රුහුණ සරසවි ආචාර්ය සංගම් එකමුතුව විසින් ඊයේ (14)දින රුහුණ විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත විය.
මෙහිදී අදහස් දැක්වූ එම සම්මේලනයේ උප ලේකම් උපුල් අබේරත්න මහතා සඳහන් කළේ ආණ්ඩුව අධ්‍යාපනයේ ප‍්‍රමිතීන් ගැන කිසිදු තැකීමක් නොකරන බවත් උසස්පෙළ විභාගය නියමිත ප‍්‍රමිතියෙන් පවත්වන්න අපොහොසත් වී ඇති බවත්ය.
තවදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට සාධාරණ විසඳුමක් දීමට ආණ්ඩුව වහා මැදිහත් විය යුතු බවය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඊනියා දේශපේ‍්‍රමීන්ට වඩා මේ රටේ දරුවන් ගැන හැඟීමක් ඇති බවද අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කරන ලෙස බල කරන්නේ ඒ නිසා යැයිද ඔහු පැවසීය.
ආණ්ඩුව සිය අරගලය දේශපාලන මුහුණුවරක් ගෙන ඇති බව ප‍්‍රකාශ කරන බවත් තමන්ද එය පිළිගන්නා මුත් විශ්වවිද්‍යාල ආචාර්වරුන් අරගල කරන්නේ ආණ්ඩුව පෙරළීමට නොව අධ්‍යාපන අයිතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බවත් ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ආණ්ඩුව මේ සඳහා දක්වන ප‍්‍රතිචාරය මත ආණ්ඩුවේ ඉදිරියද තීරණය විය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.
උද්ඝෝෂණය පැයක පමණ කාලයක් විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවතිනි.










