Latest news
A+ R A-

අනුන් සඳහා වන පංතියක් වෙනුවට තමන් සඳහා වන පංතියක් බවට පත් වෙමු - පුබුදු ජයගොඩ

E-mail Print PDF

 

“මෙතෙක් කලක් අපේ පංතිය කළේ වෙන පංතියක දේශපාලනයක්, මෙතෙක් කලක් අපේ පංතිය කළේ වෙන පංතියකට ප්‍රාග්ධනය එකතුකරල දීපූ එක, වෙන පංතියක් වෙනුවෙන් ආරක්ෂක උපකරණ හදපු එක, වෙන පංතියක දේපළ ආරක්ෂා කරපු එක, තමන්ගේ මුළු ජීවිතයම වෙනත් පංතියක පැවැත්ම වෙනුවෙන් වැඩ කරපු එක. මෙච්චර කල් තිබුනේ අනුන් සඳහා වන පංතියක්. එනිසා ඒ වෙනුවට තමන් සඳහා වන පංතියක් බවට පත්විය යුතුයි.“ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ එම පක්ෂය විසින් ඊයේ (04) ගම්පහදී පැවැත්වූ “කළයුත්තේ කුමක්ද?“ සම්මන්ත්‍රණය අමතමිනි.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය:

සමාජය ම්ලේච්ඡත්වය දෙසට යමින් තිබෙනවා. සමීප ඥාතීන් ලිංගික සබඳතා පැවැත්වූවේ ම්ලේච්ච යුගයේදී. දැන් වාර්තාවන සිදුවීම් දිහා බැලුවම පෙනෙන්නෙත් ඒ තත්ත්වයම තමයි. නොදියුනු කාලයේදී තමයි කෑම සදහා ජීවත් වුනේ. නමුත් මිනිස් ඉතිහාසය තුළ ක්‍රීඩාව, කලාව, දර්ශනය වගේ දේවල් වර්ධනය කළා. ආධ්‍යාත්මික වර්ධනයක් ලබා ගත්තා. නමුත් අද වන විට තත්ත්වයත් ආදි සමාජයේ තත්ත්වයටම යමින් තිබෙන්නේ මුළු දවසම වැඩ කරලත් කන්න හොයා ගන්නත් බැරි තත්ත්වයට සමාජය පත් වෙලා. නඩත්තු කරන්න බැරි නිසා දරුවො මරණ තත්ත්වයට පත්වෙලා.

එක් පැත්තකින් තියනවා මූලික අවශ්‍යතා සපුරන්න බැරි ආර්ථිකයක් අනික් පැත්තෙන් තියනවා පරිභෝජනය ගැන උන්මාදයක් තියන සමාජයක්. මේ ගිරයට අහුවුණු මිනිස්සු කරන්නේ අපරාධ කරලා හරි තමන්ගේ පරිභෝජන අවශ්‍යතා සපුරා ගන්න උත්සාහ කරන එක. ලිංගික අපරාධ රැල්ල ගත්තත් තත්ත්වය එයයි. අතිශය පසුගාමී ලිංගිකත්වය හංගපු සමාජයක් තියනවා. අධ්‍යාපන වැඩ පිළිවෙලේත් ඒවා හංගලා තියෙන්නේ. ලිංගිකත්වය කියන්තේ අතිශය අද්භූත, ගුප්ත දෙයක් බවට පත්කරලා තියෙන්නේ. කාටවත් ඒ ගැන කතාකරන්නවත් බැහැ. අනෙක් පැත්තෙන් ලිංගිකත්වය අතිශය උත්කර්ෂයට නංවන මාධ්‍ය ජාලයක් නිර්මාණය කරලා තියනවා. ඒවායින් දිනපතා කරන්නේ මිනිසුන්ගේ ලිංගික හැඟීම් උද්දීපනය කරන එක. එනිසා ඊට ගොදුරුවන මිනිසුන් කරන්නේ මගතොටේ හමුවෙන කාන්තාවකගෙන් හරි කුඩා දරුවකුගෙන් හරි තම ලිංගික අවශ්‍යතාව සපුර ගන්න උත්සාහ කරන එක. මනුෂ්‍යත්වය අහිමිවීම කියන ප්‍රශ්නය නවලිබරල්වාදී ආර්ථිය සහ තවමත් පවත්වාගෙන යන පසුගාමීත්වය කියන ඒවායේ සංකලනයක්.

