Latest news
A+ R A-

තීන්ත ගෑවට මලකඩ යන්නැති නොරොච්චෝලේ

E-mail Print PDF

 

පසුගිය සඳුදා නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ තාක්ෂණික දෝෂයක් ඇතිවීම හේතුවෙන් සති දෙකක් තුළ දෙවැනි වතාවටත් තාප විදුලි ජනක අක‍්‍රිය කර තිබේ. මෙසේ සිදුවූයේ ජල විදුලිය නිපදවීම සීමා කිරීම නිසා පසුගිය මාසයකට ආසන්න කාලයක් ප‍්‍රදේශ ගණනාවක දෛනික විදුලිය කැපීම් සිදුවෙමින් පවතින අතරය.

විදුලි බල මණ්ඩලයේ උප සභාපතිවරයා පවසන ආකාරයට තාප විදුලි බලාගාර ආයතනයේ චීන ඉංජිනේරුවන් මෙම දෝෂය හඳුනාගෙන ඊට පිළියම් යොදන්නට කටයුතු කරමින් සිටී.

මෙගා වොට් 300ක විදුලි බලයක් ජාතික පද්ධතියට එකතු කිරීමට නොරොච්චෝලේ බලාගාරය ඉදිකරනු ලැබුවේ විශාල ධනයක් වියදම් කරමිනි. චීන රජයේ ණය යෝජනා ක‍්‍රමයක් යටතේ මෙම තාප විදුලි සංකීර්ණය යෝජනා කරනු ලැබුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ කාලයේ බව විදුලි බල ඇමැති චම්පික රණවක පවසයි. ඔහුට එසේ කියන්නට සිදුව ඇත්තේ තාප බලාගාරය පිළිබඳ දිගින් දිගටම දෝෂ ඇතිවීමත් එම දෝෂ හේතුවෙන් කෙරෙන ප‍්‍රශ්න කිරීම්වලට මුහුණ දීමට නොහැකි නිසාත් බව තේරුම්ගත හැකිය. එහෙත් වත්මන් ජනාධිපතිවරයා මෙන්ම ආණ්ඩුවේ ඇමැතිවරුන් වැඩි පිරිසක් එවකට චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ ඇමැති ධුර දරමින් නොරොච්චෝලේ තාප බලාගාරය පිළිබඳ ගිවිසුමට හා ගනුදෙනුවලට අනුමැතිය ලබාදුන් බව අමතක කළ නොහැකිය. ඒ නිසා වරින් වර තාක්ෂණික දෝෂ ඇති බව පවසමින් මෙම මහා පරිමාණ තාප බලාගාරයේ සේවය බිඳ වැටෙන්නේ ඇයිදැයි සොයා බැලිය යුතුය.

සාමාන්‍ය තත්වයන් යටතේ ශ‍්‍රී ලංකාවේ වාර්ෂික විදුලි අවශ්‍යතාව මෙගා වොට් 2600ක් බව ගණනය කර තිබේ. ඉන් අඩක් එනම් මෙගා වොට් 1300ක් ජල විදුලියෙන් ලබාගන්නා බවත් ඉතිරිය සපුරා ගන්නේ තාප විදුලියෙන් බවත් විදුලි බල ඇමැතිවරයාම පවසා තිබිණි. එසේ තාප විදුලිය මෙගා වොට් 1300ක් ජනනය කරනු ලබන්නේ ඞීසල් හා ගල් අඟුරු යොදාගනිමින් ක‍්‍රියාත්මක විදුලි ජනන යන්ත‍්‍ර හරහාය. නොරොච්චෝලේ බලාගාරය විවෘත කරමින් ආණ්ඩුව ජයග‍්‍රාහී ලෙස පැවැසුවේ නැවත විදුලි කප්පාදුවක් ඇති නොවන බවයි. මෙම බලාගාරයෙන් මෙගා වොට් 300ක් එනම් ජාතික විදුලි අවශ්‍යතාවෙන් 17%ක් සපයන්නට නොරොච්චෝලේ පළමු අදියරේදී බලාගාරය සමත්වනු ඇති බවත් සම්පූර්ණ ව්‍යාපෘතිය අවසන් වූ විට විදුලිය කප්පාදු නැතිව පවතින්නට රටට හැකිවන බවත් ආණ්ඩුවේ පුරසාරම් දේශපාලකයෝ සුරංගනා කතා පැවසූ බව අපට අමතක නැත. මීට අමතරව සාම්පූර්හි ඉදිවන තාප බලාගාරයෙන් තවදුරටත් විදුලිය ජනනය කිරීමට නියමිත බව ආණ්ඩුව විසින් පුරාජේරු කතා පවසන ලදී. යුද්ධයෙන් පසුව සාම්පූර් වැසියන්ට සිය පාරම්පරික නිවාසවල පදිංචි වීමට අවසර නැත්තේ එහි තවත් තාප ජනන යන්ත‍්‍ර එකතු ඉදිවන්නට නියමිත නිසාය. එම බලාගාර එක්වූ විට තවත් මෙගා වොට් 600ක විදුලි බල ප‍්‍රමාණයක් එක්වනු ඇතැයි අපේක්ෂිතය.

