ටෙසෝ සමුළුව පැවැත්වීම වැරදිද, නිවැරදිද යන්න සෙවීමට පෙර එවැනි සමුළුවක් පැවැත්වීමට හේතු වූ කරුණු සොයා බැලිය යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
”දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලූ ගැන සිංහල ජනතාව කතා කරන්නේ නැතිනම්, දෙමළ ජනතාවගේ ගැටලූ ගැන කතා කරන්නේ කරුණානිධි නම් දෙමළ ජනතාව කරුණානිධි ළඟට යන එක වළක්වන්න බැහැ. දෙමළ ජනතාවගේ ගැටලූ ගැන කතා කරන්නේ හිලරි ක්ලිංටන් නම් ඔවුන් හිලරි ක්ලිංටන් ළඟට යන එක වළක්වන්න බැහැ. ඒ නිසා දෙමළ ජනතාවගේ ගැටලූ වෙනුවෙන් සිංහල ජනතාව පෙනී සිටිය යුතුයි. එවිට දෙමළ ජනතාව සිංහල ජනතාව සමග සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගන්නවා” යැයිද පුබුදු ජයගොඩ මහතා අවධාරණය කළේය.
ආණ්ඩුව දේශපාලන සිරකරුවන් අත්අඩංගුවේ සිටියදීම පහර දී මරා දමන බව පෙන්වා දුන් පුබුදු ජයගොඩ මහතා, එම ඝාතනවලට වගකිව යුත්තන් අත්අඩංගුවට ගැනීමක් පවා මෙතෙක් සිදු කර නැතැයි පැවසීය. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකරනවා පමණක් නොව එම ඝාතන සාධාරණීකරණය කරමින් ආණ්ඩුව ජාතිවාදය වපුරමින් සිටී. එවැනි තත්වයක් හමුවේ ආණ්ඩුවේ සිංහල ජාතිවාදය එරෙහිව දෙමළ ජනතාව දෙමළ ජාතිවාදය වෙතට තල්ලූවීම වැළැක්විය හැක්කක් නොවන බවද පුබුදු ජයගොඩ මහතා පෙන්වා දුන්නේය.
ඔහු මේ බව පැවසුවේ ඊයේ එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.








