Latest news
A+ R A-

ඝන තෙල් ටොන් 70ක් සමඟ පානදුර මුහුදේ නැවක් ගිලේ

E-mail Print PDF

 

අධිකරණ නියෝගයක්‌ මත පානදුර මුහුදු කලාපයේ නැංගුරම්ලා ඇති ඝන තෙල් ටොන් 70 ක්‌ සහිත වෙළෙඳ නෞකාව ඊයේ (23 වැනිදා) සිට මුහුදුබත් වෙමින් පවතින අතර ඒහේතුවෙන් දැඩි සමුද්‍රීය පරිසර දූෂණයක්‌ සිදුවීමේ අවදානමක්‌ මතුව ඇති බව පරිසරවේදිහු පෙන්වා දෙති.

මේ වන විට සාගර ජලයට තෙල් බැරල් කිහිපයක්‌ එක්‌වී ඇති අතර මීටර් සියයක්‌ පමණ පළලට නාවික සැතපුම් පහක්‌ පමණ දුරට සියුම් තෙල් තට්‌ටුවක්‌ නෞකාවේ සිට කොළඹ දෙසට පැතිර තිබේ.

යම් හෙයකින් නෞකාවේ අඩංගු තෙල් සාගර ජලයට එක්‌ වුවහොත් සිදුවන දැඩි හානිය අවම කර ගැනීම සඳහා නෞකාව වටා ජලය මත එළිය හැකි දියමත පාවෙන ආරක්‍ෂක වැට (බූට්‌) යෙදීමට සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරිය සූදානමින් සිටින බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

ඝන තෙල් වෙරළ කරා ඇදී ආවොත් ඒසඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව සමුද්‍රිය පරිසර ආරක්‍ෂක අධිකාරිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය ඊයේ (23 වැනිදා) සාකච්ඡා කර ඇත.

නැව මුහුදුබත්වීමේ අවදානම මතුවීමත් සමගම වෙළෙඳ නැව් අධ්‍යක්‍ෂවරයාගේ මැදිහත්වීමෙන් පොම්ප කළ හැකි තෙල් ටොන් 250 ක්‌ පමණ කඩිනමින් ඉවත් කිරීමට හැකිවූ බව පරිසර අමාත්‍යාංශය ද සඳහන් කරයි.

ආන්දෝලනයට තුඩු දුන් සයිප්‍රස්‌ රාජ්‍යයට අයත් අදාළ නෞකාව මගින් පරිසරයට සිදුවිය හැකි බරපතළ හානිය නිසා එය ආරක්‍ෂිත ස්‌ථානයකට රැගෙන යැමට පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියට මීට මාස කිහිපයකට පෙර උපදෙස්‌ දුන්න ද වාණිජ අධිකරණය විසින් ලබාදුන් තහනම් නියෝගයක්‌ නිසා එසේ කිරීමට නොහැකි විය.

පරිසර අමාත්‍යාංශයේ බල සීමාවෙන් පිට වෙනත් ක්‍රියාවලියක්‌ නිසා අදාළ නෞකාව මුහුදුබත් වීමේ අවදානම මතුව ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

(දිවයින ඇසුරිනි)

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 35 guests online