Latest news
A+ R A-

ආණ්ඩුවේ හතුරා සහ ජනතාවගේ ඉරණම

E-mail Print PDF

 

මේ සතියේ දේශපාලන ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන සිදුවීම් කිහිපයක් වාර්තා විය. එකක් ජපන් සාම නියෝජිත යසුසි අකාශි ලංකාවට එන පුවතකි. මීට පෙර සෑම අවස්ථාවකදීම පාහේ ඔහු ශ‍්‍රී ලංකාවට පැමිණියේ අධිරාජ්‍යවාදීන්ගේ උපාය මාර්ගයකට අනුව ලංකාවේ ආණ්ඩුව හැසිරවීමට අවශ්‍ය වූ අවස්ථාවන්හිදීය. 

එනිසා මෙවර ඔහුගේ පැමිණීම ද බොහෝදෙනාගේ සැකයට හා කතා බහට ලක්වී ඇත. දෙවැනි සිදුවීම වන්නේ ලංකාව මානව හිමිකම් ක‍්‍රියාධරයන්ට හිරිහැර කරන රටක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රකාශ කිරීමයි. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ වගකීමෙන් නිකුත් කරන ලද වාර්තාවක මානව හිමිකම් ක‍්‍රියාධරයන්ට එරෙහි ක‍්‍රියා පිළිබඳව ලංකාවේ ආණ්ඩුවට බරපතළ ලෙස චෝදනා කර තිබිණි. මේ සිදුවීම් දෙක දෙස පමණක් බලන විට ද පෙනී යන්නේ ජාත්‍යන්තර දේශපාලනය තුළ ආණ්ඩුවේ ඉරණම එතරම් සුබ නැති බවය. මේ වසර අවසානයේදී පැවැත්වෙන මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව සඳහා අධිරාජ්‍යවාදී රටවල් සූදානම් වෙමින් සිටී. ආණ්ඩුව ඒ සඳහා සූදානම් වන්නේ ලෝකයටම විහිළු සපයමිනි.

ආණ්ඩුවේ උත්තරය

රාජපක්ෂ රෙජීමයට ලංකාව තුළ ආසන්න සතුරකු හෝ ප‍්‍රතිවාදියකු පෙනෙන්නට නැත. රටේ නිල විපක්ෂයට අයත් දේශපාලන පක්ෂ මෙන්ම, සටන්කාමී බලවේග ද දුබල වී ඇත. එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් ආණ්ඩුවට අභියෝග කිරීම තබා සිය පැවැත්ම ආරක්ෂා කරගැනීම පවා කළ නොහැකි තරමට දුර්වල වී ඇත. මැතිවරණ වේදිකාව තුළ ආණ්ඩුවත් සමග කේවල් කළ හැකි විකල්පයක් නොමැත. මැතිවරණය ආණ්ඩුවට තනි අශ්වයාගේ තරගයක් බවට පත්වී ඇත. සටන්කාමී බලවේග ද ආණ්ඩුවේ මර්දනය හමුවේ සැලකිය යුතු මට්ටමකින් පසුබානා බව පෙනෙන්නට තිබේ. විදුලි බල මණ්ඩලයේ සේවකයන් කළ වැඩ වර්ජනයට ආණ්ඩුව ප‍්‍රතිචාර දැක්වූයේ ජේ.ආර්. පන්නයේ ක‍්‍රියාමාර්ගයකිනි. සේවයට වාර්තා නොකරන සේවකයන් වෙනුවට වෙනත් අය බඳවා ගන්නා බවට ආණ්ඩුව කළ ප‍්‍රකාශයට කම්කරු ක්ෂේත‍්‍රයෙන්ම පවා බලගතු විරෝධයක් පැන නැඟුණේ නැත. විදුලි බල සටන තනිවීම විසින් පෙන්නුම් කරන්නේ කම්කරුවන් ඇතුළු පන්ති බලවේග මේ මොහොතේ මුහුණ පා ඇති අභියෝගයේ ප‍්‍රමාණයයි. ඒ අතර අගෝස්තු 21වැනිදා වෛද්‍යපීඨ හැර විශ්වවිද්‍යාලවල අනෙකුත් සියලූ පීඨ වසාදැමීමට ආණ්ඩුව තීරණය කළේය. ඒ අගෝස්තු 23වැනිදා පැවැත්වෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ රැලියට ශිෂ්‍ය සහභාගීත්වය අවම කිරීමේ අරමුණ පෙරදැරිව විය හැක. මේ අයුරින් පැන නඟින අරගල පවා මර්දනය කිරීමේ හෝ ඒවා හුදෙකලා කිරීමේ උපක‍්‍රමයක ආණ්ඩුව සිටින බව පෙනේ.

