A+ R A-

මැරතන් තරගයට සූදානම් වීම

E-mail Print PDF

 

පසුගිය සතිය බොහෝ අය මැරතන් තරගයකට සූදානම් වන බවට ලකුණු පෙන්වූ සතියකි. අප මැරතන් ගැන කතා කරන්නේ 2012ලන්ඩන් ඔලිම්පික් උළෙල ඇරඹී තිබෙන නිසා නොවේ. මේ කතා කරන මැරතන් හෙවත් දිගු දුර දිවීමේ තරග අදාළ වන්නේ ඔලිම්පික් උළෙලට නොව රටේ දේශපාලනයටය.

 මීටර 100හෝ 200වැනි කෙටි දුර දිවීමේ තරගවලදීත් මැරතන් වැනි දිගු දුර දිවීමේ තරගවලදීත් භාවිත වන තාක්ෂණය එකිනෙකට වෙනස්ය. කෙටි දුර දිවීමේ තරගවලදී වේගය වැදගත් වන අතර ජයග‍්‍රහණය ලැබීමට නම් ආරම්භයේ සිටම වේගය පවත්වා ගැනීම හා වැඩිකර ගැනීම කළ යුතුය. දිගු දුර දිවීමේ තරගයකදී වේගය වැඩි කිරීමට වඩා වැදගත් වන්නේ ශක්තිය රැකගැනීම හා දරාගැනීමයි. මෙය දේශපාලනයේදී ද මෙසේමය. පසුගිය සතියේ දේශපාලන පොර පිටිය තුළ විවාදයට බඳුන් වූයේ මේ අතරින් අනුගමනය කළ යුත්තේ කවර තාක්ෂණයද යන පැනයයි. පසුගිය දා සංවාදයට ලක්වූ පිල්මාරු පිළිබඳ දේශපාලනය අභ්‍යන්තරයේ ඇත්තේ එම ප‍්‍රශ්නයයි.

 

බාබර් සාප්පුව

ජූලි 30වැනිදා මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා පැවසූ කතාවක් නිසා පිල් මාරු ගැන සංවාදය යළි ඉහළට එසවිණි. ජනාධිපතිවරයා පැවසුවේ ආණ්ඩුවේ දොර බාබර් සාප්පුවේ දොරට සමාන බවත් ඉන් අවශ්‍ය අයට ඇතුළු වීමට හා අනවශ්‍ය අයට පිටවීමට බාධාවක් නැති බවත්ය. ජනාධිපතිවරයා එය පැවැසුවේ මේ ආණ්ඩුව බාබර් සාප්පුවක කරන දේට වඩා වැදගැම්මට ඇති දෙයක් නොකරන බව හැඟවීමට නම් එය නිවැරැදිය. බාබර් සාප්පුවේ කරන්නේ කොණ්ඩය කැපිල්ලය. ආණ්ඩුව කරන්නේත් කපන එකය. අධ්‍යාපනයට කරන වියදම් කපයි. සෞඛ්‍ය සේවයට කරන වියදම් කපයි. මහජන සුබසාධන කපයි. සහනාධාර කපයි. අවසානයේදී මේවාට විරුද්ධ වන්නන්ගේ බෙලි කපයි. මේ කැපිල්ල කොණ්ඩය කැපිල්ලට වඩා වෙනස් නව ලිබරල් ධනවාදයේ ලක්ෂණයකි. ප‍්‍රශ්නය වන්නේ ජනතාව ඡන්දය දී තෝරාගන්නේ ප‍්‍රතිපත්තිමය නායකත්වයක් නොව මේ වර්ගයේ බාබර් සාප්පුවක් වීමය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ කතාවෙන් මතුවූයේ කැපිල්ල ගැන සංවාදය නොවේ. පිල් මාරු ගැන සංවාදයයි. විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් හා වෙනත් නායකයන් පස්දෙනකු ආණ්ඩුවට එකතු වන බව පසුගිය සතියේ ඇමැතිවරු පවා ප‍්‍රසිද්ධ රැස්වීම්වලදී පවසා තිබිණි. කාටත් ඇතුළු විය හැකි බාබර් සාප්පුවේ දොර ගැන ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයත් සමග එය වඩාත් සනාථ විය. තවත් පිරිසක් ආණ්ඩුවට එක්වීමේ පුවතක් ළඟදීම නිර්මාණය වන බව ස්ථීරය. එක් පැත්තකින් ගත් කල මෙහි කිසිම පුදුමයක් නැත. ආණ්ඩු පක්ෂයේ ප‍්‍රතිපත්තියේත් විපක්ෂයේ ප‍්‍රතිපත්තියේත් වෙනසක් නැති නිසා  ඕනෑම අයකුට තමන් කැමැති මොහොතක කවර පැත්තක හෝ වාඩි වීමට බාධාවක් නැත. තවත් පැත්තකින් ගත් කල මේ වන විට දේශපාලනය තවදුරටත් ප‍්‍රතිපත්ති පිළිබඳ ප‍්‍රශ්නයක් නොවන නිසා මේ කාට කාටත් ඇත්තේ බලය හා වරප‍්‍රසාද ගැන ප‍්‍රශ්න මිස ප‍්‍රතිපත්තිමය ප‍්‍රශ්න නොවේ. අනෙක් අතට සමාජයට කිසිදු අලූත් ජයග‍්‍රහණයක් පෙන්වීමට නොහැකිව බංකොලොත් වී සිටින ආණ්ඩුවට දවස ගෙවා ගැනීමට සිදුවන්නේ මෙවැනි සෙල්ලම්වලින් පමණි. එනිසා ඔබ මේ සටහන කියවන මොහොත වන විටත් ඔලිම්පික් උළෙලේ දුර පැනීම, උස පැනීම, රිටි පැනීම වැනි කී‍්‍රඩා ඉසව් සමග ආණ්ඩුවට පැනීමේ දේශපාලන ඉසව් ද නැරඹීමේ හැකියාව උදාවීමට ඉඩ ඇත.