එනිසා අද සමාජය සංධිස්ථානයක තියනවා. කලාවක් නැති, ක්‍රීඩාවක් නැති,  මිනිස් සබඳතා කිසිවක් නැති. දවසම කන්න හොයන ම්ලේච්ඡ යුගයක් වෙත නැවත යමු. එසේ නැති නම් මිනිස් ඉතිහාසය තුළ වර්ධනය කර ගත් කලාවේ, ක්‍රීඩාවේ, දර්ශණයේ සියලු මහඟු ඵල අත්පත් කරගත් ආධ්‍යාත්මිකව පොහොසත් මිනිසුන් සහිත සමාජවාදී සමාජයක් වෙත යන එක. මෙම තත්ත්වය හමුවේ අපිට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස සමාජයට කියන්න තියෙන්නේ ප්‍රධාන කාරණා 4යි.

1. හිතන්න

2.ක්‍රියාත්මක වෙන්න

3. සංවිධානාත්මක වෙන්න

4. විචාරශීලී වෙන්න

සමාජයේ සාතිශය බහුතරයක් සිටිනවා කුඹී රැලේ කූඹියකු වාගේ හිතන්නේ මතන්නේ නැතිව යන්නන් වාලේ ඔහේ යන අය. ඒ අය හිතනවා පුද්ගලික ව්‍යාපෘතිවලින් අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් කියලා. ඒත් අද සමාජයේ සමාජ සුරක්ෂිතතාවයක් නැහැ. පුද්ගලික ව්‍යාපෘතිවලින් බැහැ තම දරුවාට, බිරිඳට අවශ්‍ය රැකවරණය සලසා දෙන්න. පුද්ගලිකව දේවල් කොපමණ අත්පත් කර ගත්තත් ඒවාට සමාජ සුරක්ෂිතතාවයක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ එතනයි. එනිසා අපට ඒ අයට කියන්න තියෙන්නේ කූඹි රැලේ කූඹියෙකු නොවී යන්නේ කොහෙද? මොනවද කරන්නේ? කියලා හිතන්න.

සමාජයේ තව කොටසක් සිටිනවා ප්‍රශ්නය ගැන හිතන නමුත් ක්‍රියාත්මක නොවන අය. ඔවුන් හිතාගෙන ඉන්නවා දියසෙන් කුමාරයා හරි රාවනා හරි ඇවිල්ලා මේ ප්‍රශ්නය විසදයි කියලා. ප්‍රශ්නය තේරුම් ගන්නවා නමුත් ඊට එරෙහිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක වීම වෙන වෙන අයට පවරනවා. වත්මන් නව ලිබරල්වාදී ධනවාදයට අවශ්‍යත් එවැනි මිනිසුන්. අද මිනිසුන්ට ආදරය කරන්න අවස්ථාවක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ අනුන් ආදරය කරනව දිහා බලල සතුටුවෙන්න. ක්‍රීඩා කරන්න අවස්ථාවක් නැහැ. ඒ වෙනුවට අනුන් ක්‍රීඩාකරනව බලල සතුටු වෙන්න කියලයි කියන්නේ. ලිංගික සබඳතා පවත්වන්න අවස්ථාවක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ අනුන් ලිංගික සබඳතා පවත්වනවා බලලා සතුටක් ලබාගන්න. මේ ආකාරයටම මිනිසුන් දේශපාලනයෙනුත් ඈත් කරලා දේශපාලනය කිරීම තමන්ට අයිති දෙයක් නොවන බවට පත්කරලා තියෙන්නේ. සමාජයකට මේ ආකාරයෙන් ඉදිරියට යන්න බැහැ. සමාජයේ ගැලවුම්කාරයාගේ වැඩේ තමන්ගේ අතට ගත යුතුයි. එනිසා ප්‍රශ්න තේරුම්ගත් අයට අපට කියන්න තියෙන්නේ තේරුම්ගත්තාට පමණක් මදි ඊට එරෙහිව ක්‍රියාත්මක වියයුතුයි.

