A+ R A-

සිසුන්ට ‍ඉගෙන ගැනීමට අවස්ථාව දී අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සමාජය පෙරට ආ යුතුයි - පුබුදු ජයගොඩ

E-mail Print PDF

 

altඋසස් පෙළ විභාග ප‍්‍රතිඵලවලින් අසාධාරණයට ලක් වූ ජීව විද්‍යාව ඉගෙන ගත් සිසුන් වෛද්‍යපීඨයට බඳවා නොගෙන මාළඹේ පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයට බඳවා ගැනීමටත් ඊට වැය වන මුදල රජයෙන් දැරීමටත් ඒ හරහා පෞද්ගලික වෛද්‍යවිද්‍යාලවලට නීත්‍යනුකූලභාවය ලබාදීමටත් උත්සාහයක් පවතින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා අනාවරණය කරයි.

ඔහු මේ බව පැවසුවේ, අද එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය. ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

‘‘පසුගිය වසරේ උසස් පෙළ විභාගයට ඉදිරිපත් වූ සිසුන්ගේ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් මතු වූ අවුලත වමත් විසඳිලා නැහැ. මේ සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සම් පහක් ඉදිරිපත් කර තිබෙනවා. ඉන් හතරක තිබෙන්නේ විභාග දෙපාර්තමේන්තුව අධිකරණ නියෝගය ක‍්‍රියාත්මක කිරීම මගහැරියා කියලා. එක් පෙත්සමක තිබෙන්නේ පළමු ප‍්‍රතිඵල ලේඛනයෙන් සරසවි වරම් ලැබුණු නමුත් දෙවන ලේඛනයෙන් සරසවි වරම් අහිමි වී තිබෙනවා කියලා.

සියවසකට ආසන්න කාලයක් ක‍්‍රියාත්මක වන විභාග දෙපාර්තමේන්තුව මෙවැනි වැරදි මීට පෙර ඇති වෙලා නැහැ. දැන් මෙවර විභාගයේත් ගනිතය ප‍්‍රශ්න පත‍්‍රයේ ගනන් වැරදියි. ප‍්‍රශ්නය වැරදියි කියලා සිසුන් හඳුනා ගන්නා තුරු ඇයි විභාග දෙපාර්තමේන්තුවට එය හඳුනා ගන්න බැරි වුණේ? දෙවන ප‍්‍රශ්න පත‍්‍රයේත් ප‍්‍රශ්නයක් වැරදියි. විභාග දෙපාර්තමේන්තුව ඒ ප‍්‍රශ්නයට අදාළව සංශෝධනයක් යැව්වා. ඒකත් යවලා තියෙන්නේ අවිධිමත් ආකාරයට. මොනරාගල ඇතැම් විභාග මධ්‍යස්ථානවලට ලැබිලා නැහැ.

අධ්‍යාපනයේ විතරක් නොවෙයි, අනෙක් ක්ෂෙත‍්‍රවලත් ආණ්ඩුවට වැරදීම් වෙනවා. කලින් බාල පෙට‍්‍රල් ගෙනාවා. පෙට‍්‍රල් වාහන විනාශයි. ඊට පස්සේ ඞීසල් ගේනකොට වැරදුණා. බාල ඞීසල් නිසා ඞීසල් වාහන විනාශයි. ආණ්ඩුවට වරදින්නේ ජනතාවගේ ජිවිත සම්බන්ධ ප‍්‍රශ්නවලදී. ඒ ප‍්‍රශ්නවලදී ආණ්ඩුව අකාර්යක්ෂමයි. ආණ්ඩුවට අමතක වෙනවා.

නමුත් බලය සම්බන්ධ ප‍්‍රශ්නවලදී එහෙම නැහැ. නියමිත කාලයට පෙර මැතිවරණ තියන්න අමතක වෙන්නේ නැහැ. දහස් ගණනක් පැහැර ගෙන ගොස් තිබෙනවා. සුදු වෑන්වලින් උස්සනවා. ඒ අයට මොකද වුණේ කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒවායේදී ආණ්ඩුවට වරදින්නේ නැහැ.

1977න් පසුව අධ්‍යාපනයට අඩුම මුදලක් වැය කළේ මේ අවුරුද්දේ. දළ දේශීය නිෂ්පාදනයෙන් 1.8%යි වෙන් කර තිබෙන්නේ. 1993දී ලංකාව යුනෙස්කෝ සම්මුතියට අත්සන් කළා. ඒ අනුව අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක් වෙන් කළ යුතුයි. අද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හා සිසුන්ගේ සටන්වල ප‍්‍රධාන සටන් පාඨයක් බවට එය පත්ව තිබෙනවා.

දැන් එස්.බී. දිසානායක ඇමතිවරයා කියනවා, රටේ ආර්ථිකයට ගැලපෙන්න අධ්‍යාපනය හදන්න  ඕන කියලා. සාමාන්‍යයෙන් රටක අධ්‍යාපනය හදන්නේ ඒ රටේ භෞතික සම්පත්වලට ගැලපෙන ලෙස. ආර්ථිකය හදන්නේ භෞතික හා මානව සම්පත්වලට ගැලපෙන ලෙස. කිසියම් ක්ෂේත‍්‍රයක බුද්ධිමය ශ‍්‍රම සම්පතක් තිබෙනවා නම් ඒ ක්ෂේත‍්‍රයේ ආර්ථිකය පුළුල් කළ යුතුයි.

ඒ නිසා අපේ රටේ ආර්ථිකය ක‍්‍රියාත්මක කරන විදියේ වරදක් තිබෙනවා. නව ලිබරල් ධනවාදය තුළ ලංකාවේ නිෂ්පාදනය කරන්නේ ගිනි පෙට්ටියයි මිනී පෙට්ටියයි විතරයි. අනෙක් සියල්ල පිට රටින් ගේනවා. ඉතිං ඒකට ආර්ථික විශේෂඥයින්  ඕන නැහැ.

සිසුන්ට චෝදනාවක් තිබෙනවා, සිසුන් ඉගෙන ගන්නේ නැතිව උද්ඝෝෂණ කරනවා කියලා. සිසුන්ගේ සටන් නිසා තමයි අධ්‍යාපන අයිතිය මේ තරමටවත් රැකිලා තියෙන්නේ. නමුත් සිසුන් අධ්‍යාපනය ලැබිය යුතුයි. ඒ නිසා අපි යෝජනා කරන්නේ අධ්‍යාපනයේ අයිතිය රැක ගැනීමේ සටන දෙමාපියන්, ගුරුවරුන් පොදුවේ සමාජය තමන්ගේ උරමතට ගත යුතුයි.’’

මෙම මාධ්‍ය හමුවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ජමින්ද සිරිවර්ධන මහතාද සහභාගි විය.

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 25 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 25 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පළාතට... Read more

online

We have 94 guests online

Advertisment

advertisment