A+ R A-

SMS ආරක්ෂණ මෘදුකාංගයක් නිර්මාණය කර රාජකීය සිසුන් ලොව දෙවැනි තැනට

E-mail Print PDF

 

කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් තිදෙනෙක් විසින් නිෂ්පාදනය කල, SMS  පණිවුඩවල ආරක්ෂිතභාවය සුරකින මෘදුකාංගයක් අන්තර් ජාතික තරගයකදී ලෝකයේ ම දෙවැනි තැන දිනා ගැනීමට සමත්ව ඇත.

මෙම මෘදුකාංගය  නිපදවා ඇත්තේ, එම විද්‍යාලයේ 12 වැනි ශ්‍රේණියේ ගණිත අංශයේ ඉගෙනුම ලබන රොෂ්නාල් ලිහිනිකඩු, අදීශ ගම්මන්පිල සහ චමත් පලිහවඩන යන සිසුන් තිදෙනාය.

ලෝකයේ පරිගණක දෘඪාංග සහ මෘදුකාංග සංවර්ධනය කිරීමේ පුරෝගාමී ඇමෙරිකානු ආයතනයක් වන Oracle ආයතනය, මඟින් සංවිධානය කළ Think Quest 2012  තරගය සඳහා ලෝකයේ සෑම රටකින් ම පාහේ විවිධ තේමා යටතේ තරුණ කණ්ඩායම් 5600 කට වඩා සහභාගි වී ඇත..

වයස් කාණ්ඩ කීපයක් යටතේ පැවැති මේ තරගාවලියේ වයස අවුරුදු 17 න් පහළ කාණ්ඩයේ ලෝකයෙන් ම දෙවැනි ස්ථානය දිනා ගත්තේ මේ රාජකීය සිසුන් තිදෙනා ය. පළමු සහ තෙවැනි තැන් පිළිවෙළින් ඇමෙරිකානු සහ ඉන්දීය සිසුන් විසින් දිනා ගනු ලැබිණි.

රාජකීය  සිසුන් ඉදිරිපත් වූයේ Application Development (මෘදුකාංග නිර්මාණය) යන තේමාව යටතේ වූ තරගයට ය. තරගය සඳහා ඔවුන් ඉදිරිපත් කළේ SMS පණිවුඩවල ආරක්ෂිතභාවය සුරකින මෘදුකාංගයකි. ලොව කිසිවකු විසින් මෙතෙක් එවැනි මෘදුකාංගයක් නිපදවනු ලැබ නොතිබිණ.

“අපි තුන්දෙනා ම විනෝදාංශයක් ලෙසට මෘදුකාංග තැනීමේ කටයුත්තේ යෙදිලා ඉන්නේ. අප මේ මෘදුකාංගය මුලින් ම අප පාසලේ Royex  ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළා. ඉන්පසු අනිත් අයගේ උදව් උපකාර හා අදහස් අරන් අඩුපාඩු හදාගෙන එය සංවර්ධනය කළා. පාසලෙන් ද අපට උදව් ලැබුණා. අප මෙය තරගය සඳහා ඉදිරිපත් කරද්දී තරග සංවිධානය බාර ඉනෝකා සමරක්කොඩි ගුරුතුමිය අපට උදව් වුණා” යැයි රොෂ්නාල් පැවසීය.

මේ සිසු දරුවන් පරිගණක භාවිතයට හුරු වූයේ කුඩා කල පටන්ය. දිගින් දිගටම පරිගණක අතපත ගාමින් සිය දැනුම දියුණු කරගත් ඔව්හු මෘදුකාංග නිපදවීම සඳහා පිවිසුණේ අටවැනි ශ්‍රේණියේ දී ය. පාඨමාලා හදාරමින් සිය පරිගණක දැනුම දියුණු කරගත් ඔවුනට මෙතෙක් දුරක් පැමිණීම සඳහා දෙමවුපියන් ගුරුවරුන් හා රාජකීය විදුහල්පති උපාලි ගුණසේකර මහතා අතහිත දුන් බව ඔව්හු පැවසූහ.

ඔවුන් තමන් නිපදවූ මේ මෘදුකාංගය නම් කර ඇත්තේ TED (Test Encryptor and Decryptor)  ලෙසිනි.

“මේ මෘදුකාංගය භාවිතා කළ හැක්කේ ජාවා අනුගත (Compatible)  ජංගම දුරකථන සඳහා පමණයි. එසේ ම මෙහි ආරක්ෂිත බව ලැබීමට නම් SMS  පණිවුඩ හුවමාරු කරගන්නා දෙපාර්ශ්වයට ම මේ මෘදුකාංගය තිබිය යුතුයි. මේ මෘදුකාංගයෙන් ලැබෙන සුරක්ෂිතභාවය නිසා පිටස්තර කිසිවකුට හෝ ඒ අදාළ දුරකථන හිමියාගේ සමස් කියවීමට ලැබෙන්නේ නැහැ” යැයි චමත් TED  මෘදුකාංගය පිළිබඳව අප දැනුම්වත් කළේය.

\රොෂ්නාල්, අදීශ හා චමත් තිදෙනා එක්ව නිපද වූ TED  මෘදුකාංගය පිළිබඳව වැඩිදුරටත් අප හා තොරතුරු පැවසුවේ අදීශය.

“පණිවුඩය ලබන්නා හා යවන්නා යන දෙදෙනාටම මේ මෘදුකාංගය තිබිය යුතුයි. මෙය ජංගම දුරකථනයෙන් පළමු වතාවට Install  වන විට ඔහු වෙත User Account එකක් හා Password  එකක් දෙනු ලැබේ. යම් SMS  එකක් ලද විට TED, account එකට SMS  එක ලැබේ.

එවිට එම පණිවුඩය දුරකථනයේ නිවැරැදි අයිතිකරුට මිස අන් අයකුට කියවිය නොහැකි යි. අන් අයට මේ පණිවුඩය දැකීමට හැකි නමුත් එය (encrypted) රහසිගත භාෂාවකින් ඇති නිසා කිසිදු අයුරකින් අන් අයකුට කියවිය නොහැකි ය. මෙමගින් SMS  වල ආරක්ෂිතභාවය සුරැකෙනවා.”

ලෝකයෙන් ම දෙවැනි තැන ලැබූ මේ හපනුන්ට ඒ වෙනුවෙන් ඇමෙරිකාවේ සැන් ෆැන්සිස්කෝ නගරයේ දින පහක් ගත කරමින් විශ්වවිද්‍යාල කීපයක සංචාරය කිරීමට අවස්ථාව ලැබී තිබේ. ඒ අතරතුර පරිගණක විද්‍යාව පිළිබඳ වැඩමුළු කීපයක් සඳහා ද සහභාගි වීමේ අවස්ථාව හිමිවේ.

TED මෘදුකාංගය පිළිබඳ වැඩිදුර තොරතුරු www.tedmobile.net  වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව ඔව්හු පවසයි.

- සේමාලි කැල්ලපත

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 125 guests online

Advertisment

advertisment