ආණ්ඩුව මෙසේ සංඛ්‍යාත්මකව ශක්තිමත් වන්නේ හුදු අහම්බයකින් හෝ ප‍්‍රාතිහාර්යයකින් නොවේ. පොදු ජනයාගේ ආණ්ඩුව යැයි ලේබල් ඇලවීමට තැත් කළ ද රාජපක්ෂ රෙජීමය ධනපති පන්තියේ විශ්වාසය දිනාගත් පාලනයකි. ආණ්ඩුවේ ඇති මැදමුලන පන්නයේ පසුගාමී හා ත‍්‍රාඩ ලක්ෂණ ගැන සුළු සුළු නෝක්කාඩු තිබුණ ද ධනපතියන්ට පමණක් නොව අධිරා්‍යවාදී බලවේගයන්ට ද රාජපක්ෂ රෙජීමය ගැන බරපතළ විරෝධයක් නැත. ඔවුන්ට එය හදිසියේ පෙරළා දැමීමේ අරමුණක් ඇති බවක් ද පෙනෙන්නට නැත. රාජපක්ෂ රෙජීමය ඔවුන්ගේ අවශ්‍යතාවන් සතුටුදායක ලෙස සපුරමින් සිටී.

 

එජාපයේ මැරතන්

ආණ්ඩුවට ධනපති පන්තියෙන් හා අධිරාජ්‍යවාදයෙන් හිමි වී ඇති ආශිර්වාදය පිළිබඳ සංඥාව හොඳින්ම ගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂයයි. එජාපය කෙටි දුර ධාවන තරගයක රිද්මය වෙනුවට මැරතන් තරගයක රිද්මය ස්ථාවර කරගනිමින් සිටී. රනිල් වික‍්‍රමසිංහ පාර්ශ්වය පක්ෂ නායකයා තේරීම සඳහා වන කාලසීමාව ලෙස සමුළුවේ දී සම්මත වූ වසරක කාලය වසර 6ක කාලයක් දක්වා වෙනස් කිරීමට සමත් විය. ඒ අනුව එජාපයේ අභ්‍යන්තර අර්බුද සමහන් කර, යළි රනිල් වෙත නායකත්වයේ බලය ස්ථාවර කරගැනීම සඳහා වසර 6ක කාලයක් ලබාගෙන ඇත. රනිල් වික‍්‍රමසිංහ මේ අවතීර්ණ වී සිටින්නේ දවස්වලින්, සතිවලින්, මාසවලින් සිතන දේශපාලනයකට නොව වසරවලින් සිතන දේශපාලනයකටය. රනිල්ගේ සියලූ ප‍්‍රකාශවලින් තහවුරු වන එක් කරුණක් ඇත. මේ ආණ්ඩුවේ බලය ස්ථාවර නොවන බවත් කුමන හෝ මොහොතක එය බිඳවැටෙන බවත් ඔහු විශ්වාස කරයි. ඔහු කරන්නේ ආණ්ඩුව අර්බුදයට ගොස් වැටෙන තුරු ඉවසීමෙන් බලා සිටීමයි. රනිල් සිය දේශපාලන ගමන් මග ධනපති පන්තියේ සිතීම සමග සමපාත කරගෙන මැරතන් තරගයට සූදානම් වන බව පෙනේ.

