Latest news
A+ R A-

කාන්තා ප‍්‍රශ්නවලට දේශපාලන විසඳුමක් ඕනෑ - හේමමාලි අබේරත්න

E-mail Print PDF

 

Unseen Colours නමින් ඡායාරූප ප‍්‍රදර්ශනයක් හා කාන්තා දේශපාලනය පිළිබඳ සම්මන්ත‍්‍රණයක් කොළඹ මහජන පුස්තකාලයේ පැවැත්වීමට මේ දිනවල කටයුතු සංවිධානය වෙමින් තිබේ. පහත දැක්වෙන්නේ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’විසින් සංවිධානය කෙරෙන මෙම කටයුතු පිළිබඳ විමසීමට එහි ජාතික සංවිධායිකාව සමග ජනරළ පුවත්පත කළ සංවාදයකි.

නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයතවත් එක් කාන්තා ව්‍යාපාරයක් පමණක්ද?

ඔබ අහන ප‍්‍රශ්නයට මට තනි වචනයෙන් කියන්න පුළුවන්  ‘නෑ’කියලා. මෙතෙක් පැවැති බොහෝ කාන්තා ව්‍යාපාර සුබසාධනවාදයට යටවුණා. ඒ අතර සමහර කාන්තා ව්‍යාපාරවලට තමන් ආරම්භ කරපු ඇත්ත අරමුණු දක්වා ව්‍යාපාරය ගෙනයන්න බැරි වුණා. තවත් සමහර කාන්තා ව්‍යාපාර කාන්තාවගේ සැබෑ ප‍්‍රශ්න තමන්ගෙ සංවිධානයට මුදල් එකතු කරන මාර්ගයක් බවට පත්කරගත්තා. නමුත් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය එයින් වෙනස් වෙන්නෙ අපට තියෙන අරමුණත් එක්ක. මේ සමාජය තුළ ජීවත්වන සියලූම කාන්තාවන් සමාජ, දේශපාලන, ආර්ථික කියන සියලූ පැතිවලින් පීඩාවට පත්වන බව අපි පිළිගන්නවා. ඒ තත්වය වෙනස් කරගන්න ඉතා දුෂ්කර කොන්දේසි යටතේ වුවත් කාන්තාවන් සංවිධානය කළයුතු බව තේරුම් ගනිමින් ඒකට අවශ්‍ය කරන සමාජ මතයක් ගොඩනඟන්න අවශ්‍ය කරන කතාබහ අතරමග වෙනත් අරමුණු වෙනුවෙන් යටපත් නොකර ඇයට අවශ්‍ය කරන සමාජ සාධාරණය ඉටුවන තෙක් සටන් කරන සංවිධානයක් නිසා අනෙක් කාන්තා ව්‍යාපාරවලට වඩා අපි වෙනස්.

පොදුවේ සමාජයක් ලෙස හැමෝම පීඩාවට පත්වෙනවා. ඉතින් කාන්තාවන්ට පමණක් මෙවැනි සංවිධානයක් අවශ්‍ය ඇයි?

