Latest news
A+ R A-

ආක‍්‍රමණික බටපලා ශාකය තවම නිදැල්ලේ

E-mail Print PDF

 

ආක‍්‍රමණික ජීවී විශේෂ (Invasive Species) ව්‍යාප්තිය අද වන විට ජෛව විවිධත්ව හායනයට ප‍්‍රධාන හේතු කාරක අතුරින් එකක් බවට පත් ව තිබේ. ආක‍්‍රමණික ජීවියෙකු ලෙස හඳුන්වන්නේ යම් ස්වාභාවික හෝ අර්ධ ස්වාභාවික පරිසර පද්ධතියකට හෝ වාසස්ථානයකට බාහිරින් පැමිණ එම පරිසරයේ ස්ථිර වූ පසු අධික ලෙස ගහනය වර්ධනය කර ගනිමින් දේශීය ජෛව විවිධත්වයට නැතහොත් එම ස්වාභාවික පරිසර පද්ධතියේ ජීවත් වන ජීවීන්ට හානි පමුණුවන බාහිරින් පැමිණි ජීවීන් ය. 

මෙම ජීවීන් බොහෝ විට එම පරිසර පද්ධතියට ආගන්තුක (වෙනත් රටකින් පැමිණි - Aliens) ජීවීන් වන අතර කලාතුරකින් අවස්ථාවක ස්වාභාවික පරිසර පද්ධතියක යම් භෞතික තත්ත්වයන් වෙනස් වීම මත දේශීය ජීවියෙකු ද ආක‍්‍රමණික විශේෂයක් බවට පරිවර්ථනය විය හැකි ය.

ලංකාවේ ස්වාභාවික පරිසර පද්ධති අතුරින් ආක‍්‍රමණික ජීවීන්ගේ බලපෑමට වැඩි වශයෙන් ගොදුරු වී ඇත්තේ ජලජ පරිසරයන් ය. මෙම ලිපියෙහි මතු විස්තර වන්නේ ද ජලජ පරිසර පද්ධතිවලට බොහෝ තර්ජන ඇති කළ හැකි ආක‍්‍රමණික ශාකයක් වන බටපලා හෙවත් වල් මුගුණුවැන්න ලෙස ප‍්‍රචලිත වී ඇති ශාකය පිළිබඳවය. මෙම ශාකය ලංකාවට හඳුන්වා දී ඇත්තේ  ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් විසින් යැයි විශ්වාස කෙරේ. නමුත් මෙය තහවුරු කිරීමට නිවැරදි දත්ත නොමැති වුවත්  ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් මෙම ශාකය මුඟුණුවැන්නා ශාකයට සමාන නිසා පලා එළවළුවක් ලෙස ආහාර ගන්නා බව වාර්තා වේ. ඉංග‍්‍රීසියෙන් ඇලිගේටර් වීඞ් (Alligator weed) ලෙසත් විද්‍යාත්මකව ඔල්ටර්නැන්තෙරා ෆිලොක්සිරොයිඩස් (Alternanthera philoxeroides)  ලෙස ත් මෙම ශාකය හැඳින්වේ. ඇමරැන්තාසියේ (Amaranthaceae) කුලයට අයත් වන මෙම ශාකයේ නිජබිම බ‍්‍රසීලය හා ආර්ජන්ටිනාව හරහා ගලා යන පරානා නමැති ගංඟාව ආශ‍්‍රිත ප‍්‍රදේශය යි.   ඉංග‍්‍රීසියෙන් ඇලිගේටර් වීඞ් යන නාමය මෙම ශාකයට ලැබීමට හේතු දෙකක් බලපා ඇත. එකක් නම් ශාකයේ පත‍්‍ර ජලයෙහි වර්ධනය වන විට කිඹුලෙකුගේ හිසේ ස්වභාවයෙන් යුක්ත වීම යි. අනෙක නම් කිඹුලන් වෙසෙන ජලාශ වල පැතිර තිබීම යි.

දැනට වසර කිහිපයකට ඉහත මුඟුණුවැන්නා බීතිකාවක් ලෙස මෙම ශාකය පිළිබඳ වැරදි මතවාද පැතිර ගියේ ය. මෙම ශාකය ආහාරයට ගැනීමෙන් මිනිස් සිරුරට හානි කර වූ බවක් වාර්තා වී නොතිබුණ ද ඒ පිළිබඳව කිසිඳු පර්යේෂණයක් සිදු නොකළ කෘෂිකර්ම අමාත්‍යංශය, තඹ, කැඞ්මියම් හා මර්කරි වැනි බැර ලෝහ වර්ග අවශෝෂණයකර ගන්නා මිනිස් සිරුරට විෂ ශාකයක් ලෙස ප‍්‍රකාශ කරමින් ලංකාව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළේ ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස මුඟුණුවැන්නා ආහාරයට ගැනීම ද ජනතාව විසින් අත්හළේ ය. එම වැරදි මතවාද නැවත වරක් සෞඛ්‍ය අමාත්‍යංශය හරහා කරලියට පැමිණෙමින් තිබෙන බවක් පෙනෙන්නට තිබේ.

