Latest news
A+ R A-

බලපෑම් ගැන ප්‍රශ්න කිරීමට තිලක් කරුණාරත්න කෝප් කමිටුව හමුවට

E-mail Print PDF

 

තමාට එල්ලවන දේශපාලන බලපෑම් හේතුවෙන් සුරැකුම්පත් සහ විනිමය නියාමන කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ තිලක් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යවසාය කාරක සභාව ඉදිරියට කැඳවන මෙන් එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කොට තිබේ.

අවංකව ගරු සේවයක් කිරීමේ අරමුණින්, ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් තමන් කොමිසමේ සභාපති ධුරය භාරගත්තද,  එහි අපක්ෂපාතීව සහ ස්වාධීනව කටයුතු කිරීමේ ඉඩ කඩ තමන්ට නොලැබුණු බව,  ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ සුරැකුම්පත් සහ විනිමය නියමන් කොමිසමේ හිටපු සභාපති තිලක් කරුණාරත්න මහතා ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රී ලංකා කොටස් වෙළඳපොලේ "මාෆියා කණ්ඩායමක්"  කොටස් ජාවාරමක යෙදී සිටින බව මීට ඉහත ප්‍රකාශ කළ ඔහු, පවත්නා තත්ත්වය යටතේ තවදුරටත් තම පදවිය දැරීම අපහසු බැවින් ඉතා ඉක්මනින්ම පදවියෙන් ඉල්ලා අස්වන බව අගෝස්තු 14වැනිදා බීබීසී සංදේශයට පවසා සිටියේය

සමාගම් පිලිබඳ පරික්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථා වලදී නොයෙකුත් අන්දමේ බලපෑම් තමාට එල්ල වූ බව කියා සිටින ඔහු තමාට බලපෑම් එල්ල කළේ කව්දැයි හෙළි නොකළේය.

තමාට පෙර සිටි සභාපතිනියටද මෙවැනිම අසීරුතාවයන්ට මුහුණ දීමට සිදුවූ හෙයින් පදවියෙන් ඉවත් වූ බව පෙන්වා දුන් ඔහු, වර්තමානයේ පවතින තත්වය තුළ සුරැකුම්පත් කොමිසමේ සභාපතිධුරයට පත් වන ඕනෑම පුද්ගලයෙකුට අවංකව කටයුතු කිරීමට ඇති ඉඩ ඉතා සීමිත බවද  ප්‍රකාශ කළේය.

ජනමාධ්‍ය මගින් තමා මෙම කරුණු හෙළි කරන්නේ පවත්නා තත්වයේ වෙනසක් ඇති කරගැනීම සඳහා මඟ පෑදීමට යැයිද හිටපු සභාපතිවරයා අවධාරණය කර සිටියේය.

හිටපු සභාපතිවරයා විසින් කර තිබෙන මෙම බරපතල කාරනා පිලිබඳ කරුණු සොයා බැලීම සඳහා ඔහුව  පාර්ලිමේන්තුවේ කෝප් හෙවත් පොදු ව්‍යවසාය කාරක සභාව ඉදිරියට කැඳවිය යුතුයැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසිය.

ඒ සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කතානායකවරයා උපදෙස් දී ඇතැයිද වාර්තා වේ.

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 110 guests online

Advertisment

advertisment