A+ R A-

වම එකට බැඳෙන වරපොට

E-mail Print PDF

 

මේ සතියේත් මෙම සටහන ලියැවෙන්නේ මැතිවරණ පරිසරයක් තුලය. උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පලාත්වල මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවා අවසන්ය. ඡන්ද දායකයන් අතර මැතිවරණය උණුසුමක් නැතත් දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් ප‍්‍රචාරක කටයුතු ආරම්භ කර තිබේ. 

මෙම පැමිණවීමට නියමිත අඛණ්ඩව මැතිවරණ රැල්ලක එක් මැතිවරණයක් පමණකි. ඉදිරියේදී ඌව, දකුණ, වයඹ, මධ්‍යම උතුර, බස්නාහිර ආදී පාළාත් සභාවක් සඳහා ඡුන්දය විමසීමට නියමිත අතර දැනගන්නට ලැබෙන ආකාරයට ආණ්ඩුවේ සැලැස්ම වන්නේ ඉන් අනතුරුව ජනාධිපතිවරණයක් කැඳවා බලය තහවුරු කර ගැනීමයි. මෙවර මැතිවරණ රැල්ල කැඳවා ඇත්තේ මීට පෙර වතාවේ මෙන් යුද ජයග‍්‍රහණයක උන්මාදය තුළ නොව සමාජය තුළ අතෘප්තිය රජයන තත්වයක් තුලය. ඒ අතෘප්තිය හා කලකිරීම ක්ෂේත‍්‍ර කිහිපයක් ඔස්සේ වර්ධනය වෙයි.

 

ගැලවීමේ මාර්ග

මේ වන විටත් ආර්ථිකය පවතින්නේ බරපතල අවදානමකය. පසුගිය ජුනි මාසයේ නිකුත් කරන ලද ස්ටෑන්ඩර්ඞ් ඇන්ඞ් ටුවර්ස් වාර්තාවට අනුව ලංකාවේ බැංකු පද්ධතිය බිඳ වැටීමේ අවදානමකට හසුව ඇත. එපමණක් නොව රටේ නිෂ්පාදන ආදායම් හැකිලෙමින් තිබේ. පසුගිය මැයි මාසය තෙක් ගෙවුනු මාස පහ තුළ කාර්මික අපනයන 16.2%කින්ද ඇඟලූම් අපනයන 13.5%කින්ද රබර් අපනයන 18.9%කින්ද බිඳ වැටී ඇත. මෙසේ නිෂ්පාදනීය ක්ෂේත‍්‍ර බිඳ වැටෙන අතරතුර රටේ ජනතාවගේ ජීවන මට්ටමද බිඳ වැටෙන බව පැහැදිලි වන්නේ එම මාස 5තුළ පාරිභෝගික භාණ්ඩ අනයනය 10%කින් බිඳ වැටී ඇති නිසාය. මෙම අර්බුදය හමුවේ ආණ්ඩුව ගැලවීමේ මාර්ග තුනක් සොයාගෙන ඇත. ඒ මුදල් අච්චු ගැනීම, බදු පැනවීම හා ණය ගැනීමයි.

 

මෙම මාර්ග තුන තාවකාලිකව ගැලවීමේ මාර්ග ලෙස පෙනී ගියද ඒවා සමාජය තව තවත් උගුලක පටලවන මාර්ග මිස ගැලවීමේ මාර්ග නොවේ. නිදසුනක් ලෙස මුදල් අච්චු ගැසීම ගනිමු. නිෂ්පාදනය හරහා නව වටිනාකම් බිහි කිරීමට සමානුපාතික නොවන අයුරින් අසීමිත ලෙස මුදල් අලූතෙන් නිකුත් කිරීමේ ප‍්‍රතිඵලය වනුයේ රුපියලේ අගය බිඳ වැටීමයි. එවිට ආනයනික භාණ්ඩ සියල්ලේ මිළ ඉහල යයි. පසුගිය මැයි මාසය වන විට මේ වසරේ ගෙවුනු මාස පහ තුළ රජයට ණයදීම සඳහා මහ බැංකුව විසින් අලූතින් මුද්‍රණය කරන ලද මුදල් ප‍්‍රමාණය රුපියල් බිලියන 329කි. එය පසුගිය වසරේ එම වකවානුව තුළ මුද්‍රණය කළ මුදල් ප‍්‍රමාණය 243%කින් ඉහල නැංවීමකි. අර්බුදය හමුවේ ආණ්ඩුව මුදල් මුද්‍රණය කරන අතර, ඒ හේතුවෙන් රුපියල අවප‍්‍රමාණය වෙද්දී එහි පීඩනය එල්ල වන්නේ ජනතාවටය.

