A+ R A-

සමෘද්ධිය අහවර කරන්නට දිවි නැගුම පාර්ලිමේන්තුවට

E-mail Print PDF

 

altධනවාදයේ පිරිහීම ආරම්භ වීමත් සමග එකී ක‍්‍රමය විසින් ජනතා සුබසාධනය අරමුණු කොටගත් ක‍්‍රමෝපායන් දිනෙන් දින කරළිගත කිරීමට මැදිහත් විය. ඒ සඳහා ඔවුන් කේන්සියානු ආර්ථික මොඩලය හෙවත් සුබසාධන ධනවාදය ප‍්‍රචලිත කිරීමට පටන් ගත්තේ මෙකී තත්වයන් තුළය.

 ලංකාවේ උඩින් පාත් වූ ධනවාදී පාලන ක‍්‍රමයට ද මෙකී මහජන සුබසාධනය පවත්වාගෙන යාමට සිදු වූයේ ලංකාව පාලනය කළ ධනේශ්වර නායකයන්ට ද ජනතාවගේ සමාජ ආර්ථික රටාවේ දියුණුව සිදුකළ නොහැකි තත්වයක් තුළය. ඒ අනුව  1978ජේ.ආර්. ජයවර්ධන බලයට පැමිණ ජනතාවට සුබසාධනමය ගණයෙහිලා සලාකයක් පිරිනැමීය. එය රාත්තල් ඇට අටක් වශයෙන් හැඳින්වීය. එය කූපන් පතක් මගින් ලබාගැනීමට සලස්වා තිබුණි. ඉන් පසුව 1988ආර්. පේ‍්‍රමදාස ජනසවිය ගෙන ආවේය. එමගින් ජනතාවට රුපියල් දහසක උපරිමයක හා රුපියල් 300ක අවමයක් යටතේ සමුපකාර මගින් භාණ්ඩ ලබාගැනීමට මුද්දරයක් නිකුත් කළේය. ඉන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1994දී බලයට පැමිණ සමෘද්ධිය ගෙන ආවේය. එමගින් ඇගේ ආණ්ඩුව ජනතාවට සුබසාධන ඇති කිරීමේ අරමුණින් මුද්දර ක‍්‍රමයක්  නිකුත් කළේය. එයින් ද නොනැවතී චන්ද්‍රිකාගේ ආණ්ඩුව ප‍්‍රජා බැංකු මාදිලියක් වන සමෘද්ධි බැංකුව ඇති කළේය. එමගින්  ජනතාවගේ මුදල්, නියෝජිත මහා සභා මගින් පරිපාලනය වූ අතර එමගින් ණය දීම් හා ගෙවීම් සිදුකළේය.

කෙසේ නමුත් පාලකයාගෙන් පාලකයාට මෙකී ජනතා සුබසාධන ක‍්‍රියාවලිය විවිධ නම්වලින් එළියට පැමිණි අතර එහි අලූත්ම ආකෘතියේ නාමකරණය සිදුවන්නේ දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවක් බවට පත්වෙමිනි. සුබසාධන ක‍්‍රියාවලිය සඳහා ප‍්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් වෙන් කළ යුතු අතර එකී ක‍්‍රියාවලියට රාජ්‍ය ව්‍යුහයේ ගොඩනඟාගත් සමුපකාර වැනි ආයතන සෘජුව දායකත්වය සපයා දුන්නේය. එහෙත් වර්තමාන මහින්ද රාජපක්ෂ පාලන කාලයේ මෙම ක‍්‍රියාවලිය භාණ්ඩාගාරයෙන් ජනතාව සඳහා යන්න වෙනුවට

