A+ R A-

උසස් පෙළ විභාගය අවසන් : ප‍්‍රශ්න පත‍්‍ර අවුලට අවසානයක් නැත!

E-mail Print PDF

 

උසස් පෙළ විභාගය ආරම්භ වූ අගෝස්තු  06වැනිදා විභාග කොමසාරිස්වරයාට නිවනක් නැතිවිය. ඔහුගේ කාර්යාල වේලාවෙන් වැඩි කාලයක් ගතවූයේ දුරකථන අමතුම්වලට පිළිතුරු දීමටයි.

එදින උසස් පෙළ විභාගයට තිබුණු සංයුක්ත ගණිතය පළමුවැනි කොටස ප‍්‍රශ්න පත‍්‍රයේ දෝෂ නිසා මේ තත්වය ඇති විය. වහාම විභාග ප‍්‍රශ්න පත‍්‍ර සැකසුම් මණ්ඩල සාමාජිකයන් කැඳවීමට ඔහු තීරණය කළේ ඒ නිසාය. එහෙත් ප‍්‍රමාද වැඩි බව විභාග කොමසාරිස්වරයා දැනගත්තේ සෙසු ප‍්‍රශ්න පත‍්‍රවල ද විවිධ දෝෂ ඇති බව විභාග දෙපාර්තමේන්තුවේ පැවැති හදිසි රැස්වීමට පැමිණි විභාග ප‍්‍රශ්න පත‍්‍ර සැකසුම් මණ්ඩලවලින් කෙරුණු දැනුම්දීම අනුවය.

දැනටමත් මුද්‍රණය කර බෙදාහැර ඇති විභාග ප‍්‍රශ්න පත‍්‍ර අලූතින් මුද්‍රණය කර බෙදීම ප‍්‍රායෝගික නොවන නිසාම සංශෝධන මුද්‍රණය කරවා කඩිනමින් විභාග මධ්‍යස්ථානවලට යැවීමට පියවර ගැනුණේ එයින් පසුවය.

විභාගය යනු අධ්‍යාපනයේ යම් කඩඉම් කාර්යයකි. ඉගෙනගත් දේ ඇගැයීමට ලක්කිරීමත් ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සූදානම් කිරීමත් අරමුණු කරගත් මෙම ශාස්ත‍්‍රීය ක‍්‍රියාකාරකම කළ යුත්තේ පිළිගත් ක‍්‍රමවේදයක් හා විශ්වසනීය භාවයක් සහිතවය. උසස් පෙළ විභාගයෙන් තමන්ගේ අධ්‍යාපනයේ සමත් අසමත්කම් පරීක්ෂා කෙරෙන බවත් එයින් පසු තම අනාගතය තීරණය කෙරෙන බවත් උසස් පෙළ සිසුහු දනිති. දිගු කාලයක් තිස්සේ තරගකාරී ක‍්‍රමයකට උසස් පෙළ විභාගය පැවැතියේ එයින් සීමිත සමතුන් පිරිසක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට තෝරාගනු ලබන බැවිනි. පොදු සමාජය තුළ ද ඇත්තේ මෙම ක‍්‍රමය මගින් රටට උගතුන් බිහිවන බවට විශ්වාසයකි. එහෙත් විශ්වාසයත් අවිශ්වාසයත් අතර ඇත්තේ කෙස් ගසක පරතරයකි. නිතර නිතර විභාග ප‍්‍රශ්න පත‍්‍රවල දෝෂ ඇතිවන විට සහ විභාග ප‍්‍රතිඵල ව්‍යාකූල වන විට විශ්වාසය අවිශ්වාසය බවට පත්වේ. අනෙක් පසින් විශ්වවිද්‍යාල ආචාර්යවරු සියලූ වෘත්තීය කටයුතුවලින් ඉවත්ව සිටිති. ආචාර්ය වැඩ වර්ජනයට ද දැන් මාසයකට අධික කාලයක් ඉක්මවා ගොස් තිබේ. විසඳුමක ඡායා මාත‍්‍රයක් හෝ පෙනෙන මානයක නැති නමුත් සරසවි වසා දමන ලදී.