 

ඒ වගේම සමාජයේ ප්‍රශ්නය තේරුම් අරගෙන ඊට එරෙහිව ක්‍රියාත්මක වෙන පිරිසකුත් ඉන්නවා. ඒ අයගේ ධෛර්‍යයට, කැපකිරීම්වලට, ආදර්ශයන්ට ගරුකරන ගමන්ම අපට කියන්න තියෙන්නේ හුදකලා අරගල වෙනුවට සාමූහික අරගලවෙත ප්‍රවේශ වෙන්න. දියවැඩියා රෝගියකුගේ තුවාලයට බෙහෙත් කරලා වැඩක් නැහැ. දියවැඩියා රෝගයටයි පළමුව බෙහෙත් කළ යුත්තේ. එනිසා හුදකලා අරගලවලින් මිදී සාමූහික අරගලවෙත ප්‍රවේශ වෙන්න. තමන් පීඩාවට පත්කරන බලවේගයම තමයි අනෙකාද පීඩාවට පත්කරන්නේ කියන දැක්ම ලබා ගන්න. උතුරේ ඉන්න දෙමළාද, නැගෙනහිර ඉන්න මුසල්මානුවාද, දකුණේ සිංහලයාද පීඩාවට පත්කර ඇත්තේ එකම බලවේගයක් බව තේරුම්ගන්න. තමන් වෙනුවෙන් මෙන්ම අනෙකා වෙනුවෙන්ද සටන් කරන භාවිතාවක් වෙත අරගලය පරිවර්තනය කළයුතුයි.  වියුක්ත සටන් වෙනුවට පංති සටන සිදුකළ යුතුයි. සියලු සටන් පංති අරගලය සමඟ ඒකාබද්ධ කළ යුතුයි.  අනන්‍යතා දේශපාලනය වෙනුවට පංති දේශපාලනය රැගෙන ආ යුතුයි. එනිසා හුදකලා අරගලවලින් මිදී පොදු අරගලවලට එකතු වන්න. සංවිධානාත්මක වෙන්න. පොදු සටන් මධ්‍යස්ථාන ගොඩ නගන්න.

සංවිධානාත්මකව වැඩකරන කොටසට අපට කියන්න තියෙන්නේ විචාරශීලී වෙන්න. ක්‍රමය ආරක්ෂා කරන සටන් වෙනුවට ක්‍රමයට එරෙහිව සටන් කරන්න. වෘත්තීය සමිති තුළ, පාර්ලිමේන්තුව තුළ ක්‍රමයට අනුගත නොවන ලෙස සටන් වදින්නේ කෙලෙසද කියා විචාරශීලී වියයුතුයි. ක්‍රම විරෝධී අරගලය ක්‍රමයේ ආයතන තුලට ගෙනයන්නේ කෙලෙසද කියා භාවිතයෙන් ඉගෙනගත යුතුයි. ක්‍රමයට එරෙහිව කරන සටන් ක්‍රමයේ ගොදුරු බවට පත් නොකර සටන් වදින්නේ කෙලෙසදැයි අත්හදා බැලියයුතුයි. ලංකාවේ වමේ ව්‍යාපාරයේ ඉතිහාසය ඩ්‍රැගියුලා මාලා චිත්‍රපටයක් බවට පත් නොකර ක්‍රමයේ ගොදුරු බවට පත් නොවන භාවිතාවකට පිය නගමු.

මෙතෙක් කලක් අපේ පංතිය කළේ වෙන පංතියක දේශපාලනයක්, මෙතෙක් කලක් අපේ පංතිය කළේ වෙන පංතියකට ප්‍රාග්ධනය එකතුකරල දීපූ එක, වෙන පංතියක් වෙනුවෙන් ආරක්ෂක උපකරණ හදපු එක, වෙන පංතියක දේපළ ආරක්ෂා කරපු එක, තමන්ගේ මුළු ජීවිතයම වෙනත් පංතියක පැවැත්ම වෙනුවෙන් වැඩ කරපු එක. මෙච්චර කල් තිබුනේ අනුන් සඳහා වන පංතියක්. එනිසා ඒ වෙනුවට තමන් සඳහා වන පංතියක් බවට පත්විය යුතුයි. ඒ වෙනුවෙන් කළයුත්තේ දේශපාලනය කිරීමයි. එය කරමු.

පුබුදු ජයගොඩ මහතා එහිදී සිදුකළ සම්පූර්ණ කතාවේ හඩ පටය

 

 

 

 

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 80 guests online

Advertisment

advertisment