ආණ්ඩුව සිය ප‍්‍රධාන සතුරා ලෙස ජාත්‍යන්තර සාධකය වටහා ගනිමින් එම ප‍්‍රතිවිරෝධය සමනය කිරීමේ ක‍්‍රියාමාර්ග තෝරන්නේ මෙවැනි පරිසරයකය. ජාත්‍යන්තර දේශපාලනය ආණ්ඩුව මුහුණ පාන ප‍්‍රධාන අභියෝගය බවට පත්වීමට පළමු හේතුව ජනතා බලවේගයන්ගේ නිද්‍රාශීලීත්වයයි. එනිසා ආණ්ඩුවට සිය ප‍්‍රතිචාර වැඩපිළිවෙළ ද වඩාත් පහසු වී ඇත. ආණ්ඩුව ජාත්‍යන්තර දේශපාලන තෙරපුමට පිළිතුරු සොයන්නේ සමස්ත මැතිවරණ සිතියමම මුල සිට යළි ඇඳීමෙනි. මේ වන විට කැඳවා ඇති මැතිවරණ ද ඊට කදිම නිදසුනකි.

සබරගමුව, උතුරුමැද හා නැෙඟනහිර පළාත් සභා මැතිවරණවලදී ආණ්ඩුව ඉහළට ඔසවන්නේ ප‍්‍රාදේශීය සංවර්ධනය මුල්කරගත් සාම්ප‍්‍රදායික මැතිවරණ දේශපාලනය නොවේ. ජිනීවා දෙසින් එන බිල්ලකු මවන ආණ්ඩුවේ ප‍්‍රචාරකයෝ එම බිල්ලා පරාජය කිරීම පිණිස ආණ්ඩුව තවත් ශක්තිමත් කරන ලෙස ඉල්ලයි. මෙවර සන්ධානයට ඡුන්දය දී අධිරාජ්‍යවාදීන්ට සංඥාවක් ලබාදෙන ලෙස ඉල්ලයි. ජාත්‍යන්තර දේශපාලන තෙරපුමට ආණ්ඩුවේ එක් උත්තරයක් වී ඇත්තේ මැතිවරණයයි.

ආණ්ඩුවේ අනෙක් උත්තරය විහිළු කිරීමයි. ලෝකයම තමන් සමග සිටින බවට මවා පෙන්වීම සඳහා මේ දිනවල විවිධ විදේශීය රාජ්‍ය නායක සංචාර වැලක් සංවිධානය කර ඇත. මුලින් ස්වාසිලන්තයේ නායකයා පැමිණි අතර පසුව සීෂෙල්ස් දූපත්වල නායකයා පැමිණියේය. ඒ අතර ආණ්ඩුවේ නියෝජිත පිරිසක් දකුණු අප‍්‍රිකාව බලා ගොස් ඇත. පදනමින් ගත් කල ආණ්ඩුව කරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ඡුන්ද එකතු කිරීම විය හැක. එහෙත් රාජ්‍ය මාධ්‍යවල රූකඩ විචාරකයන් පැවසීමට උත්සාහ කරන්නේ විවිධ රටවල රාජ්‍ය නායකයන් ජනාධිපතිවරයා සමග සිටින බවය. එය විහිළුවක් වන්නේ ලෝක දේශපාලනය ස්වාසිලන්තය හෝ සීෂෙල්ස් මත රඳා නොපවතින බව හැමකෙනාම දන්නා නිසාය.

ජනතාවගේ තත්වය

මේ සියල්ල මැද ජනතාව සිටින්නේ හෙම්බත් වුණු, විඩා වැටුණු තත්වයකය. එක් පැත්තකින් මුළු සමාජයම ඉහළ යන ජීවන වියදමෙන්, දිනෙන් දින උර මත පැටවෙන බදු බරින් පීඩාවට පත්වී ඇත. ඒ අතර කම්කරුවන්ට වෘත්තීය ප‍්‍රශ්න, ආයතනික ප‍්‍රශ්න දෝරෙ ගලා යමින් තිබේ. ගොවියන්ට අවම වශයෙන් ගොවිතැන ආරම්භ කිරීමට ජලයවත් නැත. අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය පිරිහීමත් එම ක්ෂේත‍්‍රවල සමාජ සුබසාධන කප්පාදු වීමත් නිසා පීඩාව දෙගුණ තෙගුණ වී ඇත. පීඩාවට ප‍්‍රතිචාර දැක්වීමට ගන්නා පළමු උත්සාහයේදීම හමුවන්නේ සුදු වෑන්, මරණ තර්ජන, පැහැර ගැනීම්, අතුරුදන් කිරීම්, වධහිංසාවන් හා පළිගැනීම්ය. මේ තත්වය  තුළ සමාජය හිරිවැටීමකට ලක්ව ඇත.

