Latest news
A+ R A-

සිහිනය බොඳව යාමට පෙර....

E-mail Print PDF

alt නුඹෙත්, අපි හැමෝගෙමත් හිත්වල, පුංචිකාලෙ ඉඳල ලොකු හීනයක් තිබුණා. ඒ තමයි ”මහන්සිවෙලා ඉගෙනගෙන කවදා හරි හොඳ මනුස්සයෙක් වෙනවා” කියල. අපි මේ ලෝකෙ එළිය දකින්නටත් මාස දහයකට කලිං ඉඳලා, අපි වෙනුවෙන් මහපොළොව එක්ක පොර බදපු, වැසි දිය තරමටම පොළොව පොඟවන්නට දාඩිය හෙළලා වැඩ කරපු, අපේ අහිංසක අම්මගෙ තාත්තගෙ හිත් ඇතුළෙත් ඒ හීනය වෙනස් වචන වලින් ලියවිලා තිබුණා. ”මගේ පුතා කවදාහරි ලොකු මිනිහෙක් වෙන්න  ඕනෑ”. ඉතිං වසර විසිපහකට වැඩි අපේ ජීවිතයේ, අහස තරම් උස මහා විභාග කඩුලූ උඩිං, පැනගෙන පැනගෙන එන්නට අපිට හයිය වුණේ, අම්ම පොවපු තන කිරි බිඳත්, තාත්ත කවපු බත්කටත් විතරක් නෙවෙයි. උංගෙ අපේ හිත් ඇතුලෙ ලියල තිබුණු ඒ අහිංසක ”හීනය”ත් හයියක් වුණා.

 
ඉතිං අපිට ලැබුණු සොච්චම් නිදහස් අධ්‍යාපනයේ මහිමයෙන්, අපි අපේ හීන වලට ළං වුණා. මහ මුහුදෙ වතුර ලූණු රහ වුණේ, මේ විභාග කඩඉම පහු කරන්න, අපේම අම්ම තාත්ත එක්ක අපිත් එකතුවෙලා වගුරවපු ලූණු රසැති දහඩිය කඳුලූ බිංදු වලින්ද කියල හිතෙන තරමටම, අපි ඒ වෙනුවෙන් මහන්සි වුණා. වේලක් නොකා, වේලක් කාල ලියපු විභාග වල තිත්ත රසය යන්තම් හරි මැකුණෙ ”මේ කට්ට හැමදාමත් නැතෙයි” කියලා හිත හදාගත්ත නිසා. කොහොම හරි අන්තිමට කළු පාට ලෝගුව උරයට දාගෙන සතුටු කඳුළින් තෙමුණු දෑසින් ගෙදර ආවෙ දාහක් බලාපොරොත්තු හිතේ තියාගෙන කියල අපි හැමෝම දන්නවා. එතනින් එහාට අපිට තිබුණෙ ලොකු වගකීම් ගොඩක්. එක පැත්තකින් අපේම ලෝකයක් ගැන බලාපොරොත්තුව. අනෙක් පැත්තෙන් අපේම අම්මගෙ තාත්තගෙ දුක නිවන බලාපොරොත්තුව. මේ දෙකම අපේ දෙපා පාමුලටම ඇවිල්ල. ඒත් ”රැකියාව” ඒ විදියටම අපේ දෙපා පාමුලට අවෙනම් නැහැ. 
 
අපිත් එක්කම උපාධිය ගත්ත සහෝදර සගයින් රැකියාවට යද්දි අපිට වෙන බාධාවක් ඇවිත් තිබුණා. ඉතිහාසය පුරාවටම අපේ රටට උපාධිධාරීන් බරක් වෙලා තිබුණා. 2004 වසරේදි අපේ සහෝදර අයියලා අක්කලාට (දැවැන්ත අරගලයකින් පසු) රැකියා දුන්නට පස්සෙ සොච්චම් වැටුපකට හරි බඳවාගැනීමක් සිදු කළේ මේ වසරේදියි. හතලිස් දාහකට අධික ප‍්‍රමාණයකට රැුකියා දුන්නට පස්සෙත්, රැුකියා විරහිත උපාධිධාරී ගැටළුව තවමත් විසඳිලා නැහැ. දහස් ගණනක් අපි වගේ සහෝදර සහෝදරියො, ලංකාව පුරාවටම හැම දිස්ත‍්‍රික්කයකම ඉතිරි වෙලා ඉන්නවා. ආරම්භයේදී අවිධිමත් දේශපාලන පත්වීම් ලෙස ලබාදුන්නු උපාධිධාරී පත්වීම්, සමස්ථ උපාධිධාරීන්ගේ බලපෑම මත විධිමත් ලෙස සිදු කිරීමට පාලකයින්ට සිදු වුණා. ඉන් පසු දාහකුත් එකක් බලාපොරොත්තු තියාගෙන අභ්‍යාසලාභී පත්වීම් සඳහා සම්මුඛ පරීක්ෂණවලට ගියපු, පත්වීම් ලිපි ගැනීම සඳහා කැඳවීම් ලැබුණු හැමෝගෙම බඳවාගැනීම් පහුගිය ජුලි 4 වෙනිදා ආණ්ඩුව විසින් නිකුත් කරපු චක‍්‍රලේඛයක් හරහා උන්හිටිගමන් නවත්තලා. 
 
