Latest news
A+ R A-

පැහැරගත් ලලිත්, කුගන් නිදහස් කරනු! - දේශපාලන පක්ෂ හා සංවිධාන රජයට බල කරති

E-mail Print PDF

altපැහැර ගෙන ගොස් නීති විරෝධීව රඳවා සිටින ලලිත් සහ කුගන් වහාම නිදහස් කරන ලෙස වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අද ආණ්ඩුවට බල කළහ. ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් රජයේ ඉහළ ආරක්ෂක ප්‍රධානීන් අතර සාකච්ඡාවක් සිදු වූ බවට කරුණු අනාවරණය වීමෙන් පසුව මෙම මාධ්‍ය හමුව පැවැත් විණි.

 

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මහතා මෙසේ පැවසීය.

alt

"ලලිත් සහ කුගන් දෙදෙනා ජීවතුන් අතර ඉන්නවා, ඔවුන් හමුදා කඳවුරක රඳවා තබා තිබෙනවා, ඔවුන් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේදී හමුදාවේ ඉහළම නිලධාරීන් අතර සාකච්ඡාවක් සිදුව තිබෙනවා කියා ඊයේ රාත‍්‍රී වෙබ් අඩවිවල ප‍්‍රවෘත්තියක් පළ වී තිබෙනවා. ඒ අනුව අපට තිබෙන සම්බන්ධතා මගින් කළ සොයා බැලීමේදී එවැනි සාකච්ඡාවක් සිදුව තිබෙන බව තහවුරු වුණා. ඒ නිසා ඉතාම පැහැදිලියි, ඔවුන් දෙදෙනා හමුදාවේ අත්අඩංගුවේ සිටිනවා.

අපි ඔවුන් අත්අඩංගුවට ගත්තේ ආරක්ෂක අංශ විසින් බව මීට ඉහතදීත් අපට තිබෙන තොරතුරු අනුව හෙළි කළා. විශේෂයෙන්ම ඔවුන් පසුගිය දෙසැම්බර් 9 වැනිදා පැහැර ගැනීමට ලක් වූයේ යාපනයේ නීර්වේලි කියන ගමේදී. ගම්වැසියන් කියන පරිදි ඔවුන් යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී, සුදු වෑන් එකකින් පැමිණි පිරිසක් ඔවුන් වෑන් එකට දමාගෙන ගියා. යතුරු පැදිය එතැන දමා ගියා.

ඉන් පසුව ගම්වැසියන් එය ග‍්‍රාම නිලධාරීවරයාට දැනුම් දුන්නා, ග‍්‍රාම නිලධාරීවරයා ඒ බව ආසන්නයේ තිබෙන පොලිසියට පැමිණිලි කළා. ඉන් පසුව එදින සවස පොලිසියෙන් පැමිණ යතුරු පැදිය රැගෙන ගියා.

නමුත් එම යතුරු පැදිය ලැබුණු බව පොලිසියට අපට පැවසුවේ නැහැ. කුගන්ගේ බිරිඳ කෝපායි පොලිසියට ගිය විට යතුරුපැදිය තිබෙනවා දැක්කා. පසුව නීතිඥයින් මගින් අප විමසූ විට පොලිසිය පැවසුවේ, කිලෝමීටර් තුන හතරක් ඈත තිබෙන කෝවිලක් ළඟ තිබී සොයා ගත්තා කියලා.

පොලිසිය දිගින් දිගටම උත්සාහ කළේ සිද්ධිය යට ගහන්න. ගම්වාසීන්ගෙන් පැහැර ගැනීම ගැන තොරතුරු ලැබී තිබියදීත් පොලිසිය ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශයක් සිදු කළේ නැහැ.

ඉන් පසුව වාර්තා වුණා ඔවුන් දෙදෙනා කොළඹ, කොටුවේ පිහිටි පොලිස් සුබසාධන ගොඩනැගිල්ලටත් ඉන් පසුව දෙමටගොඩ පොලිස් අපරාධ කොට්ඨාසයටත් රැගෙනගිය බවට.

මේ වන විට ඔවුන් උතුරේ කිසියම් හමුදා කඳවුරක රඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ ආරක්ෂක බලධාරීන්ගේ සාකච්ඡාවේදී ඔවුන් පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා. දැන් ඔවුන් ඉන්නේ ඉතාම බරපතළ ජීවිත අවදානමක. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇතත් කිසිම පොලිස් පොතක ඒ බව ලියා නැහැ. හබයාස් කෝපුස් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී රජයේ බලධාරීන් අධිකරණයට පැමිණ පැවසුවේ ඔවුන් තමන් භාරයේ නැහැ කියලා.

අපි ආණ්ඩුවට බල කරන්නේ ලලිත් සහ කුගන් නිදහස් කරන්න. ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්න.

ඔවුන් දෙදෙනා පැහැර ගෙන යාම එවැනි සිදුවීම් විශාල ප‍්‍රමාණයක් අතරේ එක් සිදුවීමක් පමණයි. දේශපාලන හේතූන් මත සහ රහස් සඟවා තැබීමේ වුවමනාව මත විවිධ පුද්ගලයින් පැහැර ගෙන යනවා. රට තුළ ඉතාම නරක තත්වයක් නිර්මාණය වී තිබෙන්නේ. මේ තත්වය පරාජය කළ හැක්කේ ජනතා බලයකින් පමණයි.”