ශිෂ්‍යයන් 277,671ක් මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අතර ආරම්භක දිනයේම වැරැද්දක් සිදුව තිබුණි. අගෝස්තු 06වැනි දින පැවැති විභාගයට ලබාදුන් සංයුක්ත ගණිතය Iප‍්‍රශ්න පත‍්‍රයේ  අනුකලනය ගණන නිවැරැදි නොවීය.

එදිනම පැවැති ජීව විද්‍යාව Iකොටසේ සතුන්ගේ ජීව විද්‍යාත්මක නාමයන් යොදාගෙන ප‍්‍රශ්න සකස් කර තිබිණි. මෙය ජීව විද්‍යාව ගුරු අත්පොතට පටහැනි වීමකි. ගුරු අත්පොත් 68-69පිටුවල සඳහන් කර ඇත්තේ ජීව විද්‍යාත්මක නාමයන් මතක තබා ගැනීම අනවශ්‍ය බවය. පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුවන්නේ මෙකී ගුරු අත්පොතට අනුව වුවද ප‍්‍රශ්න පත‍්‍ර සකස් වන්නේ එයට ඉඳුරාම වෙනස් ආකාරයකින් වීම විශාල ගැටලූවකි.

අගෝස්තු 09වැනි දින පැවැති සංයුක්ත ගණිතය IIකොටසට නියමිත සංශෝධන මොනරාගල දිස්ත‍්‍රික්කයේ විභාග මධ්‍යස්ථාන වෙත ලබාදී නොතිබුණි. 11වැනි දින පැවැති කෘෂි විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රයේ ද සංශෝධන සිදු කෙරිණි. 13වැනි දින පැවැති භෞතික විද්‍යාව IIප‍්‍රශ්න පත‍්‍රයට අදාළ සංශෝධන කොළඹ රාජකීය විද්‍යාලයට ලබාදී තිබුණේ ද නැත. 14වැනි දිනයේ පැවැත්වූ තර්ක ශාස්ත‍්‍රය Iප‍්‍රශ්න පත‍්‍රයේද සංශෝධනයකි. එතෙකින් නොනැවතී 15වැනි දින පැවැත්වූ රසායන විද්‍යාව Iප‍්‍රශ්න පත‍්‍රයට අදාළව ආවර්තිතා වගුව ශිෂ්‍යයන් වෙත දී තිබුණේ නැත. එසේ ලබා නොදීම ප‍්‍රශ්න පත‍්‍රය සකස් කිරීමේ මණ්ඩලය විසින් ගත් තීරණයකි. එහෙත් ඒ බව විභාගයට පෙනී සිටින ශිෂ්‍යයන්ට දැනුම් දීමක් කර නොතිබිණි.

ප‍්‍රශ්න පත‍්‍රවලට අදාළ දෝෂ සහ සංශෝධන හඳුනා ගැනීම ද අපූරු ලෙස සිදුවූවකි. විභාග කොමසාරිස් ජනරාල්වරයා එහි අවශ්‍යතාව දකින්නේ සංයුක්ත ගණිතය Iප‍්‍රශ්න පත‍්‍රයේ අනුකලනය ගණන දෝෂ සහිතව මුද්‍රණය කර තිබීමත් සමගය. ප‍්‍රශ්න පත‍්‍ර සකස් කිරීමට අදාළ මණ්ඩල නැවත කැඳවා සියලූම ප‍්‍රශ්න පත‍්‍ර පරීක්ෂා කරනු ලැබුවේ ඉන් අනතුරුවය. එතෙක් ඔවුන්ට ප‍්‍රශ්න පත‍්‍ර සම්බන්ධයෙන් වගවීමක් නොතිබුණිද? මුද්‍රණය කරන ලද ප‍්‍රශ්න පත‍්‍ර නැවත පරීක්ෂා කිරීමටවත් ඔවුන්ට කාලයක් නොතිබුණිද? අවසානයේ සියලූ නිරාකරණය කරගැනීම් සිදු කරන්නේ විභාග ශාලාව තුළ ශිෂ්‍යයාගේ කාලය උදුරා ගැනීමෙනි. ඉතින් මෙය සරල කාරණයක් ලෙස ඉවත දැමිය හැකිද?