කෙසේ වෙතත්, ආණ්ඩුව මෙන්ම විදුලි බල මණ්ඩලය පවසන ආකාරයට මේ දිනවල පවතින නියඟය නිසා ජල විදුලි බලාගාරවලින් අපේක්ෂිත විදුලිය නිෂ්පාදනය නොවේ. මේ නිසා 20%ක පමණ විදුලි සැපයුම් හිඟයක් ඇතිව තිබේ. එහි අඩුපාඩුව පියවන්නට තාප විදුලි බලය මත රඳා පවතින්නට සිදුවන නිසා ආණ්ඩුවට විශාල අමතර වැයක් දරන්නට සිදුව තිබේ. මෙම අමතර වැය දෛනිකව රුපියල් මිලියන 200ක් පමණ වන බව විදුලි බල මණ්ඩලය පවසයි. කෙසේ වෙතත් දැන් ආණ්ඩුවට විදුලිය කප්පාදු කරන්නට සිදුව ඇත්තේ ජල විදුලිබල සැපයුමේ හිඟය නිසාම නොවේ. නොරොච්චෝලේ ‘ලක්විජය’බලාගාරයේ විදුලි ජනනය නවතාදැමීමට අමතරව කෙරවලපිටිය ‘ලක්දනවි’තාප බලාගාරයේ මෙගා වොට් 270ක් ජනනය නවතාදමා ඇත්තේ ද කාර්මික දෝෂ හේතුවෙනි.

නොරොච්චෝලේ කාර්මික දෝෂ හටගත් තුන්වැනි අවස්ථාව මෙයයි. පසුගිය  විවෘත කිරීමෙන් මාස කිහිපයක් තුළ මෙම ගල් අඟුරු බලාගාරයේ දෝෂ ඇතිවන්නේ ඇයිදැයි සොයා බැලූවිට හේතු ලෙස අපට අනාවරණය වූ කරුණු කිහිපයකි. ඉන් එකක් නම් විදුලි බල මණ්ඩලයේ ප‍්‍රධානීන් පවසන ආකාරයට විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතියේ ලූණු බැඳීම නිසා වූවකි. නොරොච්චෝලේ බලාගාරය පිළිබඳ සැලැසුම් කරනු ලැබුවේ චීන තාක්ෂණය අනුවය. එසේම එය ඉදිකිරීමට වසර ගණනාවක් කාලය වැය කරන ලදී. එවැනි දැවැන්ත විදුලි ව්‍යාපෘතියක් අසාර්ථක කරවන්නට ලූණු බැඳීම හේතුවන බව කිසිවෙක් දැන නොසිටියාද යන්න හා මුහුද අද්දර ඉදිවන නොරොච්චෝලේ තාප ජනන කටයුතුවලට එහි බලපෑම වැළකීමේ පූර්ව පිළියමක් නොයෙදුවාද යන්න විමතියට කරුණකි. අධික මුදලක් වියදම් කරමින් රටේ ජනතාව ණය බරට ඇදදමමින් ආණ්ඩුව ඉදිකරවූ මෙම තාප බලාගාරය ගැන කී පුරසාරම් ඇත්ත නොවන බව දැන් කරුණුු හෙළිදරව් වෙමින් තිබේ.

නිරායාසයෙන් සැලකිල්ලට ලක්වන අනෙක් කරුණ නම් එක දිගට කාර්මික දෝෂ ඇතිවීමට හේතු විමසිය යුතු බවයි. මෑතක නොරොච්චෝලේ විදුලි ජනන යන්ත‍්‍ර ක‍්‍රියාවිරහිත කළ විදුලි බල මණ්ඩලය පසුගිය සති අන්තය වන විට එනම් දින පහකින් කාර්මික දෝෂයට පිළියම් යෙදූබව කියන ලදී. ඒ අනුව සති අන්තයේ නැවතත් ජාතික විදුලි පද්ධතියට එක් කළ විදුලි ජනන සේවාව දින දෙක තුනකින් නැවතත් බිඳවැටී ඇත. එක්කෝ විදුලි ජනන යන්ත‍්‍රවල දෝෂය නිවැරැදිව හඳුනාගෙන පිළියම් යොදා නැත. නැතිනම් ඒවා නැවත නැවත දෝෂ ඇතිකරවන කබල් යන්ත‍්‍ර විය යුතුය. එසේත් නැතිනම් විදුලි බල ඇමැති සහ විදුලි බල මණ්ඩලය රටට කියන්නේ කුමක් හෝ බොරුවකි. එය එසේ නම් නොරොච්චෝලේ තාප බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවම රටට කියූ කාරණා ගැන ද ඇතිවන්නේ නිරුත්සාහිකව උපදින  සැකයකි.