ඔබ අහන ප‍්‍රශ්නය හරි. මේ සමාජයේ හැමෝම පීඩාවට පත්වෙනවා. ඒක බාල, මහලූ, ස්ත‍්‍රී, පුරුෂ කියලා වෙනසක් නැහැ. නමුත් ඉතිහාසයේ ඉඳලා කාන්තාවන් මුහුණ දුන් ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ, ඇය කාන්තාවක් වීම නිසාම මුහුණ දෙන ගැටලූව. ඇය මේ සමාජය තුළ වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වෙලා. මේ අපි හැමෝම මුහුණ දෙන සමාජ යථාර්ථය. ඉදිකටුවේ සිට මෝටර් රථය දක්වා වෙළෙඳ භාණ්ඩ විකුණන්නත් කාන්තාවගේ නිරුවත් හෝ අඩනිරුවත් පින්තූර යොදාගන්නවා. එහෙම වෙන්නෙ කාන්තා සිරුරට වෙළෙඳ වටිනාකමක් දීලා තියෙන නිසයි. ඇයට ඇගේ ශරීරය සම්බන්ධ අයිතිය අහිමි කරලා. ඒ වගේම ඇය සමාජමය ජීවිතයෙන් පිටමං කරලා. දරුවො බිහි කරන, පෝෂණය කරන, උගන්වන, මේ සියලූ කාරණා වගේම ගෙදර උයන - පිහන, අතුගාන ආදී වශයෙන් සියලූ වැඩකටයුතු කරවාගන්න මෙහෙකාරියක් බවටත් ඇය පත්වෙනවා. සමාජ මතය තුළ මේවා තමයි ගැහැනියකගේ කාර්යයන් හැටියට ගැනෙන්නේ. අන්න ඒ නිසා මේ යථාර්ථය තුළ පිරිමියෙක් මුහුණ නොදෙන විශේෂ ගැටලූ ගණනාවකට ඇය මුහුණ දෙනවා. ඒ වගේම මේ සමාජයේ කාන්තාවක් වීම නිසාම පීඩාවක් තියෙනවා කියලා බහුතරයක් කාන්තාවන්ට වැටහීමකුත් නැහැ. අන්න ඒ නිසා මම මුලින් කියපු ආකාරයටම පොදු පීඩාවක් තියෙනවා. ඊට අමතරව කාන්තාවක් වීම නිසාත් පීඩා විඳින ඇය ආකාර දෙකකින් පීඩාවට පත්වෙනවා. ඒ නිසාම ඒ දැනුවත්භාවය කාන්තාව තුුළ ඇතිකරන්න සංවිධානයක් අවශ්‍යයි.

බොහෝ කාන්තා ව්‍යාපාර කාන්තාව මුහුණ දෙන ගැටලූ දකින්නෙ පුරුෂ විරෝධී ආකාරයෙන්. ඔබ මේ ගැන මොකද කියන්නෙ?

මේ තත්වය හරියටම තේරුම් නොගන්න කෙනෙකුට ඒක එහෙම දැනෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපේ රටේ සිද්ධවෙන කාන්තා හිංසන සිදුවීම්, ලිංගික අපරාධ වගේ ප‍්‍රශ්නවලදී ඒ ප‍්‍රශ්නයට අදාළ චූදිතයා එල්ලූම් ගහට නියම කරලා විසඳුම් දෙන්න ඇතැමුන් උත්සාහ කරන්නෙ. කාන්තාවන්ට එරෙහිව ලිංගික අපරාධ කියන එක සමාජ ප‍්‍රශ්නයක් හැටියට බොහෝදෙනා හරිහැටි තේරුම් අරගෙන නැහැ. එල්ලූම් ගහ නිසා කාන්තාවන්ට ලිංගික අපරාධවලින් බේරෙන්න පුළුවන් නම් මේ වෙනකොට අපේ සමාජයෙ තදබල දඬුවම් නියම කෙරෙන අපරාධ අඩු වෙන්න  ඕන. මේ කියන දෙයින් අපි අදහස් කරන්නෙ නෑ අපරාධකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගත යුතුයි කියලා. නමුත් කාන්තාවන් වගේම සමාජයක් හැටියට අපි මුහුණ දෙන ගැටලූවල සැබෑ හේතු වටහා නොගෙන විසඳුම් හොයන්න බෑ. කාන්තාවට එරෙහි අපරාධ පිරිමින්ගෙන් එල්ලවන පීඩාවක් හැටියට තේරුම් ගන්නවා වෙනුවට ඒවා මේ පොදු සමාජ ඛේදවාචකයේම එක් පැතිකඩක් හැටියට වටහා ගන්න එක තමා නිවැරැදි. එහෙම නොවුණොත් වෙන්නෙ ගැහැනු - පිරිමි විරෝධයක් ඇතිවීම පමණයි.