අනෙක් අතින් සජිත් පේ‍්‍රමදාස පාර්ශ්වය ද සිය පන්තියෙන් ලැබෙන සංඥාවන් ග‍්‍රහණය කරගන්නා බවක් පෙනෙන්නට ඇත. මීට ටික කලකට පෙර ඉක්මනින් එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ලා ගැනීම සඳහාත් ඉක්මන් ආණ්ඩු පෙරළියක් ගැන පාක්ෂිකයන් තුළ ඉලක්කයක් ගොඩනැඟීම සඳහාත් සජිත් දැරූ උත්සාහය අද දක්නට නැත. දැන් සජිත්ගේ දේශපාලනයේ රිද්මය දිගු දුර ධාවනයකට උචිත ලෙස වෙනස් වෙමින් පවතී. නායකයා තේරීමේ කාලසීමාව වසර 6ක් කිරීම ගැන  ද ඔහු තීරණාත්මක විරෝධයක් නොපෑ අතර දැන් ඔහුගේ මුවින් නිතරම පිටවන්නේ ‘අවබෝධය’, ‘සම්මුතිය’ වැනි වචනයි. සජිත් ද රනිල් සේම මැරතන් දේශපාලනයකට ප‍්‍රවිෂ්ට වෙමින් සිටී. මෙසේ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන නායකයන් දෙදෙනාම මැරතන් පන්නයේ රිද්මයකට අවතීර්ණ වීම වඩාත් රැඩිකල් හා කලබලකාරී ආණ්ඩු විරෝධී බලවේග නොසන්සුන් කර ඇතිවාට සැක නැත.

එම තදියම්කාර යූ.එන්.පී. කාරයාගේ නියෝජිතයා බවට දැන් පත්වී සිටින්නේ දයාසිරි ජයසේකරය. දයාසිරි, රනිල්ව මෙන්ම සජිත්ව ද විවේචනය කරයි. ‘මන්දගාමී’ නායකත්වය ඉවත් කර එක්සත් ජාතික පක්ෂය කාර්යක්ෂම කිරීම ගැන කතා කරයි. ඒ අතරම ඔහු ”තවත් ඉවසන්න බෑ. වහාම රාජපක්ෂ රෙජීමය පන්නා බලය ගත යුතුය” යන හදිසිකාර මතය නියෝජනය කරයි.

පසුගිය සතියේ සාකච්ඡා වූ ප‍්‍රධාන ප‍්‍රවෘත්තියක් වූයේ දයාසිරි ජයසේකර ආණ්ඩුවට එක්වන පුවතය. එජාපයේ මැරතන් රිද්මයට එකඟ නැති අයට දැන් සිදුවන්නේ ආණ්ඩුවට එකතු වීමටය. ඒ මීටර 100තරගයක් සඳහා නොව බලය හා වරප‍්‍රසාද උදෙසාය. ලැබෙන තොරතුරු දෙස බලන විට පෙනී යන්නේ දයාසිරි වැන්නන් ආණ්ඩුවට එක්වීම හෝ නොවීම තීරණය වන්නේ ආණ්ඩුව ලබාදෙන වරප‍්‍රසාදවල ප‍්‍රමාණය මත මිස ප‍්‍රතිපත්තිමය කරුණු මත නොවන බවය. මේ ආකාරයට එක්කෝ තදියම්කාරයන්ට ආණ්ඩුවට එකතු වීමට ඉඩහැර හෝ නැතිනම් ඔවුන් තළාදමා එජාපය මැරතන් රිද්මයකට අවතීර්ණ වෙමින් සිටී.