සමහරුන් මෙය වල් මුඟුණුවැන්නා විශේෂයක් ලෙස හැඳින්වූ අතර මෙම ශාකයේ ඉංග‍්‍රීසි නාමය හේතුවෙන් එය කිඹුල්වැන්නා ලෙස ද හැඳින්විය. කෙසේ වුව ද ආහාර පිණිස ගැනෙන පලා වර්ගයක් ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග‍්‍රහය ඇති ව සමහර ප‍්‍රදේශවල මෙම ශාකය බහුල වශයෙන් වගා කෙරින.

මෙය මුඟුණුවැන්නා ශාකයට සමානකම් පෙන්වන අතර වෙන් කර හඳුනා ගැනීමට ලක්ෂණ කිහිපයක් වැදගත් වේ. මෙහි තද කොළ පැහැ මාංසලමය පත‍්‍ර පිහිට යි. පත‍්‍ර මතුපිට දිලිසෙන සුළු ඉටිමය ස්වභාවයක් ගනී. ශාක කඳ කුහර සහිතය. (මේ හේතුව නිසා සමහරුන් මෙම ශාකය බට පලා ලෙස හඳුන්වයි.) අග‍්‍රස්ථයෙන් හෝ ඊට පහළින් ඇති පත‍්‍ර වෘන්තයක් අසළින් පැන නඟින තරමක් දිගු නටුවක සුදු පැහැ තරමක් ලොකු පුෂ්ප මංජරියක් හට ගනී. මේ ලක්ෂණ සැළකිල්ලට ගැනීමෙන් දේශීය මුඟුණුවැන්නා ශාකයෙන් බට පලා ශාකය වෙන් කර හඳුනාගත හැකි ය.

සත්‍ය වශයෙන්ම මෙය සුවිශේෂී විෂ ශාකයක් නොවන අතර ප‍්‍රධාන තර්ජන එල්ල වන්නේ ජලජ පරිසර පද්ධතිවලට ය.  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් හි ස්වාභාවික සම්පත් හා පරිසර විද්‍යා දෙපාර්තමේන්තුවේ ජලජ වල් පැළ පිළිබඳශි‍්‍ර ලාංකික පර්යේෂණ නිලධාරියකු වන ආචාර්ය ලලිත් ගුණසේකර මහතා බට පලා ශාකය පිළිබඳව කර ඇති පර්යේෂණවල තොරතුරු වලට අනුව මේ බව තහවුරු වී ඇත. ඔහු සදහන් කරන පරිදි වෙනත් පලා වර්ග මෙන්ම බැර ලෝහ මෙම ශාකය මගින් ද අවශෝෂණය කර තැන්පත් කරනමුත් (බැර ලෝහ සහිත පසක වැඩෙනශාක පමණක්) මිනිස් සිරුරට අහිතකර වන මට්ටමකින් එක් රැස් නොවෙති. ශාකයේ තැන්පත් කරන ඔක්සලේට්ප‍්‍රමාණය අධික වුවත් මිනිස් සිරුරට හානි කරන මට්ටමකට පත් නොවේ. මේ අනුව අප මෙම ශාකය පිළිබඳව බියවිය යුත්තේ සෞඛ්‍යයට හානි පමුණුවන මිථ්‍යාව නිසා නොව ආක‍්‍රමණික ශාකයක් වන නිසාය.

කෘෂිකර්ම අමාත්‍යංශය වසර කිහිපයකට ඉහත දී කරුණු හරිහැටි සොයා බැලීමකින් හෝ පර්යේෂණ සිදු කිරීමකින් තොරව විෂ මුඟුණුවැන්න භීතිකාවක් ඇති කළ ද මෙම ශාකය ලංකාවෙන් තුරන් කිරීමට තවමත් නිවැරදික‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.අද වන විට බෙල්ලන්විල - අත්තිඩිය අභය භූමිය තුළ හා ඉන් පිටත බොල්ගොඩ ඇළ දෙපස ඉවුරු ආසන්නයේමෙන්ම නුවරඑළිය නගරයේ තෙත් බිම් ආශි‍්‍රතව බොහෝ ස්ථානවල ඉතා සරුවට මෙම ශාකය ව්‍යාප්ත වී ඇත. අඩි 1 - 11/2ක් පමණ උස ශාක ලෙස ඝන ඇතිරිල්ලක් වශයෙන් බොහෝ ස්ථානවල පැතිරී ඇති අවස්ථා දැක ගන්නටලැබී තිබේ. ඇළ ඉවුරු (ජලයට ආසන්න) සහ ගොඩබිමට වන්නට ව්‍යාප්ත වී ඇති ශාකවල පැහැදිලි වෙනස්කම්දැකගන්නට ලැබේ. ඇළ ඉවුරට වන්නට ඇති ශාකවල කඳ 5mmපමණ මහත් වන අතර එහි කුහරයේ විශ්කම්භය3mmපමණ වේ. නමුත් ගොඩබිමට වන්නට පිහිටි ශාක වල කඳ එතරම් මහත නොවන අතර කුහරය කුඩාඇහිරුණු ස්වභාවයකින් යුක්ත වේ. මෙම ශාක වල අග‍්‍රස්ථයෙන් පැන නඟින සෙ.මී. 01 - සෙ.මී. 3.5ත් අතර දිගනටුවක පුෂ්පිකා 29ත් - 38ත් අතර ප‍්‍රමාණයකින් සැදුම්ලත් සුදු පැහැ පුෂ්ප මංජරී හට ගනී. අග‍්‍රස්ථයෙන් පමණක්නොව සමහර ශාකවල අග‍්‍රස්ථයට පහළ පත‍්‍ර වෘන්තයක් අසළින් පැන නඟින සෙ.මී. 03ක් පමණ දිගු නටුවක මල්හට ගනී.