පීඩාවට වඩා බරපතළ වන්නේ එම පීඩාව සඳහා ආසන්නතම විකල්පයක් නොපෙනීමෙන් හටගන්නා පීඩනයයි. ගෙවුණු වසර 65ක කාලය තුළ දේශපාලනය කළ සෑම ව්‍යාපාරයක්ම පාහේ කළේ ජනතාව

රැවටීමයි. ඒ රැවටීම හරහා සිය බලය වැඩිකර ගැනීමට පාරක් කපා ගැනීමයි. දිගින් දිගටම රැවටීම නිසා ජනතාව හෙම්බත් වී ඇත. විඩා වැටී ඇත. නිල විපක්ෂයේ පක්ෂ ගැන ද කිසිදු විශ්වාසයක් හෝ බලාපොරොත්තුවක් තබාගත නොහැක්කේ මේ රැවටීමේ ඉතිහාසය තුළ ඔවුන් ද නියෝජනය වන බැවිනි. මේ ඉතිහාසය තුළ ජනතාව ද උදාසීනත්වයට හා නරුමවාදයට ඇදවැටී ඇත. එක් අතකින් දේශපාලන මතයක් දරාසිටීමට හෝ එම මතය වෙනුවෙන් අරගල කිරීමට අවශ්‍ය ධෛර්යය බිඳී ගොස් ඇත. අනෙක් අතින් නරුමවාදය හිස ඔසවා ඇත. දේශපාලන පක්ෂවල නායකයන් දේශපාලනයේ නාමයෙන් කරන්නේ ඉසුරුමත් වීම හා බලවත් වීම සඳහා මාර්ගයක් පාදා ගැනීම පමණක් බව අත්දැකීමෙන් දන්නා ජනතාව තමන්ට ද දේශපාලනය හරහා කළ හැක්කේ ටකරං තහඩුවක්, රැකියාවක්, ගමට පාරක්, බෝක්කුවක් දිනා ගැනීම පමණක් යැයි සිතති. ඒ අනුව නිර්මාණය වී ඇත්තේ තහඩුවක්, පාරක්, බෝක්කුවක්, ලයිට් කණුවක් පෙන්වා  ඕනෑම අකටයුත්තක් වෙනුවෙන්,  ඕනෑම අගතියක් වෙනුවෙන් දක්කාගෙන යා හැකි ජනතාවකි. එනිසාම ආණ්ඩුවට මැතිවරණ හරහාත් මාධ්‍ය භාවිත කොට මවනු ලබන ව්‍යාජ සංවර්ධන සිහින හරහාත් ජාතිවාදය වැපිරවීම හරහාත් සමාජය හැසිරවීමේ හැකියාව ලැබී ඇත.

ගැලවීමේ මාර්ගය ඇත්තේ දේශපාලන විඥානය හා දේශපාලන ක‍්‍රියාකාරීත්වය ඉහළ නැංවීම තුළ පමණි. එම කි‍්‍රයාවලියේ යතුර අත්පත් කරගත හැක්කේ ආණ්ඩුව මෙන්ම ආණ්ඩුවේ ‘සතුරා’ ද එක මිටට ගෙන පරාජය කිරීම තුළය. ලංකාව ඉදිරියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුර දේවතාව ලෙස පෙනී සිටින අධිරාජ්‍යවාදීන් තමන්ගේ රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ හොඳම නිදසුන විකිලීක්ස් සංස්කාරක ජුලියන් අසාන්ජ්ගේ සිද්ධියයි. අපේ රටවල ජනතාවට දේශපාලන රැකවරණ දෙන බවට පුරසාරම් දොඩන බි‍්‍රතාන්‍යය, ඉක්වදෝරය විසින් අසාන්ජ්ට දේශපාලන රැකවරණ ලබාදුන් පසු ද ඔහුට බි‍්‍රතාන්‍යයෙන් පිටවීමට ඉඩ නොදෙයි. අධිරාජ්‍යවාදී රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සැබෑ මුහුණුවර එයයි. එබැවින් කළ යුතුව ඇත්තේ රටේ ආඥාදායකත්වය මෙන්ම අධිරාජ්‍යවාදය ද එකවර පරාජය කිරීමයි. එය දේශපාලන කාර්යයකි. එබැවින් ගැලවීම සඳහා සමාජයට ඇති මාවත දේශපාලනයයි.

එය කවර හෝ කණ්ඩායමකට පැවරිය යුතු කොන්ත‍්‍රාත්තුවක් නොව හැදෑරිය යුතු, අභ්‍යාස කළ යුතු විෂයයක් ලෙස සමස්ත සමාජය භාර ගන්නා මොහොතක මේ ඛේදවාචකයට තිත තැබිය හැකිවනු ඇත. එසේ නොකරන තාක් කල් තෝරා ගැනීමට ඇත්තේ මාර්ග දෙකක් පමණි. ඒ ආණ්ඩුව හෝ ආණ්ඩුවේ හතුරා වන අධිරාජ්‍යවාදී රටවල්ය. ඒ දෙපිරිසම ජනතාවගේ සතුරන්ය. දේශපාලනය අවශ්‍ය වන්නේ එය තේරුම් ගැනීමටය.

 

දර්ශි

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

අගෝස්තු මස 19 දිනය සඳහා කාලගුණ අනාවැකිය

අගෝස්තු මස 19 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා - දිවයින පුරා වැසි සහිත කාලගුණයක් සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් තවමත් පවතී. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ... Read more

Advertisment

advertisment