1956ආණ්ඩුව බිහි කිරීමට කැප වූ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයම මේ වන විට වීදි සටන්වලට පිවිස සිටින බව මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් පවසති.
විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (14) උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේදී මහානාහිමියන් මෙම අදහස් පළ කළහ.
මෙම සිද්ධීන් හරහා රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ බලාපොරොත්තුව සම්පූර්ණවන බවක් දක්නට ලැබෙන බව ද උන්වහන්සේ එහිදී පැවසුහ.
‘‘අද එක අංශයක් නොවේ සෑම අංශයක්ම පිරිහිලා. ගම්වල ජීවත් වන මිනිස්සු රවටනවා වගේ විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු, ආචාර්යවරු රවට්ටන්න බෑ.’’ ජනාධිපතිවරයා ධීවරයින්ගේ ගැටළුව විසඳන්න සාකච්ඡා කරන්නේ නම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්රශ්නය ගැනත් සාකච්ඡා කර විසඳුමක් දීමට කටයුතු කළ යුතු බව මල්වතු මහානාහිමියන් පැවසුහ.
අළුයම සිට රාත්‍රී වන තුරු පිරිත් සජ්ජායනා කළ ද ධර්මය දේශනා කළ ද සමාජය යහපත් කළ නොහැකි බවත්, දවල්ට ක්‍රීකට් තරග ද රාත්‍රීයට සංගීත සංදර්ශන ද පැවැත්වීමට පමණක් සීමා වීමෙන් සිදුවන්නේ මෝඩයින් නිර්මාණය කිරීම බව ද උන්වහන්සේ පැහැදිලි කළේය.








