Latest news
A+ R A-

සරසවි ඇදුරු අරගලය මඩින්න හොර සාකච්ඡාවක්

E-mail Print PDF

altවිශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලයට සමගාමීව හදිසියේම විශ්වවිද්‍යාල වසා දැමීමට එස්.බී. දිසානායක ඇමතිවරයා ක්‍රියා කිරීම විශාල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව ශ්‍රී ලංකා නිව්ස් වෙබ් අඩවිය (www.srilankanews.lk) වාර්තා කර තිබේ. එම වෙබ් අඩවියට අනුව පසුගිය 21 වැනිදා බත්තරමුල්ලලේ පිහිටි එස්.බී. දිසානායක මහතා‍ගේ නිවසේදී පැවැති රහසිගත සාකච්ඡාවකින් පසුව විශ්වවිද්‍යාල වසා දැමීමේ තීරණය ගෙන තිබේ.

මේ සාකච්ඡාව සඳහා බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා, එස්.බී. දිසානායක යන ඇමැතිවරුන් සහභාගී වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ කැරලිකාර පිලේ මන්ත‍්‍රීවරයෙකු මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරිපෙළ නායකයෙකුද සහභාගී වී ඇත. එමෙන්ම ඒ සදහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු සහ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නියුතු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ඉහළ නිලධාරීන් සිව් දෙනෙකුද ඊට සහභාගීවී ඇත. ඔවුන් කැළණිය, ජයවර්ධනපුර හා කොළඹ විශ්ව විද්‍යාල නියෝජනය කරන ආචාර්යවරු වේ.

මෙම සකච්ඡාවෙදී බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා පැහැදිලිවම කියා ඇත්තේ කිසිසේත්ම ආචාර්ය ඉල්ලීම් ලබාදීමට හැකියාවක් නොමැති බවය. නමුත් ඉල්ලීම් දිනාගන්නා තුරු ආචාර්‍ය සටන දිගටම පවත්වාගෙන යෑමට  යම් ආචාර්‍යවරු පිරිසක් ශක්තිමත්ව කටයුතු කිරීම  නිසා මේ ගැටලුව විසාදා ගැනීමට ආණ්ඩුවට  හැකියාවක් නොමැති බව එහිදී එස්.බී. දිසානායක මහතා පෙන්වා දී ඇත. මේ නිසා වෙනත් උපක්‍රමයක් යොදා මේ සටන අඩපණ කළ යුතුව ඇතැයි දෙපලගේ මතය වී ඇත.

ඒ අනුව අදියර කිහිපයක් ඔස්සේ ආචාර්ය අරගලය දියකර හැරීමට එහිදී එකඟතාවයට පැමිණ තිබේ. එහි පළමු පියවර ලෙස  සටනට නායකත්වය දෙන ආචාර්‍යවරුන් වෙන්වෙන්ව ගෙන වරදාන වරප්‍රසාද ලබා දී  ඔවුන්ව එයින් ඉවත් කිරීමට තීරණය වී ඇත. එම කටයුත්ත සිදුකිරීම උසස් අධ්‍යාපන ඇමැතිවරයාම භාරගෙන ඇත.

අනෙක් පියවර ලෙස ආචාර්ය සටනට ශිෂ්‍ය, අනධ්‍යන, ගුරු  ආදී බාහිර පාර්ශ්ව වලින්  සහ විපක්ෂයෙන් ලැබෙන සහය අඩපන කිරීමටද එහිදී සාකච්ඡාවී ඇත. එහිදී බාහිර බලවේග සහ ආචාර්යවරුන් අතර ගැටීමක් ඇති කිරීම සහ විපක්ෂයේ සහය දියාරු කිරීම විපක්ෂ දේශපාලකයින් දෙදෙනා විසින් භාර ගෙන තිබේ.

එමෙන්ම ආචාර්‍ය සටන නිසා තමන්ගේ ඉගෙනුම් කටයුතු අඩාල වුණු බව කියමින් ආණ්ඩුවට පක්ෂපාත ශිෂ්‍ය කොටස් යොදාගෙන  කලකිරීමට පත් ශිෂ්‍යන්  ආචාර්‍යවරුන්ට එරෙහිව උද්ඝෝෂණ වලට පෙළඹවීම මෙහිදී ගත් තවත් තීන්දුවකි. සිසුන් හා ආචාර්යවරුන් අතර ප‍්‍රතිවිරෝධයක් ගොඩනැගීමේ කාර්යය ආචාර්යවරුන්ගේ පාර්ශවයෙන්ද සිදුකිරීම සඳහා එම සාකච්ඡාවට පැමිණි සිටි ආචාර්යවරුන් පිරිස වගකීම භාර ගෙන තිබේ. ඒ අනුව අනෙකුත් ආචාර්යවරුන් අතර ශිෂ්‍යයන්ට එරෙහි මතයක් රෝපණය කිරීම හා ආචාර්යවරුන් සහ සිසුන් ඒකාබද්ධව ගන්නා ක‍්‍රියාමාර්ග අඩාල කිරීම සඳහා ක‍්‍රියාමාර්ග ගණනාවක් සකස්කළ බව එම ආරංචි මාර්ග තවදුරටත් ප‍්‍රකාශ කරයි.  

මේ අතර තවත් රහසිගත සැලසුමක් වී ඇත්තේ  ආචාර්‍යවරු හා ශිෂ්‍යන්  විසිරී සිටින මේ අවස්ථාවේදී,  විරෝධතා නිසා අකුලා ගන්නා ලද පෞද්ගලික විශ්ව විද්‍යල පනත සම්මත කර ගැනීමය.

මේ වන විට මෙම කුමන්ත්‍රණයේ අදියර කිහිපයක්ම ක්‍රියාත්මකවී ඇති බවද වාර්තාවේ. 

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 75 guests online