රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ඉල්ලූ බවට ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන මහතාට චෝදනා එල්ල වී තිබේ. ව්‍යාපෘති භාරකරුවකු වන දුමින්ද ලංකා ලියනගේ නමැත්තකු විසින් පොලිස්පතිවරයා වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
තමන් විසින් ලක්ෂ 50ක මුදලක් සහ දින සටහන් නොකරන ලද චෙක් පත් දෙකක් ලබා දුන් බවද ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
හොරගොල්ලේ ‘ග‍්‍රීන් පාක්’ නමින් නිවාස ව්‍යාපෘතියක් ඉදි කරන බවත් එම ව්‍යාපෘතියට නිවාස 350ක් ඇතුළත් බවත් පවසන පැමිණිලිකරු, එම නිවාස ව්‍යාපෘතිය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ලබා දෙන ලෙස සරණ ගුණවර්ධන නියෝජ්‍ය ඇමතිවරයා බලපෑම් කළ බව පවසයි.
මෙම සිදුවීම පිළිබඳව 'දිනමිණ' පුවත්පත අද සිය මුල්පිටුවේ වාර්තාවක් පළ කරමින් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ගම්පහ දිස්ත‍්‍රික් ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදී අදාළ නිවාස ව්‍යාපෘතිය නතර කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කළ බවයි. සරණ ගුණවර්ධන මහතාගේ සහ සෙසු පළාත් පාලන මන්ත‍්‍රීවරුන්ගේ කරුණු දැක්වීම සැලකිල්ලට ගෙන නාගරික සංවර්ධන අධිකාරිය නිවාස ව්‍යාපෘතිය නතර කිරීමේ තීන්දුව ගෙන තිබේ.