 

සිරිතුංග ජයසූරිය මහතා

alt”ලලිත් සහ කුගන් ගැන ආණ්ඩුව තවමත් කිසිදු නිල ප‍්‍රකාශයක් කර නැහැ. වාචාල කතා කියනවා. ප‍්‍රගීත් ගැනත් එහෙමයි. හිටපු නීතිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහින් කිව්වා, ප‍්‍රගීත් විදේශ රටක ඉන්නවා කියලා. පසුව ඔහු අධිකරණයට කැඳෙව්වාම අධිකරණයට කිව්වේ ඔහු ඉන්න තැන දෙයියො තමයි දන්නේ කියලා. අපි එහෙම කිව්වා නම් කනෙන් අල්ලලා කූඩුවට දානවා. අද නීතිය වල්වැදිලා. නීතියේ ඉහළම තනතුරු දැරූ පුද්ගලයින් හැසිරෙන ආකාරය ඉතාම නින්දාසහගතයි.

නිමල රූබන් ඝාතනය කළා. දිල්රුක්ෂාන් ඝාතනය කළා. අඩුම තරමේ මරණ සහතිකයක්වත් ලබා දෙන්න ආණ්ඩුවට නොහැකි වී තිබෙනවා. හිර ගෙදර කියන්නේ ආණ්ඩුවේ ආරක්ෂාව යටතේ ජීවත් වෙන්නේ. නමුත් හිර ගෙදර තුළ මිනී මරණවා.

බදුර්දීන් ඇමතිවරයා මන්නාරමේ විනිසුරුවරයාට නින්දා සහගත ලෙස තර්ජනය කළාම ජනාධිපතිවරයා ප‍්‍රසිද්ධියේ සමාව ගත්තා. නිමල රූබන් සහ දිල්රුක්ෂාන් ඝාතනය සම්බන්ධයෙන් සමාව ගන්නේ නැත්තේ ඔවුන් දෙමළ නිසාද? ඒක තමයි ඇත්ත කතාව.

ලලිත්, කුගන් සහ ප‍්‍රගීත් පැහැර ගැනීම ගැනත් දිල්රුක්ෂාන් සහ නිමල රූබන් ඝාතනය කිරීම ගැනත් මහින්ද රාජපක්ෂත් ගෝඨාභය රාජපක්ෂත් වගකීම බාර ගත යුතුයි. ඔවුන් වගකිව යුතුයි. ලලිත් සහ කුගන් උතුරේ හමුදා කඳවුරක රහසිගතව රඳවාගෙන සිටිනවා. නමුත් එසේ රඳවාගෙන ඉන්න බව ආණ්ඩුව පිළිගන්නේ නැහැ.

ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ ලලිත් සහ කුගන් නිදහස් කරන්න. ප‍්‍රගීත් ඉන්න තැන කියන්න. නිමලරූබන් හා දිල්රුක්ෂාන් ඝාතනය කිරීමේ සිද්ධියේ වැරදිකරුවන් නීතිය හමුවට ගෙන එන්න”

 

ධර්මසිරි ලංකාපේලි

alt”ලලිත් සහ කුගන් පැහැර ගත්තේ ඔවුන් සන්නද්ධ කල්ලියක වැඩ කළ නිසා නොවෙයි. ඔවුන් උතුරේ පීඩාවට පත් වූ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටි නිසා. ඒ ජනතාවට උපකාර කළ නිසා. ඒ සඳහා ඔවුන් භාවිත කළේ  ඕනෑම අයකුට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස දේශපාලනය කිරීමට තිබෙන අයිතිය.  ඔවුන්ගේ දේශපාලනය ඉවසා ගන්න බැරිවයි ආණ්ඩුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ.

මාස අටක් ගත වී තිබෙනවා, ඔවුන් අත්අඩංගුවට ගෙන. ඔවුන් රඳවා තබාගෙන සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ඉහළ ආරක්ෂක මණ්ඩවල ඒ සම්බන්ධයෙන් කතා කරනවා. ඒ සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරු ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කරන්නේ නැහැ.”

පැහැර ගෙන ගොස් නීති විරෝධීව රඳවා තබාගෙන සිටින ජන අරගල ව්‍යාපාරයේ යාපනය දිස්ත‍්‍රික් සංවිධායක ලලිත් කුමාර් වීරරාජ් මහතා සහ ක‍්‍රියාකාරික කුගන් මුරුගානන්දන් මහතා වහාම නිදහස් කරන ලෙස බල කිරීම සඳහා අද (14) කොළඹ නිපෝන් හෝටලයේදී මෙම මාධ්‍ය හමුව පැවැත් විණි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ, එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය, නව සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ධර්මසිරි ලංකාපේලි, අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ ලේකම් එස්. මහේන්ද්‍රන්, සමාජවාදී පක්ෂයේ පී.ඞී. සරණපාල, මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂයේ උපාලි චන්ද්‍රසිරි, ප‍්‍රැක්සිස් සාමූහිකයේ විදර්ශන කන්නන්ගර හා අතුරුදහන් කර ඇති මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ යන මහත්ම මහත්මීහු ඊට සහභාගි වූහ.

 

 

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 31 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 31 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කදුකරයේ විටින් විට... Read more

online

We have 168 guests online

Advertisment

advertisment