මේ චක‍්‍රලේක කතාවේ ඇත්ත දැනගන්න ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය” ලෙස අපි ඒ ඒ දිස්ත‍්‍රික්කවල දිස්ත‍්‍රික් ලේකම්වරු මුණගැහෙන්න උද්ඝෝෂණයකින් ගියා. ඒ හැම දිස්ත‍්‍රික්කයකම අපිට කිවුවෙ ”ඔයාලගෙ පත්වීම් ලිපි හදල තියෙන්නෙ - නමුත් චක‍්‍රලේකය නිසා අපිට කරන්න දෙයක් නැහැ - ඔයාලට අසාධාරණයක් වෙලා තියෙනවා - නමුත් කණගාටුයි” කියන එකයි. ඊට පස්සෙ අපි පසුගිය 18 වෙනිදා පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටට ගිහින් විසඳුමක් ගැන ඇහුවා. ගේට්ටු වසා දමමින් ඇතුල්වීම වැළැක්වුවා. අපි අපේ ප‍්‍රශ්නය උද්ඝෝෂණයකින් රටට කියල ආපහු ආව.  දැං ඉතිං අපි මොකද කරන්නෙ? නිකංම නිකං ගෙදර ඉන්න එකේ පීඩනය දන්නෙ අපි. ”දැං මොකද කරන්නෙ?” කියල රට්ටු ඇහුවාම දෙන්න උත්තරයක් නැතිව ආත්මාභිමානය දෙපා පාමුල වැටෙද්දී ගොලූ වෙන්නෙ අපි. අම්මගෙ තාත්තගෙ හීනය තව තවත් දුරයි කියල හිතෙනකොට ඒ පීඩනය දැනෙන්නෙ අපිට. මේ හැම එකකින්ම පරිපීඩනයට ලක්වෙන්නෙ අපි. 
 
ඒ නිසා සගයිනේ... දෑත දෙපය හකුලාගෙන නිවසේ ගුලි වෙන්නෙ නැතිව... පාරට බහිමු. අපේ දුක, අපේ වේදනාව, අපේ පීඩනය රටට කියමු. ජනතාවගේ සහය ජනතාවගේ අවධානය අපේ ප‍්‍රශ්නය වෙත ගනිමු. එවිට අප නැගූ පුංචි හ`ඩ- මහ දැවැන්ත එකක් බවට පත් වේවි. ඒ වෙනුවෙන් හැමෝම එක් වෙමු. උසස්පෙළ සිසුවාගේ සිට සරසවි ඇදුරා දක්වා සියලූ පීඩිතයින් සාකච්ඡා මාර්ගික ක‍්‍රියාමාර්ග වලින් හෙම්බත් වෙලා, පාලක බොරු පොරොන්දු වලට රැුවටිලා එයින් හෙම්බත් වෙලා පාරට බැහැලා ඉදිද්දි... අපි තවදුරටත් පාලකයින් විශ්වාස කරන්නේ කොහොමද?.
 
පාලකයින් සරසවි ඇදුරන්ට කිවුවෙත් ”දෙනව දෙනවා.. ඉන්න” කියලා. එහෙම කියලා අවුරුද්දකුත් ගිහින් නොලැබුණ නිසා ආචාර්යවරු පාරට බැස්සා. අද ආණ්ඩුව අපිට කියනවා... ” සතියෙන් දෙන්නම් - දෙකෙන් දෙන්නම් - ඉන්න” කියලා. ”මං ඔයාලගෙ ගාල්ලෙ ඇමතිතුමා. මං පොරොන්දු වෙනවා - ඇප වෙනවා - දෙන්නම්” ”නිකං බොරුවට කලබල වෙන්න එපා - කලබල වෙලා නම කපාගන්න එපා (තර්ජනාත්මකව)” කියනවා. නාමල් බේබිගේ මූණ බලන්න අවස්ථාවක් ලැබුණු නිසා ගැටලූව අමතක කරමුද? අපිත් රැ‍වෙටෙමුද? 
 
මතක තියාගන්න මිරිගුව තියෙන්නෙ කාන්තාරෙ මැද්දෙ. කෙම්බිමක් සොයාගෙන කාන්තාරයෙන් පිටවිය යුතු අපි, මිරිගුවට රැුවටුණොත් මොකද වෙන්නෙ? කාන්තාරෙ මැද්දටම ගිහින් ”මිරිගුව තව ඈතයි... අපි රැවටුණා” කියල හිතෙනකොට ගොඩක් ප‍්‍රමාද වෙලා තියේවි. තව එක අඩියක්වත් ආපස්සට උස්සගන්න බැරි තරමටම, ඔලූව වත් ආපස්සට හරවගන්න බැරි තරමට අපි වෙහෙස වෙලා තියෙයි. ඒ නිසා මිරිගුවට පිටුපාලා ගමන් කරමු.
 
ධම්මික මුණසිංහ 
කැ`දවුම්කරු 
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය
 

 

This content has been locked. You can no longer post any comment.

පුවත්