හිටපු ජනාධිපතිනිය හා එක්ව වත්මන් ජනාධිපති ඇතුළු ඇමැති මණ්ඩලය අනුමත කළ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට එරෙහිව ප‍්‍රදේශවාසී ජනතාව, පරිසරවේදීන් ඇතුළු රටපුරා විවිධ බලවේග ගෙන ගිය විරෝධයේ හරය වූයේ මෙම බලාගාරය ඉදිකිරීමෙන් රටට පාරිසරික හානි සිදුවන බවත් ජන ජීවිතයට විශාල බාධාවක් ඇතිවන බවත්ය. ඒ සියලූ චෝදනා බැහැර කරමින් කිසිදු ගැටලූවක් ඇති නොවන බව පවසමින් ආණ්ඩුව බලහත්කාරී ලෙස නොරොච්චෝලේ

බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කර පළමු අදියර අවසන් කරන ලදී. දැන් එහි දෙවැනි හා තුන්වැනි අදියර ක‍්‍රියාත්මක වෙමින් පවතී. අවසානයේ ඉදිවන විදුලි බලාගාරයේ සමස්ත සැපයුම මෙගා වොට් 900කි. එහෙත් පවතින ආකාරයට ඉඳහිට බිඳවැටෙන, කාර්මික දෝෂ නිසා සති ගණන් වසාදමන විදුලි ජනන යන්ත‍්‍රවලින් ජනතාවට සිදුවන අයහපත මෙන්ම රටේ ආර්ථිකයට එය බලපාන ආකාරය ද කල්පනා කළ යුතුව තිබේ. මෙවැනි විශාල තාප බලාගාරයකින් සිදුවන පරිසර හානිය ගැන විවිධ සංඛ්‍යා ලේඛන පරිසර විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් දැන් ඒ ගැන කතා කරන්නට ප‍්‍රමාද වැඩිය. නමුත් එවැනි පරිසර හානි නොතකා, ඊට පිළියම් යොදන බවට ආණ්ඩුව දෙන පොරොන්දු විශ්වාස කළ ජනතාව වටහා ගන්නේ කුමක්ද? නොරොච්චෝලේ පළමුවැනි අදියර යනු තල්ලූ ස්ටාට් වර්ගයේ විදුලි ජනක ක‍්‍රියාදාමයක් බව දැන් හොඳටම පැහැදිලිය. මෙම විදුලි ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට ආණ්ඩුව විසින් රුපියල් මිලියන 300ක් වැය කළ අතර චීනයේ එක්සිම් බැංකුව හරහා ලැබුණ ණය ප‍්‍රමාණය ඩොලර් මිලියන 455කි. අද වටිනාකම අනුව එය රුපියල් මිලියන 60,000ක් පමණ වේ. මෙවැනි අධික ණයක් ලබාගන්නේ ආණ්ඩුවේ ලොක්කන් විසින් ගෙවීමට නොවේ. මේ රටේ කන්න අඳින්නට නැති දුගියාගේ සිට ධනවතා දක්වා සියලූදෙනා එම ණය මුදල් පොලිය සමග ගෙවිය යුතුය. එවිට ගෙවන මුදල ඊට වඩා බොහෝ වැඩිවනු ඇත. එපමණක් නොව, මෙතරම් අධික ධනයක්, ණය මුදලක් ලෙස රටට ලැබෙන විට එම ගනුදෙනුවට සම්බන්ධ ඉහළම නායකයාගේ සිට පහළම නිලධාරීන් දක්වා කෝටි ගණනින් කොමිස් ලබන බව අමුතුවෙන් කිවයුතු නැත. මේ රටේ පාලකයන් හත්මුතු පරම්පරාවකට හම්බ කරගන්නට ක‍්‍රියාත්මක කළ මෙවැනි ‘සුදු අලි’ව්‍යාපෘති බොහෝ ගණනකි.