 

විරෝධයේ අයිතිය

මෙම තත්වය තුළ ආණ්ඩුවට එරෙහි ශක්තිමත් විකල්පයක්, අවම වශයෙන් ධනේශ්වර විකල්පයක් හෝ ඉදිරිපත් වී නැත. ඇත්තේ විකල්පයක් නොව විරෝධය පෙන්වන විසිරුණු තැන් කිහිපයක් පමණි. ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ ද ක‍්‍රියා කරන්නේ විකල්පය නිර්මාණය කිරීම උදෙසා නොව විරෝධය පෙන්වන තැනක් වීම හා විරෝධයේ ප‍්‍රකාශකයා බවට පත්වීම සඳහාය. පසුගිය සතියේ ජවිපෙ රථ පෙළපාළියක් හරහා විරෝධතා පෙන්වූ අතර එය සටන්පාඨ ගණනාවක් හරහා විසිරුණු විරෝධයක් විය. ජවිපෙ පෙන්වමින් සිටින්නේ යම් නිශ්චිත ඉදිරි දර්ශනයක්, වමේ ගමනක් සඳහා වන ප‍්‍රවේශයක් හෝ උපායමාර්ගික දැක්මක් තමන්ට නැති බවත් ඇත්තේ විරෝධයේ ප‍්‍රකාශකයා බවට පත්වීමේ පටු හා නොගැඹුරු අරමුණ පමණක් බවත්ය. රථ පෙළපාළියේ විවිධ තැන්වලදී විභාග ප‍්‍රතිඵල ප‍්‍රශ්නය, ළමා අපචාර ප‍්‍රශ්නය, ගොවි ප‍්‍රශ්නය වැනි හැම ප‍්‍රශ්නයක් ගැනම විරෝධය මතු කරමින්, ඒකමතික නොව විසිරුණු විරෝධයකට එය ලඝුවන්නේ ඒ නිසාය. මීට මාසයකට ඉහතදී ජවිපෙ කතා කළ අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය ගැන දැන් වචනයක්වත් නෑසෙන අතර දැන් ඇත්තේ ප‍්‍රයෝජ්‍යවාදී අර්ථයකින් විරෝධය ප‍්‍රකාශ කිරීමකි. එම ක‍්‍රියාකාරීත්වය ද ක‍්‍රමයට කෙසේ වෙතත් රාජපක්ෂ රෙජීමයට හෝ විකල්පයක් නිර්මාණය කිරීමට සමත් වන්නේ නැත.

සමාජය පැත්තෙන් සිතන විට දැන් අවශ්‍යව ඇත්තේ විකල්පයකි. එය හුදු රාජපක්ෂ රෙජීමයට විකල්පයක් නොව නව ලිබරල් ධනවාදයටම විකල්පයකි. ආණ්ඩුවේ බලය තහවුරු කරගැනීමේ ක‍්‍රියාවලියත් එජාපයේ මන්දගාමී රිද්මයත් ජවිපෙ උපයෝගීතාවාදී සංදර්ශනත් හරහා එම විකල්පය සකස් කරගත නොහැක. දැන් අවශ්‍යව ඇත්තේ සටන්කාමී උවමනාවන් සහිත බලවේග සමාජ ජයග‍්‍රහණයක් සඳහා පෙළගස්වන අරගලයකි. එය මීටර 100තරගයක රිද්මයෙන් කළ නොහැකි සේම එක්සත් ජාතික පක්ෂයේ මන්දගාමී රිද්මය ද ප‍්‍රමාණවත් වන්නේ නැත. එනිසා නව ලිබරල් ධනවාදයෙන් සහ එහි අනුප‍්‍රාප්තික ප‍්‍රශ්න වන ජාතිවාදයෙන්, අත්තනෝමතිකත්වයෙන් හා ආර්ථික පීඩනයෙන් බැටකන බලවේග නව සමාජ විකල්පයක් වෙත සංවිධානය කිරීම උදෙසා රික්තයක් ගොඩනැඟී ඇත. සමාජයීය ජයග‍්‍රහණයක් වෙනුවෙන් දැන් කළ යුත්තේ එම රික්තය පිරවීමයි. බොළඳ පුහු විරෝධය වෙනුවට විරෝධයට තර්කානුකූලභාවය හා විචාරශීලීත්වය කැඳවීම ඒ සඳහා වන පළමු පියවරයි. පටන්ගත යුත්තේ එතැනිනි.   

 

විදර්ශි

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 22 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 22 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා -   මධ්‍යම කදුකරයේ විටින් විට තද සුළං (පැ. කි. මී. 60දක්වා) බලාපොරොත්තුවිය හැක. දිවයිනේ අනෙක් කොටස් වලද විටින් විට... Read more

Advertisment

advertisment