Latest news
A+ R A-

වාමාංශික කාන්තා ව්‍යාපාරයක් අවශ්‍යයි - දිමුතු ආටිගල

E-mail Print PDF

 

altවර්තමානයේ කාන්තාවන් මුහුණ පා ඇති අභියෝග ජය ගැනීම සඳහා වාමාංශික කාන්තා ව්‍යාපාරයක් අවශ්‍ය බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සභාපතිනි දිමුතු ආටිගල මෙනවිය පවසයි. අද කොළඹ නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිමුතු ආටිගල මෙනවිය,

"මේ වන විට කාන්තාවන්ට ජීවත් වීමට සිදුවී තිබෙන්නේ අනතුරුදායක සහ අභියෝගකාරී පරිසරයක. ඒ නිසා ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නගන්න, ඔවුන් වෙනුවෙන් සටන් කරන්න සැබෑ වාමාංශික කාන්තා ව්‍යාපාරයක් අවශ්‍යයි කියා අපි හිතනවා. නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය බිහි වුණේ ඒ අවශ්‍යතාව වෙනුවෙන්.

සාමාන්‍යයෙන් දිනට පොලිසිවලට වාර්තා වන කාන්තාවන්ට එරෙහි ලිංගික අතවර ප‍්‍රමාණය පහක් පමණ වෙනවා. නමුත් වාර්තා නොවන ප‍්‍රමාණය විශාලයි. මේ සිදුවීම් සම්බන්ධයෙන් පාලකයින් වගකීම් විරහිත ප‍්‍රකාශ කරමින් ඉන්නවා. මේ ප‍්‍රශ්නය විසඳන්න දඬුවම් දීමෙන් විතරක් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. සමස්ත සමාජයම පිරිහීමට ලක් වූ, මිනිසුන්ගේ වටිනාකම් අවතක්සේරු වුණු සමාජයක ලක්ෂණයක් තමයි අපි අත්විඳින්නේ. ඒ නිසා මීට මුහුණ දෙන්න නම් සමාජය දැනුවත් කරන්න  ඕන, ඒ වගේම කාන්තාවන්ට එරෙහිව සිදු වන අපරාධවලට විරුද්ධව හඬ නගන්න  ඕන.

ඒ වගේම කාන්තාවන් එදිනෙදා ජීවිතයේදී අසමානතාවයට ලක් වන බව අපි අත්දකින දෙයක්. බස් රථයක ගමන් කරද්දී, මග තොටේදී, රැකියාවේදී මේ හැම තැනකදීම කාන්තාව අසමානතාවයට ලක් වෙනවා. නමුත් ඒ වෙනුවෙන් හඬ නැගීමක් සිදු වෙන්නේ නැහැ. කාන්තාවන්්ගේ අයිතීන් ගැන තිබෙන අවබෝධයත් ඉතාම අවමයි. බොහෝ විට කාන්තාවන්ම පවා දන්නේ නැහැ, තමන් පීඩාවට ලක් වෙලා ඉන්නවා කියලා.

මේ නිසා කාන්තාවන් බල ගන්වන්න, ඔවුන් වෙනුවෙන් හඬක් නගන්න අවශ්‍යයි.

උතුරේ තත්වය ගත්තොත්, උතුරේ වැඩිපුරම ඉන්නේ කාන්තාවන්. පිරිමි නැති පවුල් විශාල ගණනක් තිබෙනවා. ඒ වගේම විශාල පිරිසක් වැන්දඹුවන් ඉන්නවා. යුද්ධය නිසා පිරිමි විශාල පිරිසක් මිය ගොස්, නැත්නම් වෙනත් ප‍්‍රදේශවලට හෝ වෙනත් රටවලට සංක‍්‍රමණය වී සිටිනවා. මේ තත්වය තුළ නිවාස නැති, ජීවත් වෙන්න සුදුසු පරිසරයක් නැති කාන්තාවන් විශාල පීඩාවකට පත්ව සිටිනවා. ජනගහනනේ පස් දෙනකුට එක් අයෙක් බැගින් හමුදාවෙන් සිටින උතුරේ කාන්තාවන් අනාරක්ෂිතවයි ජීවත් වෙන්නේ. ආර්ථික පීඩනය වගේම ලිංගික අතවරවලට ලක්වීම, ඒ වගේම නීතියේ හා සමාජ අවධානයේ අඩුව මේ සියල්ල ඔවුන්ට බලපා තිබෙනවා. උතුරේ කාන්තාවන් ගැන දකුණේ සංවේදීභාවය අඩුයි. ඒ නිසා උතුරේ කාන්තාවන් පිළිබඳව දකුණේ අවධානය යොමු කිරීමත් වැදගත්. ඔවුන්ට සමාජමය වශයෙන් ලැබිය යුතු උදව් ලැබෙන්නේ  නැහැ. ඒ නිසා ඔවුන් වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීම අපට තිබෙනවා.

ඒ වගේම වෙළඳ කලාපයේ සේවය කරන, මැද පෙරදිග රැුකියාවල නිරත වෙලා ඉන්න සහ වතුකරයේ කාන්තාවන් අද විශාල පීඩාවකට ලක් වෙලා ඉන්නේ. වෙළඳ කලාපයේ ගත්තොත් ඉතාම අඩු වැටුපකට ඔවුන්ගේ ශ‍්‍රමය සූරා කනවා පමණක් නොවෙයි, ඔවුන්ට අවම අයිතීන් පවා ලැබෙන්නේ නැහැ. වතුකරයේ තත්වයත් එහෙමමයි. මැදපෙරදිග යන කාන්තාවන් ඇතැම් විට අතපය අහිමි වෙලා, බලාපොරොත්තු ඉටු කර ගන්න බැරි තත්වයකින් නැවත එන්නේ. ඇතැම් විට ඔවුන්ට ජීවිත පවා අහිමි වෙනවා. ඒ නිසා ඔවුන් වෙනුවෙන් හඬ නගන්න වගේම ඔවුන් සමග එකට වැඩ කරන්නත් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සූදානම්.

මෙවැනි අරමුණු රාශියක් ඇතිව ගොඩනැගූ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ මූලික වැඩපිළිවෙළ එළිදැක්වීමේ වැඩසටහන ලබන 5හා 6දෙදින තුළ කොළඹ මහජන පුස්තකාලයේදී ක‍්‍රියාත්මක වෙනවා. 5වැනිදා උදේ 10.00ට Unseencolours   ඡායාරූප ප‍්‍රදර්ශනය ආරම්භ වෙනවා. ඒ වගේම 6වැනිදා ප.ව. 3.00ට ‘ස්වයං නීර්ණ අයිතිය, බෙදා වෙන් කර පාලනය හා ස්ත‍්‍රිය’ යන තේමාව යටතේ සම්මන්ත‍්‍රණයක් සහ ඒ නමින්ම පොතක් එළිදක්වනවා."

නිදහස උදෙසා කන්තා ව්‍යාපාරයේ ජාතික මෙහෙයුම් කමිටුවේ ශාලිකා, හේමමාලි, සඳමාලි, ජමින්ද සිරිවර්ධන යන මහත්ම මහත්මීහුද මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 114 guests online

Advertisment

advertisment