පසුගිය දිනවල ඔබේ සංවිධානයට අයත් ප‍්‍රචාරක පෝස්ටරයක ‘ස්වයංතීරණය’, ‘බෙදා වෙන්කර පාලනයවගේ යෙදුම් තිබුණා. ඔබේ සංවිධානය එයින් අදහස් කරන්නෙ මොකක්ද?

කාන්තාවන්ට තමන් පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය අප ජීවත්වන මේ ධනේශ්වර සමාජය තුළ නැහැ. එක්කෝ වෙළෙඳපොළ විසින් ඇයට බලපෑම් එනවා. නැතිනම් පුරුෂමූලික මනෝභාවයන් ඇයට බාධා කරනවා. ඒ වගේම පොදු සමාජයක සාමාජිකාවක්, සාමාජිකයෙක් ලෙස හිතනවා වෙනුවට කාන්තාවත් පිරිමියාත් වෙන්කර තැබීමේ මනෝභාවය ක‍්‍රියාත්මක වෙනවා. සමහර වෙලාවට මේ සමාජය තුළ ගැහැනු වැඩ, පිරිමි වැඩ කියලා වෙන්කෙරෙන අවස්ථා තියෙනවා. මම කලින් කියූ කරුණුවලත් මේ ගැන කතා කළා. අපි මේ තත්වයට විරුද්ධයි. ඒ තුළින් සිදුවෙන්නෙ කාන්තාවට මුහුණ දීමට සිදුවන සැබෑ ප‍්‍රශ්න සහ ඒවාට අදාළ සැබෑ හේතු යටපත් වෙලා වෙනත් කරුණු ඉස්මතු වීම.

ඒ නිසා අපි ‘ස්වයංතීරණය, බෙදා වෙන්කර පාලනය සහ ස්ත‍්‍රිය’නමින් කෘතියක් මුද්‍රණය කර ප‍්‍රකාශයට පත්කරන්න කටයුතු යොදා තිබෙනවා. කාන්තාවන් තමන් ගැන තීරණ ගන්නත් අවශ්‍යයි. ඒ වගේම ඇයට සමාජ ජීවිතයේදි පිරිමින්ගෙ තීරණයට අනුව වැඩ කිරීමට වඩා කාන්තාවගේ උවමනාවන් හා සිතුම් පැතුම් අනුව ගන්නා පොදු තීරණ තුළ කටයුතු කරන්නත් අවශ්‍ය බව අපි හිතනවා.

මේ වන විට කාන්තා ව්‍යාපාර අතර සමහර ඒවා දේශපාලන පක්ෂවල අතකොළු බවට පත්වෙලා. තවත් කාන්තා සංවිධාන ස්වාධීන කියලත් හඳුන්වා ගන්නවා. ඔබේ සංවිධානය අයිති වෙන්නෙ මේ දෙකෙන් කෝකටද?

කිසිම දේශපාලන පක්ෂයක අතකොළුවක් ලෙස හිඳිමින් කාන්තාවගේ දේශපාලන ක‍්‍රියාකාරීත්වයක් ඇති කරන්න බෑ. මොකද අපි කලින් කතා කළ ආකාරයට කාන්තාව මුහුණ දෙන විශේෂිත ප‍්‍රශ්නවලට ඇගේ මැදිහත්වීමක් තිබිය යුතුයි. කාන්තාව දැනුවත් නොවී ඇයට සමාජ ගැටලූවලින් මිදෙන්න බෑ. කාන්තා හිංසනයෙන් හෝ ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වයෙන් මිදෙන්න අදාළ පළමු වැනි කොන්දේසිය තමයි, ඇය ඒ ගැන දැනගෙන ඉන්න එක. මොනවද වෙන්නෙ, මොනවද හේතු කියන කාරණා නොදැන කාන්තාවටවත් කාටවත් ලැබෙන නිදහසක් නැහැ. ඒ වගේම තමයි, ඇය මුහුණ දෙන සමාන්තර ප‍්‍රශ්නය. මේ සමාජයේදි හැමෝම මුහුණ දෙන සමාජ පීඩාව ඇගේ පමණක් ප‍්‍රශ්නයක් නෙවෙයි. මුළු සමාජයම මුහුණ දෙන ප‍්‍රශ්නවලට ඈත් මුහුණ දෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් කාන්තාව දේශපාලනික වශයෙන් සංවිධානය වෙන්නත්  ඕනෑ. ඒ සංවිධානය කාන්තා ප‍්‍රශ්නවලට වගේම සමාජ අර්බුදයේ ඇත්ත හේතු හැඳිනගෙන ඒවා පරාජය කරන දේශපාලනය කරන්නත් වෙනවා. මේ නිසා අපි දේශපාලන පක්ෂයක අතකොළුවක් වෙනවා වෙනුවට කාන්තා ප‍්‍රශ්නවලට දේශපාලන විසඳුම් සොයන්න මැදිහත් වෙනවා. එතැනදි අපට දේශපාලනයක් තියෙනවා.