ජලය මගින් ප‍්‍රධාන වශයෙන් ව්‍යාප්තිය සිදු වන මෙම ශාකයේ ජලයේ පාවෙන දඬු කැබලි ගසාගෙන ගොස් ඇළඉවුරක රැඳුණු විට එම ස්ථානයේ ස්ථිර වී වේගයෙන් වර්ධනය වේ. ඉන් පසු මුල් හා කද මගින් නව ශාක වර්ධනයකරමින් ප‍්‍රදේශය ආක‍්‍රමණය කරයි. මෙම ශාකයෙන් වැසී ඇති ප‍්‍රදේශයක් සැළකූ විට එම ස්ථානයේ අනෙක් ශාකඅභිබවමින් මෙම ශාකය වර්ධනය වී ඇති අයුරු දැක ගත හැකිය.

අද වන විට මෙම ශාකය ඇමෙරිකාව, ඉන්දියාව, තායිලන්තය, චීනය, ඉන්දුනීසියාව, බුරුමය, පිලිපීනය,නවසීලන්තය,  ඕස්ටේ‍්‍රලියාව ප‍්‍රධාන රටවල් 30ක පමණ ආක‍්‍රමණික ශාකයක් ලෙස පැතිර පවතී. මේ ශාකය නිසාචීනයේ වී අස්වැන්නෙන් 45%ක් පමණ අඩු වන බවට තොරතුරු වාර්තා වේ.  ඕස්ටේ‍්‍රලියාවේ සමහර ජලාශ ආශ‍්‍රිතව දරුණු ආක‍්‍රමණිකයෙකු ලෙස ව්‍යාප්ත වී ඇති බව ද දැනගන්නට ලැබී තිබේ. තව ද ලෝකයේ හානිකර වල්පැළෑටි දහයෙන් එකක් බවට ද මෙම ශාකය පත්වී ඇත.

මෙසේ තිබිය දී ත් බට පලා ශාකය ලංකාවෙන් තුරන් කිරීමට නිසි ක‍්‍රියාමාර්ග නොගැනීම පුදුමයට කරුණකි.බොල්ගොඩ ඇළ දෙපස පමණක් නොව නුවරඑළිය නගරයේ බොහෝ තෙත් බිම් ආශ‍්‍රිතව මෙම ශාකය බහුල ලෙසව්‍යාප්ත වී ඇත. වැලිමඩ, නුවරඑළිය හා කොළඹ ආශ‍්‍රිත බොහෝ පොලවල් වල මෙම ශාකය මුඟුණුවැන්නා ලෙසවිකිණීමට තිබෙන අවස්ථා බහුලව දැක ගන්නට ලැබී තිබේ. මීට අමතරව තව බොහෝ ස්ථානවල මෙම ශාකයව්‍යාප්ත වී තිබිය හැකිය. යම් දිනක එක් වරම ආක‍්‍රමණිකයෙකු ලෙස හිස එස වීමට ඉඩ ඇති බැවින් මේ ශාකයේ ව්‍යාප්තිය පිළිබඳව සොයා බැලීමත් එම ශාකය විනාශ කර දැමීමත් කළ යුතුව ඇත. නැතහොත් ජල මාර්ග ආශ‍්‍රිතවව්‍යාප්ත වීමෙන් ජපන් ජබර ශාකයට නොදෙවෙනි හානියක් මෙම ශාකය නිසා සිදු විය හැකිය.

 

සජීව චාමිකර

පරිසර සංරක්ෂණ භාරය

 

Comments

 
0 # රවී 2012-08-29 19:13
පහත උපුටා ඇති වැකිය නිවැරදි කළ යුතුයයි හැගේ. චීනයේ වී අස්වැන්නෙන් 45% අඩුවනහොත් මොනවාවේවිද? සිතා බලන්න.
"මේ ශාකය නිසාචීනයේ වී අස්වැන්නෙන් 45%ක් පමණ අඩු වන බවට තොරතුරු වාර්තා වේ."
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 27 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 27 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පළාතට... Read more

Advertisment

advertisment