ආණ්ඩුව විසින් සිදුකරනු ලබන නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සහ පැහැරගැනීම්වලට එරෙහිව අද (29) කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී උද්ඝෝෂණයක් පැවැත්විණි. ප්‍රදේශවාසින්ගේද සහභාගීත්වය ඇතිව ජනඅරගල ව්‍යාපාරය විසින් එය සංවිධානය කර තිබිණි.
එහිදී අදහස් දැක්වූ ජනඅරගල ව්‍යාපාරයේ දේශපාලක කටයුතු ලේකම් පුබුදු ජයගොඩ මහතා,
මෑත වසර 3 ඇතුලත පමණක් මාලිගාවත්ත ප්‍රදේශයේ තරුණයින් 47 දෙනෙකු පමණ අතුරුදහන් වෙලා තිබෙනවා. ඉන් එක් අයෙකුගේ පමණක් මළසිරිසක් හමුවුණා. ඉතුරු අය ගැන තොරතුරුනැහැ. ප්‍රදේශයට නාදුනන මැර කල්ලි ඇවිල්ලා මිනිසුන් මරනවා. ලගදීත් ජුම්මා මුස්ලිම් පල්ලිය ලග දෙන්නෙක් මරල දාලා තියනවා.
එසේ තිබියදී පොලිසියෙන් ඇවිල්ලා බොරු චෝදනා දමා අත්අඩංගුවට ගැනීම් සිදුකරනවා. මාලිගාවත්තේ නිවාසවලට පැනලා එල්.ටී.ටී.ඊ. සැකකරුවන් හොයනවා කියා දිගින් දිගටම ජනතාවට කරදර සිදුකරනවා.
මෙය ඉතා බරපතළ තත්ත්වයක්. ප්‍ර දේශයේ තරුණයින්ගේ ජීවිත දැඩි අනාරක්ෂිතතාවයකට පත්වෙලා. ප්‍ර දේශයේ ජනතාව දැඩි භීතියකට ලක්ව තිබෙනවා. මෙය පැහැදිලිවම ආණ්ඩුවේ කුණු පැල්ලම් මකා ගන්න ජනතාවගේ ජීවිත බිල්ලට ගැනීමක්. එබැවින් පටු අරමුණු වෙනුවෙන් ජනතාවගේ ජීවිත බිල්ලට ගැනීම වහා නවතන ලෙසත්, පැහැරගැනීමට ලක්කළ සියලු දෙනා නිදහස් කරන ලෙසත් අප ආණ්ඩුවට බලකර සිටිනවා.