ඉතින් එවැනි දේශපාලන ක‍්‍රියාකාරීත්වයක් වෙනුවෙන් ඔබේ සංවිධානය මේ දිනවල යෙදී සිටින කටයුතු මොනවද?

කාන්තාවන්ට පීඩනයක් තියෙනවා කියන කාරණය අපේ සමාජයේ කාන්තාවටත් ඒ වගේම පොදු සමාජයටත් සන්නිවේදනය කරන්න  ඕනෑ. ඒකට විවිධ ආකෘති තියෙනවා. අපි මේ දවස්වල එම සන්නිවේදනය සමාජය වෙත ගෙනයන්න ‘කාන්තා පීඩනය’තේමාව කරගත් ඡුායාරූප ප‍්‍රදර්ශනයක් සංවිධානය කරනවා. Unseen Colours (නොදුටු වර්ණ) කියලා අප එය නම් කර තිබෙනවා. කාන්තාව පිළිබඳ නොදුටු පැතිකඩක් නිරාවරණය කරන ඡුායාරූප එකතුවක් හැටියට එම ප‍්‍රදර්ශනය අගෝස්තු 5-6දෙදින තුළ කොළඹ මහජන පුස්තකාලයේදි පැවැත්වෙනවා.

ඒ වගේම එම කතිකාව තවත් පුළුල් කිරීමේ අරමුණින් ‘ස්වයංතීරණය, බෙදා වෙන්කර පාලනය සහ ස්ත‍්‍රිය’යන තේමාවෙන් සම්මන්ත‍්‍රණයක් අගෝස්තු 6වැනිදා සවස 3.00ට කොළඹ මහජන පුස්තකාලයේදි පැවැත්වෙනවා.

මීට අමතරව ඉදිරි කටයුතු ලෙස වෙළෙඳ කලාප ආශ‍්‍රිතව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ වන විට විවිධ ආකාරයෙන් පීඩාවට පත්ව සිටින උතුරේ කාන්තාවන් මුල් කරගත් සමාජ ක‍්‍රියාකාරීත්වයකට යන්නත් අපි සූදානම් වෙනවා.

විශේෂයෙන්ම, මෙතෙක් කාන්තා ව්‍යාපාරවල තිබුණු අඩුපාඩු ගැන දකිමින් අපි ඒවා විවේචනය කිරීම පමණක් ප‍්‍රමාණවත් නැහැ. වාමාංශික ව්‍යාපාරයට සම්බන්ධ කාන්තා ව්‍යාපාරවල සීමාව වුණෙත් ඔබ මීට පෙර ප‍්‍රශ්න කරපු ආකාරයට දේශපාලන පක්ෂයක සීමාවෙන් නතර වීමයි. ඒ නිසා අපි සැබෑ වාමාංශික කාන්තා ව්‍යාපාරයක් ගොඩනැඟීම වෙනුවෙන් කටයුතු කරනවා.

 

සංවාදය - තුසිත පතිරණ

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 31 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 31 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කදුකරයේ විටින් විට... Read more

online

We have 192 guests online

Advertisment

advertisment