ආණ්ඩුවේ දෙවන ගැලවීමේ මාර්ගය වනුයේ බදු පැනවීමයි. නිෂ්පාදන ක්ෂේත‍්‍රයන්හි දැඩි ලෙස අසාර්ථකවී සිටින ආණ්ඩුව බදු අයකර ගැනීමේදී නම් උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරයි. මේ වසරේ අපේ‍්‍රල් මාසය වන විට රජයේ බදු නොවන ආදායම් රුපියල් බිලියන 29.0දක්වා 18.5 %කින් පහත වැටී ඇති මුත් බදු ආදායම් රුපියල් බිලියන 276.4දක්වා 10.7%කින් ඉහල නැංවී ඇත. පසුගිය අයවැය ලේඛනයට අනුව ආණ්ඩුව 2012වසරේදී අප රටේ ජනතාවගෙන් අය කිරීමට නියමිත මුළු බදු මුදල රුපියල් බිලියන 1000.6ක් හෙවත් වැටහෙන භාෂාවෙන් කියන්නේ නම් රුපියල් කෝටියේ ඒවා ලක්ෂයකි. මේ බදු බර පැටවෙන්නේත් ජනතාවගේ කරපිටය.

ආණ්ඩුව තුන්වන ගැලවීමේ මාර්ගය ලෙස තෝරාගෙන සිටින්නේ අධික ලෙස ණය ගැනීමයි. මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.6ක් ලබාගත් අතර එහි අවසන් වාරිකය ලබාදීමටත් පෙර තවත් ඩොලර් මිලියන 500ක් ඉල්ලා තිබිණි. මේ අතර ආණ්ඩුව පසුගියදා ඩොලර් බිලියනයක බැඳුම් ඇපකර නිකුත් කළ අතර එය 6%ක පොලියට වසර 10කින් ගෙවීමේ පදනම මත ලබාදීමට ඇතැම් බැංකු සූදානම්වී සිටියදී, 8.5%වැඩි පොලියට වසර 3කින් ගෙවීමේ පදනම මත එම ඩොලර් බිලියනය ලබා ගැනීම ගැන පසුගියදා ජනරල පුවත්පතින්ද අනාවරණය කෙරිනි. එහි සිදුවන වංචාව පමණක් රුපියල් මිලියන 2000කි. මේ ආකාරයට ණය ගැනීමේ අවසන් ප‍්‍රතිඵලය වන්නේ එහි ණය වාරික හා පොලී ගෙවීමේ බරද ජනතාවගේ කර මතට වැටීමය.

ගොනා ඇනීම

මෙසේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙතම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ඒකාධිපතිත්වයේ හස්තය දිගුවී ඇත. මේ සඳහා මෑත නිදසුන වනුයේ වව්නියාව බන්ධනාගාරයේ සිදුකළ පහරදීමෙන් දෙවන රැඳවියාත් අගොස්තු 08වන දින මිය යාමයි. ජුනි මස 28වැනිදා වව්නියාව බන්ධනාගාරය තුළදී කළ පහරදීමෙන් මුලින්ම නිමලරූබන් ජුලි 04වැනිදා මියගියේය. දෙවනුව පහරදීමෙන් අධික ලෙස තුවාලවී කෝමා තත්ත්වයේ සිටි, යාපනය පයිතපූර් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මරියදාස් ජේවිස් ඩෙල්රුක්ෂාන් මිය ගියේය. මෙය රටේ පවතින ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තත්ත්වය පිළිබඳ එක් නිදසුනක් පමණි. බන්ධනාගාරයක් තුළ එනම් රජයේ රැකවරණය යටතේ රඳවා සිටියදී සිරකරුවන් පහරදී මරා දැමීම සාමාන්‍යකරණය කිරීමට ආණ්ඩුව සමත්ව සිටී. ඔවුන්ගේ මෘත දේහයන්හි අවසන් කටයුතුවලට පවා නීතිමය බාධාවන් එල්ල කිරීම සමාජය තුළ සාධාරණීකරණය  කිරීමට ආණ්ඩුව සමත්ව සිටී. මේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තත්ත්වය තුළ විරෝධය හා අතෘප්තිය මෝරා යමින් තිබේ.

