසුව ජනාධිපතිවරයා නිර්දේශ පහක් ඉදිරිපත් කළා. පළමු නිර්දෙශය වුණේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හෙජිං ගිවිසුම්වලට යා යුතුයි. දෙවැනි නිර්දේශය එම ගිවිසුම් ‘සීරෝ කොස්ට් කොලර්’ ක‍්‍රමයට විය යුතුයි. මේ සීරෝ කොස්ට් කොලර් ක‍්‍රමය නිසා තමයි මේ තරමේ අති විශාල පාඩුවක් සිදු වුණේ. ජනාධිපතිවරයායි එය නිර්දේශ කළේ. තුන්වැනි නිර්දේශය වුණේ මුලින් සුළු පරිමාණ තෙල් සඳහා හෙජිං ක‍්‍රියාත්මක කර පසුව මහා පරිමාණ ප‍්‍රමාණ දක්වා වර්ධනය කළ යුතුයි යන්න. හතර වැනි නිර්දේශය හෙජිං සඳහා මිල ගණන් කැඳවීමට තෙල් සංස්ථාවට බලය පවරනවා. පස් වැනි නිර්දේශය වරින් වර අවශ්‍ය පරිදි ගිවිසුම් අලූත් කරන්නත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පවරනවා.
ඒ අනුව ස්ටෑන්ඩර්ඞ් චාටර්ඞ් බැංකුව සමග ගිවිසුම් දෙකක්, සිටි බැංකුව සමග ගිවිසුම් දෙකක්, ඩොයිෂ් බැංකුව සමග එක් ගිවිසුමක් මහජන බැංකුව සමග ගිවිසුම් දෙකක් හා කොමර්ෂල් බැංකුව සමග එක් ගිවිසුමක් අත්සන් කළා. 2008ජුනි 1සිට නොවැම්බර් 1දක්වා මාස පහ තුළ මේ ගිවිසුම් අත්සන් කළේ. මේ අනුව බැරලයක් ඩොලර් 130බැගින් තෙල් බැරල් මිලියන 26ක් ගෙන්වා තිබෙනවා. එහි වටිනාකම ඩොලර් බිලියන දෙකක්.
හෙජිංවලට යන්න තීරණය කළේ බැරලය ඩොලර් 160ට පමණ තිබියදී වුණත් තෙල් ගන්න කාලය වන විට බැරලයක මිල ඩොලර් 50දක්වා පහළ බැස තිබුණා. ලෝක වෙළඳපොළේ බොර තෙල් බැරලයක් බැරලයක මිල ඩොලර් 50කට තිබියදී ආණ්ඩුව තෙල් මිලදී ගත්තේ 130බැගින්.
ඒ අනුව ආණ්ඩුව කළ යුතුව තිබුණේ, ගිවිසුම් අලූත් නොකර, ඉන් ඉවත් වීමට අදාළ නෛතික පසුබිම සොයා බැලීම. නමුත් ඒ කිසිවක් නොකර ආණ්ඩුව බැංකුවලට මුදල් නොගෙවා හැරියා. ඒ නිසා ස්ටෑන්ඩර්ඞ් චාටර්ඞ් බැංකු ඩොලර් මිලියන 162ක්, සිටි බැංකුව ඩොලර් මිලියන 200ක් හා ඩොයිෂ් බැංකුව ඩොලර් මිලියන 60ක් ඉල්ලා ඒ රටවල අධිකරණවල නඩු පැවරුවා.
නොගෙවූ කාලයට අදාළ පොලිය රහිතව ඩොලර් මිලියන 422ක් ඉල්ලා තිබෙනවා. රුපියල්වලින් රුපියල් කෝටි 5,000ක් පමණ. ආණ්ඩුව මහජන මුදලින් සූදුකෙළීම නිසා සිදු වූ පාඩුව රුපියල් කෝටි 5000ක්. ඔබ දන්නවා, මහවැලි කඩිනම් ව්‍යාපාරයට වැය වූ මුදල කෝටි 5000ක්. මේ මුදල කොතරම් විශාල මුදලක්ද කියලා දැන ගන්න මම උදාහරණයක් කියන්නම්. ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන සියලූම දෙනාට වර්ෂයක් සඳහා සමෘද්ධිය දෙන්න වැය වන්නේ රුපියල් කෝටි 900යි. ලංකාවට වසරකට අවශ්‍ය ඖෂධවලට වැය වන්නේ රුපියල් 1100යි.
