ඇපල් සමාගම මගින් පේටන්ට් බලපත ලබාගෙන තිබූ තිරයට තට්ටු කරමින් විශාලනය කිරීම ඇතුළු සැලසුම් 24ක් භාවිතා කිරීම පිලිබද චෝදනාඑල්ල කරමින් ඔවුන් විසින් සැම්සුන් සමාගමට පැවරෑ නඩුවේ තීන්දුව දුන් විනිශ්චය මණ්ඩලය ඇපල් සමාගම වෙත ඇ.ඩො. බිලියනයක් ගෙවන ලෙස සැම්සුන් සමාගමට දන්වන ලදී.
2011 වසරේ අප්‍රේල් මස ඇපල් සමාගම චෝදනා 24ක් දක්වා ඩො.බි. 2.5ක් ඉල්ලා නඩු පැවරූ විට පිලිතුරු ලෙස සැම්සුන් සමාගම ඩො.මි. 399ක වන්දියක් ඉල්ලා නඩු පැවරීය. කෙසේ වෙතත් ඇපල් සමාගමේ චෝදනා 24න් ඇතැම් චෝදනා නිශ්ප්‍රභ වූ අතර මුදල බිලියනය දක්වා අඩු විය.
ඇපල් සමාගම පවසන්නේ තමන්ගේ තාක්ෂණය භාවිතාකරමින් සැම්සුන් සමාගම නිශ්පාදනය කළ ජංගම දුරකථන හා ටැබ්ලට් පරිඝණක මිලියන 22.7ක් දැනට විකුණා ඇති බවවය. ඔවුන් උත්සාහ කරන්නේ සියළු සැම්සුන් නිශ්පාදන ඇමරිකානු වෙළඳපොළෙන් ඉවත් කිරීමටත් සිය මුදල ඩො.බි. 3 දක්වා වැඩි කරගැනීමටත්ය.
නමුත් සැම්සුන් සමාගම පවසන්නේ තමන් පේටන්ට් නීති කඩ නොකළ බවත් ඇපල් සමාගම තමන්ගේ කියා භාවිතා කරන ඇතැම් නිශ්පාදන ඊට පෙර වෙනත් සමාගම් විසින් නිශ්පාදනය කළ බවත්ය.
අපට තිබෙන ගැටළුව වන්නේ ඕනෑම නිශ්පාදනයක් හෝ තාක්ෂණ දැණුමක් තමනගේ කියා අයිති කරගැනීමට සමාගමකට සදාචාරයක් තිබේද යන්නයි. දැනට පවතින නිශ්පාදන සඳහා භාවිතා කරන සියළුම තාක්ෂණයන් පරම්පරා දහස් ගණනක් පුරා කෝටි ගණනක මිනිසුන්ගේ ශ්‍රමයේ ඵලයන් වීම ඊට හේතුවයි. ගල් පොරවත් දුන්න සහ ඊතලයත් රෝදයත් කප්පියත් යකඩ භාවිතයත් ගිනි අවියත් විද්‍යුතය භාවිතයත් න්‍යෂ්ඨික තාක්ෂණයත් කෝටිගණනක මිනිසුන්ගේ ශ්‍රමයේ සහ අත්දැකීම්වල ප්‍රතිඵලයන්ය. ඒවායේ යම් යම් සංකලණයන් තමන්ගේ කරගැනීමට සමාගමකට නීතියමගින් අවසර දී තිබුණද එහි සැබෑ සත්‍ය වසන් කිරීමට කිසිඳු සමාගමකට නොහැකිය.