ඒ අතරේ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවල හා අසමත්කම් වල විපාක විඳීමට සිදුව ඇත්තේද ජනතාවටමය. අගෝස්තු 7වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම පවසා ඇති තොරතුරුවලට අනුව නිසි ප‍්‍රමිතියෙන් තොර ඞීසල් භාවිතය හේතුවෙන් ලංගමට සිදුව ඇති අලාභය රුපියල් ලක්ෂ 60කි. අධිවේගී මාර්ගයේ ධාවනය කරන බස් රථ 10ක් 38වාරයක් නැවතී ඇතැයිද, බස් රථවල ෆිල්ටර් මාරු කිරීම සඳහා පමණක් රුපියල් ලක්ෂ 6ක අලාභයක් සිදුව ඇතැයිද ඇමතිවරයා පවසා ඇත. බාල ඞීසල් නිසා පෞද්ගලික වාහන වලට සිදුව ඇති හානිය පිළිබඳ සංඛ්‍යා ලේඛන පවා නිශ්චිතවී නැත. කෙසේ වෙතත් පාඩුව අති විශාල බව පැහැදිලිය. ආණ්ඩුවේ වරදින් පසුගිය උසස් පෙළ විභාගයේ විභාග ප‍්‍රතිඵල ව්‍යාකූල වූ අතර එම අර්බුදය තවමත් විසදී නැත. සිදුව ඇත්තේ ’ අගය අර්බුදය විසඳන තුරු සිසුන් විශ්වවිද්‍යාල වලට බඳවා ගැනීම අත්හිටුවීමයි. අධ්‍යාපනයේ සිදුවන අර්බුදවල නිමක් නැත අගොස්තු 06වැනිදා මෙවර උසස් පෙළ විභාගය ඇරඹිනි. පුදන කොටම කාපි යකා කියන්නාක් මෙන් පළමු දිනයේදීම ලබාදුන් සංයුක්ත ගණිතය ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්නයක් වැරදී තිබිණි. මේ සියලූ මුග්ධකම්වල ප‍්‍රතිඵල විඳීමට සිදුවන්නේ සිසුන්ටය. මේ ආකාරයට හැම ක්ෂේත‍්‍රයක් තුළම ජනතාවගේ අතෘප්තීන් වර්ධනය වෙමින් තිබේ.

 

විසඳුම කොතැනද?

මෙවර මැතිවරණය ජනතාවගේ විරෝධයන්, අතෘප්තීන් හා අසහනයන් දේශපාලන ප‍්‍රකාශනයක් බවට පත්වන මැතිවරණයක් වේ යැයි සිතීම අපහසුය. ඇතැම් විට මැතිවරණය අවසන් විය හැක්කේ මේ දේශපාලන පරිසරය ගැන විරෝධාකල්පයන් දරන අයත්, මේ ක‍්‍රමයටම එරෙහිව සටන් කරන අයත් තව තවත් අධෛර්යමත් කරන, මන්දෝත්සාහී වන, කල කිරෙන ප‍්‍රතිඵලයකිනි. මෙම මැතිවරණය හේතුවෙන් ආණ්ඩුව තෝරා ඇති වැඩපිළිවෙල දෙස බලන විට එය එසේ වීමේ ඉඩ වැඩි බව පෙනී යයි. එයින් අදහස් වන්නේ සමාජය තුළ ආණ්ඩු විරෝධයේ හෝ ක‍්‍රම විරෝධයේ බීජ නැති බව නොවේ. ඒවා තිබුනත් එක එල්ලයකට යොමුවී නැත. ඒ සියල්ල පවතින්නේ එකිනෙකින් වෙන්වූ, වියුක්ත විරෝධයක් ලෙස මිස කේවල උපායමාර්ගික ගමනකට සම්බන්ධ වූ විරෝධයක් ලෙස නොවේ.

