සුදු වෑන්වලින් මිනිසුන් පැහැර ගෙන ගොස් ඝාතනය කරන විට, අතුරුදහන් කරන විට ඊට විරුද්ධ නොවන ජාතික හෙළ උරුමය, මර්වින් සිල්වා මුන්නේෂ්වරම් කෝවිලේ බිලි පූජාවට විරුද්ධ වන්නේ සත්ව හිංසාවට විරුද්ධ වීමේ අටියෙන් නොව, ආගම්වාදී අරමුණුවලින් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
ඔවුන් සත්ව හිංසාවට විරුද්ධ වන්නේ නම්, දිනකට විශාල වශයෙන් හාල්මැස්සන් මැරීමටද විරුද්ධ විය යුතු යැයි ඔහු පැවසීය.
ඊයේ එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා පැවසුවේ, රජයක කාර්යභාරය විය යුත්තේ කිසියම් එක් ආගමක මතවාදයට අනුව කටයුතු කිරීම නොව සියලූම ආගම්වලට සමසේ සැලකීම බවයි. එහෙත් වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේ බෞද්ධ ආගම්වාදී මනෝභාවයෙන් යැයිද ඔහු පැවසීය.
ඇතැම් පසුගාමී ඇදහිලි විවිධ ආගම්වල පවතින බවත් ඒවා ඉවත් කිරීම සම්බන්ධව තීරණ ගත යුත්තේ එම ලබ්ධීන් අදහන ජනතාව අතර සිදු වන සාකච්ඡුාවකින් අනතුරුව බවත් ඔහු පැවසීය.