නමුත් ආණ්ඩුව මොකද කියන්නේ. ආණ්ඩුව කියන්නේ මේ සූදුව හරි කියලා. 2010ජනවාරි 18වැනිදා දිවයින පුවත්පත සමග අජිත් කබ්රාල් මහතා කළ සාකච්ඡුාවකදී හෙජිංවලින් කිසිදු පාඩුවක් සිදු වී නැති බව ඔහු කියා තිබෙනවා.
2011නොවැම්බර් 24වැනිදා එවකට ඛනිජ තෙල් ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා මෙම නඩු සඳහා සාක්ෂිකරුවන් එංගලන්තයට යවන්න පමණක් රුපියල් එක්කෝටි තිස්අට ලක්ෂ අනූඅට දහස් තුන්සිය අනූතුනයි ශත පනහක් වැය වී තිබෙන බව. ඒ නඩු ගාස්තු හා නීතිඥ ගාස්තු නැතිව.
ඒ විතරක් නොවෙයි, විගණකාධිපතිවරයා කෝප් කමිටුවට ඉදිරිපත් කළ වාර්තාවකට අනුව ග‍්‍රීසියේ බැංකුවල බැඳුම්කර ආයෝජනය කිරීම නිසා සිදු වූ පාඩුව කෝටි 340යි. ග‍්‍රීසියේ ආර්ථිකය කඩා වැටෙමින් තිබියදී මේ ආයෝජන සිදු කර තිබෙන්නේ.
මේ යන ආර්ථික ගමන තුළ ආණ්ඩුවට සූදු කෙළීම හැර වෙනත් විකල්පයක් නැහැ. මීට පෙර මාස කිහිපයකට අවශ්‍ය තෙල් ගබඩා කර ගන්න පුළුවන්කම තිබුණා. නමුත් 77න් පසුව ඒ තෙල් ටැංකි විකුණා දැම්මා. ත‍්‍රිකුණාමලයේ හා කොළඹ තෙල් ටැංකි ඉන්දියාවට විකුණා දමා තිබෙනවා. මුතුරාජවෙල තෙල් ටැංකි අබලන් වෙමින් තිබෙනවා. ඒවා නඩත්තු කරන්නේ නැහැ.
දැන් මේ සූදුව දිනුවොත් ආණ්ඩුව දිනුම්. පැරදුණොත් මුළු සමාජයම පරාදයි. මේ අර්බුදයට විසඳුම් සොයන්න ආණ්ඩුවට ඉදිරි දර්ශනයක් නැහැ.
නව ලිබරල්වාදයට ප‍්‍රතිපත්තිමය වශයෙන් අපි විරුද්ධයි. නමුත් මේ පාලකයින්ට නව ලිබරල්වාදයෙන් ගන්න පුළුවන් දේ ගන්නවත් හැකියාවක් නැහැ. එහි ඵල ගන්නත් නොහැකි පසුගාමීත්වයක් තිබෙන්නේ. ඒ නිසා සූදු කෙලින්නයි, සුර බඳින්නයි, කඩු හොරකම් කරන්නයි පටන් ගෙන තිබෙනවා. නව ලිබරල්වාදයයි පසුගාමීත්වයයි එක් වුණාම සිදු වන්නේ මෙවැනි දේවල්.
මේ වන විට විශාල වශයෙන් කතාවන මාතෘකාවක් තමයි ළමා අපචාර. ඊට හේතුවත් මේකම තමයි. පසුගාමීත්වය තුළ ලිංගිකත්වය වැනි මාතෘකා තහනම් දේ බවට පත් කර අද්භුත දේ බවට පත් කර සිර කර තිබෙනවා. අනෙක් පැත්තෙන් නව ලිබරල්වාදයෙන් උපරිම ලෙස ලිංගිකත්වය උද්දීපනය කරනවා. සමාජය වධකාගාරයක් බවට පත් වෙලා. ඒ පීඩනය පුපුරා යන්නේ ළමුන්ගේ පිටින්.
මේ ගමන තවදුර ගියොත් සිදු වන්නේ විශාල විනාශයක්. ඒ නිසා ජනතාව තීරණයක් ගත යුතුයි. ජනතව ගන්නා තීරණය මතයි, තවදුරටත් මෙවැනි සූදු ක‍්‍රියාත්මක වෙනවාද නැද්ද කියා තීරණය වන්නේ”








Comments