A+ R A-

කුස්සියට එහා ගිය අයිතියක් ඇතැයි කාන්තාව තේරුම් ගත් දිනට ධනපති ක‍්‍රමයට පැවැත්මක් නැහැ - දිමුතු ආටිගල

E-mail Print PDF

altගෘහයට එහා ගිය අයිතියක්, ලෝකයක් කාන්තාවට ඇතැයි කාන්තාව තේරුම් ගත් දිනට ධනපති ක‍්‍රමයට පැවැත්මක් නැතැයි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සභාපතිනි දිමුතු ආටිගල මෙනවිය පැවසුවාය.

ඊයේ (06) ස්වයං තීරණ අයිතිය, බෙදා වෙන් කර පාලනය සහ ස්ත‍්‍රිය යන තේමාව යටතේ පැවති සම්මන්ත‍්‍රණයකදි ඇය මේ බව පැවසුවාය. දිමුතු ආටිගල මෙනවිය වැඩිදුරටත් මෙසේද පැවසීය.

‘‘කාන්තාවක් වීම නිසා මුහුණ දෙන පොදු ප‍්‍රශ්න තිබෙනවා. ඒ නිසායි කාන්තාවන්ගේ දේශපාලන ව්‍යාපාරයක්  ඕන. එහෙම නැතිව පිරිමින්ගෙන් නිදහස ගන්න නොවෙයි. සහෝදරවරුන් සමග එකට කරන අරගලයක් කාන්තා ව්‍යාපායරටත් තිබෙන්නේ.

අද වන විට කාන්තාවන්ට එරෙහි අපරාධ ඉහළ ගිහිල්ලා තිබෙනවා. ආණ්ඩුවේ ඇතැමුන් කියනවා, සිදුවීම් වැඩි වෙලා නැහැ, මාධ්‍යවලින් වාර්තා කරන ප‍්‍රමාණය වැඩි වෙලා විතරයි කියලා. නමුත් ඇත්ත තත්වය තමයි කාන්තාවන්ට එරෙහි අපරාධවල ප‍්‍රමාණය වැඩි වෙලා. කෲරත්වය වැඩි වෙලා. මේ අපරාධවලට, කෲරත්වයට, ඝාතනයට උත්තරය එල්ලූම් ගස්වලින්, සිරගෙවල්වලින් සොයන්න බැහැ. ඒක සමාජ ක‍්‍රමයේ ප‍්‍රකාශනයක් කියලා තේරුම් නොගත්තොත් ඒ ප‍්‍රශ්නයට උත්තර සොයන්න බැහැ.

පීඩනයට ලක් වූ කෙනෙක් ලෙස නොවෙයි, බොහෝ තැන්වලදී කාන්තාව වෙනස් විදියට අර්ථ ගැන්වෙනවා. කාන්තා පත්තරවල සුන්දර ලෝක මවනවා. ටෙලි නාට්‍යවල වීර චරිත මවනවා. නමුත් අපි දන්නවා යථාර්ථය එය නොවන බව. කාන්තාව ඇන්දීමට ලක් කරනවා. කාන්තාව එක පැත්තකින් වෙළඳ භාණ්ඩයක් වනවාට අමතරව වෙළෙන්දාගේ ගොදුරක් බවටත් පත් වෙලා.

ජනගහනයෙන් 53%ක් වූ කාන්තාවන් මේ පීඩාකාරී ක‍්‍රමය පවත්වාගෙන යන්නන් බවට පත් වෙලා. ඒක තමයි ඇත්ත. ඒ නිසා මේ ඇන්දීමත්, ගොදුරුවීමත් තේරුම් නොගෙන මේ ක‍්‍රමය වෙනස් කරන්න බැහැ.

අවිඥානිකව හෝ පොදුවේ අහන ප‍්‍රශ්නයක් තිබෙනවා, කාන්තාවන්ගේ කාර්යභාරය දේශපාලනය නොවෙයි නේද, කාන්තාවන්ට අයිති ගෘහ ජීවිතය නේද කියලා. ඊට එයා ලෝකයක් කාන්තාවන්ට තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. ගෘහයේ කටයුතු පමණක් නොවෙයි, ඊට එහා ගිය වගකීමක් තිබෙනවා කියලා කාන්තාව තේරුම් ගත් දිනට මේ ධනේෂ්වර ක‍්‍රමය පවත්වාගෙන යන්න යන්න බැහැ.  ඒ නිසා මේ ක‍්‍රමය කැමති කාන්තාවන් හොඳට අන්දලා තියා ගන්න.

