සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටි, සුදුසුකම් ලැබූ 2010සහ 2011වසරවල උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරීන්ට රැකියා ලබානොදීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට විරෝධය පලකර ඊයේ දිනයේදී (9)කොටුව දුම්රියපළ ඉදිරිපිට දී ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් උද්ඝෝෂණයක් පවත්වන ලදී.
උද්ඝෝෂණය අවසානයේ ජනාධිපතිවරයා වෙත් සංදේශයක් බාරදීම සඳහා පාගමනින් ජනාධිපති මන්දිරය දක්වා යෑමට සූදානම් වූ අවස්ථාවේ කැරලි මර්දන පොලීසිය යොදා, මාර්ග අවහිර කර පාගමන නවත්වන ලදී.
එහිදී අදහස් දැක්වූ කැඳවුම්කරු ධම්මික මුණසිංහ ‘‘ ආණ්ඩුව අවිධිමත් පරිදි උපාධිධාරීන්ට රැකියා දීලා තමන්ගේ වෙච්ච වැරැද්ද වහගන්න උපාධිධාරීන් පිරිසකට පමණක් රැකියා නොදෙන්න තීරණය කරලා. දැන් රැකියා දෙන්න සල්ලි නෑ කියනවා. උසස්පෙළ සමත් සිසුන් සරසවි වරම් ඉල්ලලා උද්ඝෝෂණ කරනවා, ගොවියො තම වගාව බේරගන්න වතුර ඉල්ලල අරගල කරනවා, විශ්වවිද්‍යාල ආචාර්යවරු තමන්ගේ ගැටලූ විසඳන්න කියල අරගල කරනවා. අපි රැකියා ඉල්ලල අරගල කරනවා ඒත් ආණ්ඩුව ඒ කිසිවක් මායිම් නොකර අත්තනෝමතික විදියට මැතිවරණ පවත්වනවා. ජනතා මුදල් විශාල වශයෙන් නාස්ති කරනවා. අපි රැකියා දෙන තුරු අඛණ්ඩව අරගලය කරනවා’’ යනුවෙන් පැවසීය.
විරෝධතාව අතරතුරු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරියක් හමුවී ජනාධිපතිවරයාට බාරදීමය සංදේශයක් බාර දී විරෝධතාව අවසන් කරන ලදී.
