වත්මන් සමාජයේ චර්යාවන් දෙස බලන විට පෙනී යන්නේ විවිධ කොටස් මෙම ස්ථාපිතය සමඟ අසම්මුතියට එන බවය. මේ දිනවල රටපුරා දියත්වන ශිෂ්‍ය විරෝධතා එක් පැත්තකින් මෙකී අසම්මුතියේ ප‍්‍රකාශනයකි. වෙබ් අඩවි හා බ්ලොග් අඩවිවල සනිටුහන් වන ක‍්‍රම විරෝධය, සමාජයේ මැද පාන්තික තරුණ කොටස්වල කොටස්වල අසම්මුතිකාමීත්වය අනාවරණය කරයි. එය සමාජ වෙනසක් පිළිබඳ දිගු කාලීන බලාපොරොත්තු තැබිය හැකි තත්ත්වයකි. එහෙත් ඒ සඳහා ඇති බාධාව වනුයේ වම තුළ ඇති ව්‍යාකූල්තවයයි. ඇතැම් විට වෙනස් අදහස් ඇති අය අතර ඇති සමනය නොවන ප‍්‍රතිවිරෝධයන්ය. මේ විවිධ වාමාංශිකයන් හා කණ්ඩායම් බිහිවී ඇත්තේ විවිධ පන්තිමය මූලයන් හා සංස්කෘතික මූලයන් නියෝජනය කරමින් බැවින් වෙනස්කම්වල පැවැත්ම මේ මොහොතේ යථාර්ථයකි. ප‍්‍රශ්නය වෙනස්කම් නොව ඒවා නිකායවාදයක් කරා ගමන් කිරීමයි. බොහෝ විට මමංකාරය හා ස්වාර්ථකාමී බල උවමනාවන් සහිත පිරිස් වල ක‍්‍රියාකාරීත්වයක් නිසා වමේ ජයග‍්‍රහණය වෙනුවෙන් පුළුල් සමාජමය ශ‍්‍රම විභජනයකට ඇති ඉඩකඩ පටුවී ඇත. මේ අවුල් ජාලය දකින විට අර්බුදය ඉදිරියේ දේශපාලනික වන අය පවා දේශපාලනය අතහරින තැනට තල්ලූ වීමට ඉඩ ඇත.

මේ මොහොතේ හදිසිම අභියෝගය වනුයේ ආණ්ඩු විරෝධය සංවිධානය කිරීම නොවේ. ක‍්‍රම විරෝධීන් අතර ඇති මතවාදීමය-සංවිධානමය-දේශපාලනමය ව්‍යාකූලත්වයන් නිරාකූල කිරීමයි. දක්ෂිණාංශය තුල මෙම විවිධත්වයන් එකට පවතින්නේ ”බලය” නැමැති වරපොටින් එකට බැඳ ඇති නිසාය. වාසුදේවට හා වීරවංශටත්, තිස්ස විතාරණට හා හෙල උරුමයටත්, චම්පිකට හා කරුණාටත් එකට සිටිය හැකි වන්නේ ඒ වරපොටේ පිහිටෙනි. වාමාංශයට එකට බැඳීම සඳහා තිබෙන වරපොට කුමක්ද? මේ මොහොතේ අභියෝගයවනනේ වෙන කිසිවක් නොව එය සොයා ගැනීමයි. අපට සිතෙන ආකාරයට නම් එය අන් කිසිවක් නොව පීඩාවට පත්වූවන් පිළිබඳව ඇති වගකීමේ වරපොටයි. සාකච්ඡා කළයුත්තේ නිකායවාදයට එරෙහිව, එය පෙරට ගත හැක්කේ කෙසේද යන ප‍්‍රශ්නය ගැනය.

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 23 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 23 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා - දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහිත කාලගුණයක් ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී.   දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්... Read more

Advertisment

advertisment