ලෝකයේ ශ‍්‍රම ක‍්‍රියාකාරීත්වය ගත්තොත් 2/3ක් කාන්තාවන්. නමුත් ඒ පිළිබඳ නිසි ඇගැයීමක් නැහැ. ශ‍්‍රමයේ වටිනාකමට ප‍්‍රමාණවත් වැටුපක් ලැබෙන්නේ නැහැ වගේම, ඔවුන්ට රැුකියා දෙකක් කරන්න සිදු වෙලා තිබෙනවා. බොහෝ කාන්තාවන ඒක දන්නේ නැහැ. එකක් රැුකියාව අනෙක් එක ගෙදර වැඩ. ලක්ෂාන්ත අතුකෝරාළගේ කවියක තියෙනවා ‘වැඩ ඇරී වැඩට යති ගැහැණු’ කියලා. ඒක තමයි ඇත්ත. මේ ද්විත්ව වැඩමුරය ඇගැයීමට ලක් වෙන්නේ නැහැ. එවැනි තැනක අපි කාන්තාවන්ගේ අයිතීන් ගැන කතා කරනවා. මේ වැඩමුර දෙකම සමාජමය වැඩ ලෙස පිළිගන්නා සමාජයක විතරයි කාන්තාවන්ට සමානත්වය ලැබෙන්නේ. එවැනි අඛණ්ඩ සංවාදයක් සමාජයට ගෙන යාම අපේ වගකීමක්.

මෙතෙක් පැවති කාන්තා ව්‍යාපාරවලට ඒක කරන්න බැරි වුණේ ඇයි? කාන්තා ව්‍යාපාර වර්ග තුනක් තිබෙනවා. එකක් සමාජවාදී ව්‍යාපාර. ලිබරල් ව්‍යාපාර සහ ස්ත‍්‍රීවාදී ව්‍යාපාර. මේ තුනෙන් සමාජය වෙනස් කරමින් කාන්තාවන්ගේ තත්වය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ සමාජ ව්‍යාපාරයක් එක්ක බැඳුණු කාන්තා ව්‍යාපාරයකට විතරයි. සමාජ ආකල්ප වෙනස් කරන්නේ කොහොමද කියද්දී සමාජ ව්‍යාපාරයකට බැඳී නැත්නම් ඒක කරන්න බැහැ.

මේ දේශපාලන සංදර්භය තුළ උතුරේ කාන්තාව විශේෂ මාතෘකාවක්. උතුරේ කාන්තාවන්ට විශේෂ ප‍්‍රශ්නයකට මුහුණ දෙන්න වී තිබෙනවා. උතුරේ පවුල්වල 90%ක පමණ ගෘහ මූලිකයින් කාන්තාවන්. ඒක ඔවුන්ට ලැබුණු නම්බු නාමයක් නොවෙයි. යුද්ධයේ ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන් ඒ තත්වයට පත් වෙලා. උතුරේ කාන්තාව මුහුණ දෙන ඛේදවාචකය දකුණේ සමාජය දැනුවත් නැහැ. ඒ පිළිබඳව දකුණ දැනුවත් කිරීම අපේ එක් කාර්යභාරයක් ලෙස අපි සලකනවා.’’

 

ආරාධිත දේශනය - වරුණ රාජපක්ෂ

‘‘අපි තවමත් සාපේක්ෂව පිරිමි දේශපාලන ව්‍යාපාරයක්. ඒක අපේ කැමැත්ත නොවෙයි. මම සරල උදාහරණයක් කියන්නම්. අපි එක්ක යුවලවල් දේශපාලනය කරනවා. පෙම්වතා සහ පෙම්වතිය එහෙමත් නැත්නම් සැමියා සහ බිරිඳ. ඔවුන් අර්බුදයට මුහුණ දීලා එනවා, තීරණයක් ගන්න. ඉතිං දෙන්නගෙන් එක්කෙනකුට දේශපාලන ජීවිතය කැප කරන්න වෙනවා. එවැනි බොහෝ වෙලාවට සිදු වුණේ එකම දෙයක්. ඒ තමයි සහෝදරිය ගෘහීය ජීවිතයට ගිහිල්ලා සහෝදරයා දේශපාලනය කරන එක. 1935සම සමාජ පක්ෂය ආරම්භ වූ දවසේ ඉඳලාම වමේ ව්‍යාපාරයේ කතාව  ඕකයි.

මෙහෙම කියද්දී කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙම නම් වමේ ව්‍යාපාරය තමයි කාන්තා දේශපාලනය සම්බන්ධයෙන් ලොකුම වරද කරලා තියෙන්නේ කියලා. එහෙම නෙවෙයි. ධනපති දේශපාලන පක්ෂ ගැන එවැනි සංවාදයක්වත් නැහැ. හෙළ උරුමය හරි, එක්සත් ජාතික පක්ෂය හරි ශ‍්‍රී ලංකා  නිදහස් පක්ෂය හරි ගත්තොත් එවැනි සංවාදයක්වත් නැහැ.

