ශ්‍රී ලංකා මිරර් සහ ලංකා එක්ස් නිවුස් වෙබ් අඩවි පවත්වාගෙන ගිය කාර්යාල පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෝදිසි වරෙන්තුව ලබාගන ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගයක් වැරදි ලෙස අර්ථ කථනය කොට පෙන්වාදීමෙන් බව පැහැදිලිවන්නේ යැයි අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඊයේ (09) ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවසුවාය.
රට තුළ පවත්වාගෙන යන සියලුම වෙබ් අඩවි ලියාපදිංචි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කොට ඇතත්, එකී වෙබ් අඩවි එකී නියෝගය අනුව ලියාපදිංචි කොට නැති බැවින් පරීක්ෂා කිරීමට සෝදිසි වරෙන්තු ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයාට සිය තොරතුරු වාර්තාව මගින් කරුණු පෙන්වාදී ඇතැයි නීතිඥ සාලිය පීරිස් මහතා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වාදුන්නේය.
තමන් සේවය කළ වෙබ් අඩවි කාර්යාල දෙක කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව නීති විරෝධී අන්දමින් වටලා තමන් අත්අඩංගුවට ගැනීම නිසා සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දු කොට තමන්ට රුපියල් මිලියන 50 බැගින් ගෙවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත්කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා මිරර් හා ලංකා එක්ස් නිවුස් වෙබ් අඩවිවල සේවය කළ 7 දෙනෙකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවිණි. එකී පෙත්සම්කරුවන් ඉදිරිපත් කොට ඇති පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් මාස තුනක් ඇතුළත ඒවා ගොනුකරන ලෙසට එහිදී වගඋත්තරකරුවන්ට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඉන් පසු ප්‍රතිවිරෝධතා මාසයක් ඇතුළත ගොනුකරන ලෙසද පෙත්සම්කරුවන්ට නියෝග කළේය. අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, නිමල් ගාමිණී අමරතුංග හා කේ. ශ්‍රී පවන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ එම නඩුව ලබන වසරේ පෙබරවාරි 7 යළි කැඳවීමට එහිදී නියම කෙරිණි.
එහිදී කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සවින්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් අදාළ වෙබ් අඩවි පවත්වාගෙන ගිය තැනැත්තන් සේවක අර්ථසාධක අරමුදලේ හෝ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ සාමාජිකත්වය ලබාදී නොමැති බවත් එය නීති විරෝධී ක්‍රියාවක් බවත් පෙන්වා දුන්නේය.
කෙසේවෙතත් එලෙස තම සේවා දායකයන් වෙනුවෙන් එකී අරමුදල්වලට මුදල් ගෙවා නොමැති නම් එය කම්කරු දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ කළයුතු කරුණක් මිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ කළ යුත්තක් නොවන බවද එහිදී අධිකරණයට පෙන්වාදුන් නීතිඥ ශාලිය පීරිස් මහතා එලෙස අර්ථසාධක නොගෙවන සියලු ආයතන වැටලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ නම් රටේ සියලු සමාගම් වසා දැමීමට සිදුවනු ඇති බව පෙන්වා දුන්නේය.
රිවිර ඇසුරිනි








