බන්ධනාගාර නිලධාරීන්ගේ පහරකෑමට ලක්ව තුවාල ලබා රෝහල්ගතව සිටි දෙමළ දේශපාලන සිරකරුවකු අද මියයාමේ සිද්ධියේ වගකීම රජය භාරගත යුතු බවත් මේ ආකාරයෙන් අත්අඩංගුවේ සිටින පුද්ගලයින් පහරදී මරා දැමීම දැඩි පිළිකුළින් යුතුව හෙළා දකින බවත් මානව හිමිකම් සහා ක්‍රියාකාරිකයෝ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම සංවිධානයේ සාමාජික, නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද දැක්වේ:
“පසුගිය ජුනි මස 28වන දින වව්නියා බන්ධනාගාරයේ රැදවියන්ට කොළඹින් යවන ලද විශේෂ පොලිස් කණ්ඩායම විසින් එල්ල කරන ලද ප‍්‍රහාරයෙන්, තුවාල ලබා සිටි තවත් රැදවියෙකු අද (08)උදෑසන මරණයට පත් විය. මෙම මරණය ආණ්ඩුව විසින් එල්ල කරන ලද ප‍්‍රහාරයේ ප‍්‍රතිඵලයක් ලෙස සිදුවූවක් වන අතර එයට ආණ්ඩුව වගකිව යුතු බවද මානව හිමිකම් සඳහා ක‍්‍රියාකාරිකයෝ සංවිධානය ලෙස ප‍්‍රකාශ කර සිටිමු.
මෙසේ මියගොස් ඇත්තේ මරියදාස් පේවිස් දෙල්රුක්ෂාන් නැමැති වයස අවුරුදු 34ක් වන තරුණයෙකු වන අතර ඔහු යාපනයේ පයිතකූර් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. ප‍්‍රහාරය හේතුවෙන් ඔහුගේ මොලය මිය ගිය අතර ඔහු රෝහල් ගත කර තිබුනේද ප‍්‍රහාරයෙන් දින 06කට පමණ පසුවය. දෙල්රුක්ෂාන් මාසයකට අධික කාලයක් රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලැබීය. බන්ධනාගාර ප‍්‍රහාරයෙන් මීට ඉහතදී මිය ගිය නිමලරූබන් හා අද මිය ගිය දෙල්රුක්ෂාන් යන දෙදෙනාගේ මරණයන් සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදුකිරීමට ආණ්ඩුව කි‍්‍රයාකොට නැත. නීත්‍යානුකූල අත්අඩංගුවේ සිටියදී මේ අයුරින් පුද්ගලයින්ට පහරදී මරාදැමීම අතිශය බරපතල කාරණයක් වන අතරම මෙම තත්වයන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකිමු.
මෙම තත්වයන්ට විරෝධය පළකරමින් හා දේශපාලන සිකරුවන් නිදහස් කිරීමට බලකරමින් මානව හිමිකම් සදහා ක‍්‍රියාකාරිකයෝ සංවිධානය මගින් ලංකාව පුරා අත්සන් කිරීමට බලාපොරොත්තු වන පෙත්සම පසුගිය 27දා කොළඹ පිටකොටුවෙන් අත්සන් තැබීම ආරම්භ කළ අතර මේ මස 10වන දින එය වව්නියාවේදී ද, ඉදිරියේදී තවත් නගර රාශියකද අත්සන් කිරීමට නියමිතය.“