ජනතාවගෙන් මහා භාණ්ඩාගාරයට හෝ දෙපාර්තමේන්තුවට ලෙස වෙනස් කරමින් තිබේ. ඒ සඳහා පසුගිය අගෝස්තු මස 10වැනි දා ආර්ථික සංවර්ධන ඇමැතිවරයා විසින් ගැසට් පත‍්‍රයක් ලෙස පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරන ලදී.  කෙසේ නමුත් මෙම පනතත් සමග ජනතා සුබ සාධනය සහමුලින්ම කණපිට හරවා එය පාලකයන්ගේ බඩ වඩා ගැනීමේ බූදලයක් බවට පත්කොටගෙන ඇත. මේ අනුව මෙතෙක් 1995අංක 30දරන  පනත් කෙටුපම්පත මගින් පිහිටුවාගෙන තිබූ සමෘද්ධි අධිකාරිය, 1996අංක 18දරන පනත මගින් පිහිටුවාගෙන තිබූ  ශ‍්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන  අධිකාරිය හා 2005අංක 26දරන පනත මගින් පිහිටුවාගෙන තිබූ ශ‍්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරිය යන අධිකාරීන් අහෝසි කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව මෙතෙක් සමෘද්ධි අධිකාරිය නමින් වූ බැංකු පද්ධතිය මුළුමනින්ම අහෝසි වන අතර ඒ වෙනුවට දිවි නැඟුම ප‍්‍රජාමූල බැංකු පිහිටුවීමට කටයුතු කර ඇත. මේ වන විට සමෘද්ධි බැංකු 1043ක් දිවයින පුරා ඇති අතර ඒවායෙහි මුළු තැන්පතුව කෝටි 900ක් පමණ වන අතර මෙම මුදලේ වගකීම හා පරිපාලනය මෙතෙක් පැවැතියේ අදාළ සමෘද්ධි  මහා සංගම් 317ක් සතුවය. අදාළ නව පනත අනුව පෙර කී ව්‍යුහය අවලංගු වන අතර ඇමැතිවරයාගේ සෘජු මැදිහත්වීම හරහා බැංකු කටයුතු හා කළමනාකරණ කටයුතු සිදුකිරීම සිදුවන අතර ඒ වෙනුවෙන් දිවි නැඟුම ජාතික සභාව නමින් හඳුන්වනු ලබන සභාවක් පිහිටුවා ඇත. එයට අයත් වන නිලධාරීන් බහුතරය ඇමැතිවරයාගේ සෘජු මැදිහත් වීමෙන් පත්කරන්නන් වීම තුළ මෙකී ජාතික සභාවේ විනිවිදභාවය සම්බන්ධයෙන් නැවතත් ගැටලූ පැන නඟී. පනතට අනුව ජාතික සභාවේ සාමාජිකයන් පත් කිරීම සිදුවන්නේ මෙසේය.

02     සභාව පහත සඳහන්  සාමාජිකයන්ගෙන් සමන්විත විය යුතුය.

අ       සභාවේ සභාපතිවරයා විය යුත්තේ දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල්වරයාය.

ආ      දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍ර මූල්‍ය විෂය භාර අධ්‍යක්ෂවරයා

ඇ      දෙපාර්තමේන්තුවේ ප‍්‍රජාමූල සංවිධාන විෂය භාර අධ්‍යක්ෂවරයා

ඈ      දෙපාර්තමේන්තුවේ ජීවනෝපාය විෂය භාර අධ්‍යක්ෂවරයා

ඉ       මුදල් විෂය පවරා ඇත්තා වූ අමාත්‍යවරයාගේ  අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ ඔහුගේ  අනුයෝජිතයකු

ඊ       අමාත්‍යවරයාගේ  අමාත්‍යාංශයේ  ලේකම්වරයා හෝ  ඔහුගේ අනුයෝජිතයකු

උ       අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන තැනැත්තන්  පස්දෙනකු

          (‘දිවි නැඟුම’ පනත් කෙටුම්පත, පිටු අංක 06)

 

මෙම තනතුරු පත්කිරීමේ දී මුදල් විෂයභාර ඇමැතිවරයාගේ  අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ ඔහුගේ  අනුයෝජිතයකු වශයෙන් දක්වා ඇති නිලධාරියාට අමතරව පත්කරනු ලබන සියලූ නිලධාරීන් අදාළ විෂය භාර ඇමැතිවරයාගේ සෘජු මැදිහත්වීම යටතේ සිදුකරනු ලබන පත්වීම්ය. මේ හේතුවෙන් සමෘද්ධි බැංකුවල තැන්පතුවට සිදුවන්නට යන දේ සම්බන්ධයෙන් සිතාගත හැකිය.

