ජාත්‍යන්තර අතුරුදහන්වූවන්ගේ දිනය අදට (අගොස්තු 30) ට යෙදී තිබේ. මේවන විට ශ්‍රී ලංකාවේ පමණක් අතුරුදහන්වූවන් දහස් සංඛ්‍යාත ගණනක් සිටින බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙති.
එමෙන්ම එල්ටීටීඊ සංවිධානය සහ ශ්‍රී ලංකා රජය අතර පැවති සිවිල් යුද්ධය මීට වසර තුනකට පෙර, එනම් 2009මැයි 18ට අවසන් වූව ද පුද්ගලයන් පැහැර ගැනීම සහ අතුරුදහන්වීම් නැවතී නොමැති බව ඔවුහු පෙන්වා දෙති.
ප්‍රගීත් එක්නැලිගොඩ වැනි මාධ්‍යවේදීන්, ලලිත්-කුගන් වැනි දේශපාලන ක්‍රියාකාරකයින් මෙන්ම කුමාර් ගුණරත්නම් - දිමුතු ආටිගල වැනි දේශපාලන පක්ෂ නායකයින්ද ශ්‍රී ලංකාව තුළ පැහැරගැනීමට ලක්වූ බවත් එම පැහැරගැනීම්වලට රජයේ ඇති සම්බන්ධය කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැරගැනීමේ සිද්ධියේදී ලොවටම හෙළිදරව්වූ බවත් එම සංවිධාන වැඩිදුරටත් පෙන්වාදෙති.
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වූ ක්‍රියාකාරී කණ්ඩායම් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ කාර්යාලය වෙත වාර්තා කර ඇති පරිදි, යුද්ධය පැවති කාල සමය තුළ වාර්තා වී ඇති අතුරුදහන් කිරීම් ගණන 5,671ක් වන අතර යුද්ධය අවසන් කාල සීමාවේ දී සිදු වූ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ගණනයන් සිදු වී නොමැත.
1999 නිකුත් කරන ලද එක්සත් ජාතීන්ගේ අතුරුදහන් කිරීම් සම්බන්ධ වාර්තාවක් පෙන්වා දුන්නේ සැලසුම් සහගත ලෙස බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධව ශ්‍රී ලංකාව ලොව දෙවැනි ස්ථානයේ පසුවන බවයි. එම වාර්තාවට අනුව ඒ වනවිට පුද්ගලයන් 16,384අතුරුදහන් වී තිබේ.








