පසුගිය වසරේ අපොස උසස් පෙළ විභාගයට පැරණි හා නව විෂය නිර්දේශ යටතේ පෙනී සිටි සිසුන් සඳහා වෙන වෙනම ගණනය කොට 2012.07.22 වැනිදා නිකුත් කළ නව ඉසෙඩ් ලකුණු ද අවලංගු කරන්නැයි ඉල්ලා සිසුන් 33 දෙනෙක් ඊයේ (31 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
පෙත්සම ගොනු කළ සිසු සිසුවියන් සියලු දෙනාම කොළඹ, කළුතර, ගම්පහ දිස්‌ත්‍රික්‌කවල පදිංචි පැරණි විෂය නිර්දේශය යටතේ උසස් පෙළ විභාගයට පෙනී සිටි අය වෙති.
පෙත්සම්කාර සිසුන් කියා සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් ජුනි මස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට කළ නියෝගයකින් පසුව නිකුත් කරන්නට යෙදුණු නව ඉසෙඩ් ලකුණු හේතුකොට ගෙන තමන්ට විශාල පාඩුවක් හා අසාධාරණයක් සිදු වී ඇති බවයි.
එනිසා පෙත්සම පිළිබඳ විභාගයක් පවත්වා අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු එදින නිකුත් කළ ඉසෙඩ් අගය අනුව විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමට කිසිදු පියවරක් ඉදිරියට ගැනීම වළක්‌වමින් විභාග කොමසාරිස්‌වරයාට හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා ඇත.