සමෘද්ධිය මෙවැනි පවරා ගැනීමක් සිදුනොවන කාලයකත් අදාළ විෂය භාර ඇමැතිවරයකු බැංකුවල පොලියෙන් මාලිගා හැදූවටපිටාවක පනතක් මගින් ඇමැතිවරයාට සෘජු මැදිහත් වීමක් ගැනීමට හැකිවීම යනු එකී මුදල් සම්බන්ධයෙන් කතා කිරීමෙන් ඵලක් නැත. මෙහි සඳහන් තවත් ඡේදයක් මගින් ඇමැතිවරයාට නිදහසේ මෙහි මුදල් හා අනෙකුත් ක‍්‍රියාකාරකම් කළ හැකි ආකාරයට නෛතිකමය බලය සකසාගෙන ඇත. ඒ අනුව අදාළ ‘‘ඇමැතිවරයා විසින් ගන්නා තීරණ මාස 03ක් යන තෙක් පාර්ලිමේන්තුවට හෝ කිසිදු ආයතනයකට ආපසු හැරවිය නොහැක’’ ලෙස වන වගන්තියක් ද ඇතුළත් කොට ඇත. එසේම මේ අදාළ නිලධාරීන්ට මූල්‍ය පරිපාලනය හෝ අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් වන සැලැසුම් සකස් කිරීමේදී ඒ පිළිබඳ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වන විශේෂ නියෝගයක් ද ඇමැතිවරයා විසින් පනවා ඇති අතර නියෝග පැනවීමේ හා සැකැසීමේ බලය මුළුමනින්ම ඇමැතිවරයා පවරාගෙන ඇත.  එය පනතේ සඳහන් වන්නේ මෙසේය.

41.(1)නියම කළ යුතු කාරණා වශයෙන් මේ පනතින් නියමිත  සහ නියෝග  සෑදීමට  මේ පනතින් බලය දී ඇති කාරණා සම්බන්ධයෙන්  අමාත්‍යවරයා විසින්  නියෝග සාදනු ලැබිය හැකිය.

(‘දිවි නැඟුම’ පනත් කෙටුම්පත, පිටු අංක 26)

 

38. දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා , අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරු, සියලූ අධ්‍යක්ෂවරු, නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා, සහකාර අධ්‍යක්ෂවරයා හා නිලධරයන් මෙන්ම සේවකයන් ද ස්වකීය කාර්යය ඉටුකිරීමට  පෙරාතුව දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳ වූ සියලූ කාරණා සම්බන්ධයෙන් පූර්ණ රහස්‍යභාවය තමා විසින් සුරකින බවට පොරොන්දු වෙමින් ප‍්‍රකාශයක් අත්සන් කළ යුතු අතර ඒ ප‍්‍රකාශය මගින්

(අ)     එසේ කිරීමට අධිකරණය විසින් නියම කර ඇති  අවස්ථාවකදී හෝ

(ආ)    මේ පනතේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධාන  කිිසිවකට අනුකූල වීම පිණිස  වූ අවස්ථාවකදීහැර ස්වකීය කර්තව්‍යය ඉටුකිරීමේ දී තමාට දැනගැනීමට ලැබෙන  කිසිදු කාරණයක් තමා විසින් හෙළිදරව් නොකරන බවට  ප‍්‍රතිඥා දිය යුතුය.

( iv)වැනි කොටස (සාමාන්‍ය)‘දිවි නැඟුම’ පනත් කෙටුම්පත,

පිටු අංක 24*

ඉහත ෙඡ්දයන් විසින් මෙම පනතේ ඇති මූලික අයිතිවාසිකම් කඩවීම් හා යටි අරමුණු හෙළිදරව් වේ. ඒ අනුව දෙපාර්තමේන්තුවේ සිදුවන කිසිදු කි‍්‍රයාකාරකමක් සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම හෝ මාධ්‍ය විසින් ප‍්‍රශ්න කිරීම නොකළ යුතුය. මෙය මෙතෙක් දෙපාර්තමේන්තුවක් සතුව නොපැවැති තත්වයකි. මේ අනුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව  විසින් සමෘද්ධියට හා අනෙකුත් අධිකාරීන් සතු මූල්‍ය තත්වයට සිදුකිරීමට සූදානම් වන්නේ කුමක්ද යන්න පිළිබඳ සැකයක් මතුවීම අනිවාර්යය.

