A+ R A-

අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙසප රට පුරා උද්ඝෝෂණ

E-mail Print PDF

 

altරටේ අධ්‍යාපනය විනාශ කරමින් ආණ්ඩුව ගෙන යන ක‍්‍රියාවලියට එරෙහිව රට පුරා උද්ඝෝෂණ පවත්වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. අද (20)පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා මේ බව පැවසීය.

අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් අරගල කිරීම දේශපාලන පක්ෂවලට, ව්‍යාපාරවලට හෝ සංවිධානවල පවරන්නේ නැතිව තම දූදරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ජනතාව සටන් කළ යුතු යැයිද ඔහු අවධාරණය කළේය.

විභාග අවුල්, පෙළ පොත් ගැටලු ඇතුළු ජාතික අධ්‍යාපන පද්ධතිය බිඳ වැටීම ආණ්ඩුවේ නොහැකියාව නිසා සිදු වන්නක් පමණක් නොවන බව පෙන්වා දුන් දුමින්ද නාගමුව මහතා වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුවේ වුවමනාවද එය බවයි. විභාගවල ගුණාත්මක තත්වය බිඳ වැටෙන විට, පාසල් අධ්‍යාපනය බිඳ වැටෙන විට, විශ්වවිද්‍යාල දිගින් දිගටම වසා තැබෙන විට ජාතික අධ්‍යාපන පද්ධතිය කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටෙන බවත් එමගින් අධ්‍යාපන පද්ධතිය බිඳ වැටෙන බවත් නාගමුව මහතා පැවසීය. ඊට උත්තරය ලෙස ආණ්ඩුව ඉදිරිපත් කරන්නේ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීම යැයි පෙන්වා දුන් නාගමුව මහතා මේ ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන බව විවෘතව නොපවසන නමුත් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව ක‍්‍රියාකරන වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ බවත් වෛද්‍ය සභාවේ කිහිප දෙනකුටම මීට පෙරද තර්ජනය කිරීම් හා පහරදීම් සිදුව ඇති බවත් පෙන්වා දුන්නේය.

''සමාජ ආර්ථික ක‍්‍රමය වෙනස් කරන්න  ඕන කියලා කතා කරන සමහර පක්ෂ මේ අධ්‍යාපන අර්බුදය හමුවේ කියන්නේ එස්.බී, බන්දුල ගෙදර යනු කියලා. ඔවුන් දෙදෙනා ගෙදර යැව්වාම මේ ප‍්‍රශ්නයට උත්තර ලැබෙනවාද? එහෙම නම් බාල තෙල් ගෙන්වල ඛනිජ තෙල් ඇමතිවරයා ඉන්න සුදුසුද? විදුලිය කපන්නේ නැහැ කියලා කියලා දැන් විදුලිය කප්පාදු කරන විදුලිබල ඇමතිවරයා ඉන්න සුදුසුද? මාස ගණනාවක ඉඳලා කියුබාවෙන් බීටීඅයි ගේනවා කියලා කියන, ඒත් තවමත් ඩෙංගුවලින් සිදුවන මරණ අඩු කරන්න නොහැකි වුණු සෞඛ්‍ය ඇමතිවරයා ඉන්න සුදුසුද?  මේ විදියට ඇමතිවරු ඉවත් කිරීමෙන් මේ ප‍්‍රශ්නයට උත්තර සොයන්න බැහැ.''යැයිද ඔහු සඳහන් කළේය.

දුමින්ද නාගමුව මහතා මෙසේද පැවසීය.

”ඉසෙඩ් ස්කෝර් ගැටලූව නිසා නැවත නැවත අධිකරණය හමුවට යමින් ඉන්නවා. අපි අහනවා, කවද්ද මේ සිසුන් විශ්වවිද්‍යාලයට බඳවා ගන්නේ කියලා? ඉසෙඩ් ස්කෝර් ප‍්‍රශ්නය නිසා රටේ බහුතරයක් වුණු දුප්පත් දෙමාපියන්ගේ දරුවන් දුක් විඳිනවා. නමුත් ඒ අතර තවත් දරුවන් පිරිසක් පාටි දානවා. ඒ තමයි මේ සැරේ, මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා දෙන්නේ නැහැ කියලා තියෙද්දීත් නාම යෝජනා ලැබුණු ඇමතිවරුන්ගේ පුත්තු. මේ තමයි ආඩම්බරකාර තාත්තා මේ රටේ දරුවන්ට සලකන විදිය. දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ගේ ජීවිත පිළිබඳ ප‍්‍රශ්නය සැලකිල්ලට ගන්නේ නැහැ.”

මේ දිනවල පැවැත්වෙන විභාගයද අක‍්‍රමිකතා විශාල ගණනක් සිදුව ඇති බව පෙන්වා දුන් දුමින්ද නාගමුව මහතා මේ නිසා මෙවර විභාගයේ ඉසෙඞ් ස්කෝර් අගයද අර්බුදයට යන බව පෙන්වා දුන්නේය.

මෙම මාධ්‍ය හමුවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත මහතා සහ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවකුද සහභාගි වූහ.

This content has been locked. You can no longer post any comment.

Search