කවුරු හරි එක්නැලිගොඩ වගේ බය නැති කෙනෙක් ඉන්නවා නම්, චම්පික රණවකගේ නඩු වාර්තාව අරගෙන කියවලා බලන්න පුළුවන්. පහුගිය දවසක ප‍්‍රාදේශීය සභාවක සභාපතිවරයෙක් එයා සිදු කළ සිය වෙනි ස්ත‍්‍රී ¥ෂණය සමරන්න පාටියක් දැම්මා. මේ දේශපාලකයාට කියන්නේ ‘සාරුවා’ කියලා. මම මෙහෙම කිව්වාම ඔබ අහවි එක්කෙනෙක් එහෙම වුණාට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනෙක් අය එහෙම නෑ නේද කියලා. ඔව්. ඒක හරි. නමුත් මට මෙහෙම කතාවක් මතක් වෙනවා.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ පැරදුණු මන්ත‍්‍රීවරයෙක් පස්සේ සංස්ථා සභාපති කෙනෙක් වුණා. ඔහු එහි කාන්තාවක් ¥ෂණය කරලා ඒ නඩුව ලොක්කා අතට ගියා. පස්සේ ලොක්කා අර සභාපතිවරයාව ගෙන්වලා ඇහුවා. සභාපතිවරයා කිව්වා ‘සර් මම ආයෙත් මේ වගේ දේවල් කරන්නේ නැහැ කියලා.’ ලොක්කා කිව්වේ තමුසෙ නොකර ඉන්න එපා, හැබැයි අහුවෙන්න කරන්න එපා කියලා. ඉතිං සාරුවත් එකයි සාටකයත් එකයි.

ස්ත‍්‍රී විමුක්තිය පිළිබඳ දේශපාලනයක් තිබෙනවා. ඒ දේශපාලනය තිබෙන්නේ පන්ති දේශපාලනයත් එක්ක බද්ධ වෙලා. ඒ වගේම ස්ත‍්‍රී දේශපාලනයට රැුඩිකල් අනන්‍යතාවයකුත් තිබෙනවා.

අපි ස්ත‍්‍රියට දේශපාලනය සඳහා ගෘහයෙන් එන්න කිව්වාට ඇය කොහේටද එන්නේ? ඇයට ඇවිත් දේශපාලනය කරන්න පුළුවන් තැනක් තියෙන්න  ඕන. ඒක කරන්න පුළුවන් වමට. වමේ ව්‍යාපාරය අසමත් වුණේත් ඒ දේ කරන්න. ඒ නිසා ඒ රැඩිකල් දේශපාලනය ප‍්‍රායෝගිකත්වයට ගෙන එන්න ජීවන භාවිතාවක් අවශ්‍යයි.’’සභාපතිනි දිමුතු ආටිගල, ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න, විධායක කමිටු සාමාජික සාමාජිකාවන් වන ගයනි රුවන්මලී, සඳමාලි කොඩිතුවක්කු, ජමින්ද සිරිවර්ධන, ආර්. කලාදේවි, චිත‍්‍රමාලි රිචඞ් යන අය වේදිකාවේ අසුන් ගත්හ. 

Comments

 
0 # pathum 2012-08-08 21:59
මහත්වරුනි සිනහ නොවන්න මේ කථා වලට ඇ‍‍ඬෙනවා. මේ කියන කථා කොළඹ කියන්න එපා. ‍එදා එළියට දාපු පොත මම සම්පූර්ණයෙන් කියෙව්වා. එදා වරුණ කරපු කථාව සම්පූර්ණයෙන් මේ පොත ඇතුලෙ තියෙනවා. මම දන්නෙ නෑ ඇයි මෙහෙම වෙන්නෙ කියලා. දිමුතු දන්න දෙයක් නැත්නම් ඉගෙන ගන්න. ඔයාල වගේ අය දේශපාලනය කරන්න එනවට අපි ආසයි. ඇයි තාම කාන්තාවන් වෙනුවෙන් වැඩකරනව කියන ඔයාල පිරිමින්ගෙ කථා පොත් හැටියට ගහන්නේ? තව දෙයක් ඇයි X කණ්ඩායම විසින් පළකරපු හිස්ටීරියාව පොතෙන් හිස්ටරිකයා ගැන උපුට ගත්තු ඔයාල ඩෙස්මන් මොරිස් ගෙන් ඊළඟ කෑල්ල උපුටගෙන පොතේ පරිශීලක ග්‍රන්ථ නාමාවලියට X කණ්ඩායම - හිස්ටීරියාව කෘතිය කියන එක දාන්න බැරි වුනේ ඒක අහම්බයක් ද? මම දීප්තිට කඩේ යනවා නෙමේ. මම දන්නව දීප්ති මේක දැන් එයාලගේ කට්ටිය ඇතුලෙ මේක අර්ථ ගන්වන හැටි. ඇත්තටම ඇයි ඔයාල ජනතා විමුක්ති පෙරමුණෙන් ආවේ. එයාල ඔයාලට දේශපාලන මණ්ඩලේට හරි මධ්‍යමකාරක සභාවට හරි එන්න දුන්නෙ නැද්ද? ඔයාල පව්. මේ විදිහට නම් වරුණ ලෙෆ්ට් පොලිටික්ස් කරන්න බෑ.
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

online

We have 70 guests online

Advertisment

advertisment