එමෙන්ම සමෘද්ධි අධිකාරියට අනුබද්ධව සේවය කළ සමෘද්ධි නිලධාරීන්ගේ සේවයේ තහවුරුව සම්බන්ධයෙන් කිසිදු වගන්තියක් අදාළ පනතේ සඳහන්ව නොමැත. සමෘද්ධි නිලධාරීන් වශයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කාල සීමාවේ බඳවා ගැනීම් කළේ ද ඉන් පසුව පත්වූ මහින්ද රාජපක්ෂ පාලනයේ බඳවා ගැනීම් කළේ ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතවත් පිරිස්ය. ඒ කෙසේ වුවත් ඔවුන්ගේ රැකියා සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මෙහිලා කිසිදු සඳහනක් සිදුකර නොමැති තත්වයක් තුළ විශාල පිරිසකගේ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධ ගැටලූවක් පැනනැඟීම අනිවාර්යය. මීට පෙර ද බොහෝ අවස්ථාවල දී ඔවුන්ගේ රැුකියා ස්ථිර කරන බවට හා විශ‍්‍රාම වැටුප් ලබාදෙන බවට බොරු පොරොන්දු ලබාදී ඇත. 2010අය වැයේදී දෙපාර්තමේන්තුවක් සමෘද්ධි දෙපාර්තමේන්තුවක් කරන බවත් එමගින් සමෘද්ධි නිලධාරීන්ගේ සේවය ස්ථිර කරන බවටත් පොරොන්දු විය. එසේම 2011අපේ‍්‍රල් අය වැයේදී ද මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර සමෘද්ධි නිලධාරීන් ස්ථිර කරන බවට හා විශ‍්‍රාම වැටුපක් ලබාදෙන බවට පොරොන්දු ලබාදුන්නේය. කෙසේ නමුත් මේ පනත මගින් ද ඔවුන් යළි යළිත් රැවටීමට ලක් කර ඇත.

 නව පනතේ බරපතළ කාරණය වන්නේ එහි කිසිදු ස්ථානයක සමෘද්ධි ප‍්‍රතිලාභීන් සම්බන්ධයෙන් සඳහන් නොවීමයි. එකී ප‍්‍රතිලාභීන් දිවි නැඟුම වැඩසටහන යටතේ කවර තත්වයකට පත්වන්නේද? ප‍්‍රතිලාභ කෙසේ බෙදී යන්නේද යන්න පිළිබඳව සඳහනක් කර නොමැත. ඒ අනුව ලක්ෂ 20ක් පමණ වන ප‍්‍රතිලාභීන්ට සමෘද්ධිය නොලැබී යන අතර ඒ වෙනුවට ගෙවීමක් පිළිබඳව සඳහන් නොකිරීම විසින් ඔවුන්ගේ සුබසාධනය මුළුමනින්ම අහෝසි වන තැනට වැඩකටයුතු සකසා ඇත.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ අනුව සුබසාධන කපාදැමීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප‍්‍රතිපත්තිය අකුරටම ඉටුකරන අතර තුර එකී මුදල් තම පවුල තරකර ගැනීමේ යාන්ත‍්‍රණයක් බවට සකසා ඇත. ඒ අනුව නාමිකව හෝ රාජ්‍ය සුබසාධන ප‍්‍රතිපත්තිය යනුවෙන් යමක් දශමස්ථාන වශයෙන් හෝ ඉතිරිවී තිබිණි නම් එයද අහෝසි කර ජනතාව විසින් රජය හා පවුල නඩත්තු කරගැනීමේ යාන්ත‍්‍රණයක් සඳහා පනතක් සකස් කොට ඇත. දිවි නැඟුම පනත හරහා සිදුවන්නේ එයම හැර අන් යමක් නොවේ. රාජපක්ෂ ආණ්ඩුව මේ පනත හරහා ඉල්ලා සිටින්නේ කුසගින්නේ සිට හෝ ආණ්ඩුවේ බඩ වඩා දෙන ලෙස මිස අන් යමක් නොවේ.

 

තුසිත පතිරණ

 

This content has been locked. You can no longer post any comment.

සේයා සටහන

අවුරුදු දා

අවුරුදු දා

අධ්‍යාපනයේ නිදහසත්, නිදහස් අධ්‍යාපනයත් දිනා ගැනිමේ අරගලයට, අවුරුදු දා වුව විරාමයක් නොතබන ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය

Search