මේ වන විට විදුලි බල මණ්ඩලයෙන් පවසන ලූණු බැඳීමේ තත්වයක් කෙසේ වෙතත් විදුලි ජනන යන්ත‍්‍රවල මල බැඳී ඇති බව කම්කරුවන් දැන සිටියේ මෙම ව්‍යාපෘතියේ ආරම්භයේ සිටමය. විශාල මුදලක් වැයකොට එම මල බැඳීමේ තත්වය වසන් කිරීමට ඉදිකිරීම් සිදුකළ චීන සමාගම කටයුතු කරන ලදී. එහෙත් මල බැඳුණු යාන්ත‍්‍රික කොටස් සුද්ද කරන ලද්දේ කම්කරුවන් විසිනි. වසර ගණනාවක් මල බැඳී තිබුණු යාන්ත‍්‍රික කොටස්වල තීන්ත තැවරීමෙන් එහි කල්ගිය තත්වය නව්‍ය තත්වයට පැමිණෙන්නේ නැත. අපට අනාවරණය වී ඇති කරුණු අනුව, මෙම තාප විදුලි ජනන යන්ත‍්‍ර වසර 50ක් පමණ පැරණි ඒවාය. සාමාන්‍යයෙන් මෙවැනි යන්ත‍්‍ර අධික ලෙස රත්වන අතර සිසිල් කිරීමේ යාන්ත‍්‍රික උපක‍්‍රම සහිතව ස්ථාපනය කළ යුතුය. කෙසේ වෙතත් අඩසියවසක් තරම් පැරණි උපකරණ නිසි ලෙස ක‍්‍රියාත්මක නොවන නිසා සිසිලනය දුර්වල වන බව තේරුම් ගන්නට අපහසු නැත. චීනයේ භාවිත කර ඉවත් කළ කොටස් මෙරටට ගෙන්වා ලොකු ලොක්කන් විශාල කොමිස් ලැබූ නමුත් දැන් ඒ පැරණි යන්ත‍්‍ර තාප විදුලි උත්පාදනයට නුසුදුසු බව සනාථ වෙමින් නිතර නිතර යාන්ත‍්‍රික ඇනහිටීම් හා අධික ලෙස රත්වීමේදී ගිනි ගැනීම් හෝ පිපිරීම් සිදු වේ. පසුගිය කාලයේදී නොරොච්චෝලේ ගිනි ගැනීම් හා පිපිරුම් නිසා සේවකයන් පවා අනතුරට මුහුණ දුන් බව අමතක කළ නොහැකිය. සේවක ජීවිත අනතුරට ඇදදමමින් සහ ජනතා මුදල් කොල්ල කමින් ‘සුදු අලියකු’මෙරටට ගෙන්වා දැන් නොරොච්චෝලේ මගින් අපේක්ෂිත විදුලි ධාරිතාව අහිමිවීම ගැන වෙනත් විවිධ හේතු පවසන්නට ඇමැතිවරයා මෙන්ම ඉහළ නිලධාරීන් ඉදිරිපත් වේ. සියල්ල ජනතාවගේ මුදලින් සිදුකර කොමිස් ලබාගත් ගණන්  පවා හෙළි නොකර මේ වියවුල දිගටම පවත්වාගෙන යාමටත් එයින් ඇතිවන බලශක්ති අර්බුදයෙන් නැවත වාසි ලබාගන්නටත් ආණ්ඩුවට හැකියාව ඇත්තේ ජනතාවගෙන් ඇත්ත වසන් කර ඇති නිසාය. ඈත ගම්දනව්වලට මැතිවරණ කාලයේ ගෙනවුත් ඡන්ද කොල්ල කෑමෙන් පසුව වල්වැදෙන ලයිට් කණුවලට කතා කරන්නට නොහැකිය. එසේම නොරොච්චෝලේ ඉදිකිරීම් කළ සේවකයන්ට මිස කොමිස් ගිල්ල නිලධාරීන්ට හෝ දේශපාළුවන්ට ඇත්ත හෙළිකළ නොහැකිය. එහෙත් මෙවැනි තුච්ඡු ගනුදෙනු මගින් ජනතා මුදල් කොල්ල කමින්, පවතින අර්බුදය වවාගෙන කන දේශපාලකයන්ට පාඩමක් ඉගැන්වීමෙන් මෙපිට ජනතාවට බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීම පමණක් නොව, නිදහසේ ජීවත්වීම ද සිහිනයක් වනු ඇත.

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

අගෝස්තු මස 19 දිනය සඳහා කාලගුණ අනාවැකිය

අගෝස්තු මස 19 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා - දිවයින පුරා වැසි සහිත කාලගුණයක් සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් තවමත් පවතී. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ... Read more

Advertisment

advertisment