අවම වශයෙන් ප‍්‍රශ්න පත‍්‍රවල සංශෝධනයන්ට අදාළ දැනුවත් කිරීම් විභාග මධ්‍යස්ථාන වෙත නිසි පරිදි සිදු කළ යුතුව තිබුණි. එය ද සිදු නොවිණි. බොහෝමයක් අවස්ථාවල ශිෂ්‍යයා විභාග ශාලාධිපතිගෙන් ප‍්‍රශ්න පත‍්‍රයේ ගැටලූව විමසන තුරු ඔවුන් ද නිහඬය. මේ, මෙරට නිදහස් අධ්‍යාපනයේ වර්තමාන මුහුණුවරයි. කෙළවරක් නොමැති සංශෝධන හේතුවෙන් ශිෂ්‍යයන්ට විභාගය සම්බන්ධ තැති ගැන්මක් ඇති විය. සමහරු විභාග ශාලාවෙන් එළියට ආවේ මහත් කම්පනයකින් යුතුවය. සමහරු කම්පනය දරාගත නොහැකිව හඬා වැටුණු බව වාර්තා විය.

එහෙත්, විභාග බලධාරීන් මීට ප‍්‍රතිචාර දැක්වූයේ කෙසේද?

‘‘උසස් පෙළ ප‍්‍රශ්න පත‍්‍රවල ඇත්තේ ඉතා සාමාන්‍ය මට්ටමේ වැරැදි. ප‍්‍රශ්න පත‍්‍රයක වචන දොළොස්දහසක් පහළොස්දහසක් අතර සංඛ්‍යාවක් අතරෙන් අකුරක් වචනයක් වැරැදීම සාමාන්‍යයෙන් මිනිසුන් අතින් සිදුවිය හැකි ආකාරයේ වරදක්.’’ මේ, විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර ප‍්‍රශ්න පත‍්‍ර අවුල නිරාකරණය කරන අන්දමයි. විභාග කොමසාරිස් පමණක් නොවේ අධ්‍යාපන ඇමැතිවරුන්ටත් ආණ්ඩුවේ ලොක්කන්ටත් එය සරල ලෙස බැහැර කළ හැකි බව ඔවුන්ගේ ක‍්‍රියාකලාපයෙන් වටහාගත හැකිය.

ආණ්ඩුවේ ලොකු ලොක්කන් නොදන්නවා වුණාට වසර දහතුනකට අධික කාලයක් ගොඩන`ගාගත් සිහින මියැදෙන්නට එක අකුරක, වචනයක වෙනස්වීම හොඳටම ප‍්‍රමාණවත්ය. හරි වැරැද්ද කුමක් වුවත් උසස් පෙළ විභාගය ශිෂ්‍ය ජීවිතය තුළ එතරම්ම බරපතළ කඩඉමකි.

මෙම දෝෂ සහිත වීමේ ගැටලූව නිසා අසාධාරණයට පත් සිසුන්ට සහනයක් ලෙස බලධාරීන් පවසන්නේ එවැනි දෝෂ සහිත ප‍්‍රශ්නවලට පොදුවේ ලකුණු සියල්ල ලබාදෙන බවයි. එහෙත් එය විභාගයට මුහුණ දුන් ශිෂ්‍යයන්ගේ හැකියාව අවමානයට ලක් කිරීමකි. විභාගයක් තුළ විය යුතු ප‍්‍රමිතිය ආරක්ෂා කරගන්නට කටයුතු කරනවාට වඩා පය බරවායට පිටිකර බෙහෙත් බඳින ආකාරයේ විසඳුම් පාලකයන්ගේ පසුම්බියේ තිබේ.

පසුගිය වසරේ ‘’ ලකුණු’පිළිබඳ ගැටලූව ඇති වූයේ ද ඒ ආකාරයේ වගකීම් විරහිත තීරණ නිසාය. අනෙක් අතට මෙවර විභාගයේ ප‍්‍රතිඵලය ද අවදානම් තත්වයට පත්කරමින් ප‍්‍රශ්න පත‍්‍ර සමීක්ෂණ කටයුතු අර්බුදයට ඇදදමා තිබේ. ඊට හේතුව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ඉල්ලීම් ලබා නොදීම නිසා ඔවුන් විභාග ප‍්‍රශ්න පත‍්‍ර ඇගයීම් ක‍්‍රියාවලියට එක් නොවීමට ගත් තීරණයයි. එම ගැටලූවට විසඳුම් ලෙස බලධාරීන් ප‍්‍රකාශ කරන්නේ පාසල් ගුරුවරුන් යොදවා උසස් පෙළ ප‍්‍රශ්න පත‍්‍රවල පිළිතුරු ඇගැයීමට ලක්කරන බවකි. එයින් කියැවෙන්නේ උසස් පෙළ විභාග අවුල දිගටම පවත්වාගෙන යමින් කල් පවත්නා විසඳුම් නොදී පැලැස්තර අලවමින් සමස්ත අධ්‍යාපන ක‍්‍රමයත් විභාග ක‍්‍රමයත් අවුල් කිරීමට පාලක පක්ෂය කටයුතු කරන බවයි. පවතින ගැටලූව බැ?රුම්ව ගෙන විසඳුම් දියයුතු බවට අධ්‍යාපනය භාර බලධාරීන් හෝ ආණ්ඩුවේ බලධාරීන් මැදිහත් නොවන්නේ හේතුවක් ඇතිවය. රජයේ අරමුදල් මත නිදහස් අධ්‍යාපන අයිතිය ක‍්‍රියාත්මක කිරීම වෙනුවට පෞද්ගලිකකරණය වෙත ගෙනයාමට පාලකයන්ට අවශ්‍යව තිබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සාධාරණ ඉල්ලීම් නොදී ප‍්‍රශ්නය දිග්ගැස්වීමටත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ඉල්ලීම් පමණක් නොව අධ්‍යාපන සේවක ඉල්ලීම් ද නොසලකා හැරීමටත් ආණ්ඩුව කටයුතු කළ බව රහසක් නොවේ. දැන් සරසවි සියල්ල දින නොමැතිව වසාදමා ඇත.

දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කරන ලෙස ශිෂ්‍යයන්, ආචාර්යවරුන්, ශාස්ත‍්‍රඥයන් මෙන්ම රටේ ප‍්‍රගතිශීලී දේශපාලන පක්ෂ ද හඬ න`ගමින් සිටින විට ආණ්ඩුව කළේ සරසවි වසාදැමීමය. මේ නිසා ආණ්ඩුව උත්සාහ කරන්නේ ප‍්‍රතිපාදන කප්පාදුව මෙන්ම අධ්‍යාපන ගැටලූ ද තව දුරටත් පවත්වාගෙන යමින් පෞද්ගලික අධ්‍යාපනයට ජනතාවගේ වැඩි අවධානයක් යොමුකර අධ්‍යාපන වෙළෙඳපොළ පුළුල් කිරීමට බව පැහැදිලිය.

එම තත්වය පරාජය කිරීමටත් නිදහස් අධ්‍යාපනය සඳහා පවතින සීමිත ඉඩකඩ ආරක්ෂා කරගෙන අනාගත පරපුර වෙත සැබෑ නිදහස් අධ්‍යාපනයක් ලබාදීමටත් පෙරමුණ ගැනීම ශිෂ්‍යයන්, ගුරුවරුන්, මව්පියන් ඇතුළු මුළුමහත් සමාජයේම වගකීමකි.

 

ආශිකා බ‍්‍රාහ්මණ

This content has been locked. You can no longer post any comment.

පුවත්

Advertisment

advertisment