A+ R A-

ත‍්‍රිත්ව ඝාතන සහ සමූහ ඝාතන

E-mail Print PDF

 

altවිදර්හිගේ විග‍්‍රහය

පසුගියදා කොළඹ වැල්ලවත්ත ප‍්‍රදේශයේ සිදුවූ ත‍්‍රිත්ව මිනිස් ඝාතනයක් පිළිබඳ පුවතක් රට තුළ මහත් ආන්දෝලනයකට ලක්විය.

 තරුණයකු විසින් මුදල් පැහැර ගැනීමේ අරමුණ ඇතිව සිය මව, පියා සහ සොහොයුරිය ඝාතනය කර ඇති බව පසුව හෙළිදරව් වී තිබේ. පුවත්පත්වල සඳහන් ආකාරයට මෙම තරුණයා තමන්ට ලැබෙන මාසික වැටුප මෙන් කිහිප ගුණයක මුදලක් වියදම් කිරීමට පුරුදුව සිටින්නෙකි. ඉහළ පෙළේ හෝටල්වලින් ආහාර ගැනීමට ද පොදු ප‍්‍රවාහන සේවා වෙනුවට කුලී රථවලින් ගමන් බිමන් යාමට ද සුඛෝපභෝගි ජීවිතයක් ගෙවීමට ද පුරුදුව සිටි මෙම තරුණයා ඒ සඳහා අවශ්‍ය මුදල් සොයාගෙන ඇත්තේ ණය ගැනීමෙනි. මෙසේ සිය පෞද්ගලික පරිහරණය සඳහා වරින් වර ගත් ණය ක‍්‍රම ක‍්‍රමයෙන් එකතු වී අවසානයේදී ඔහු රුපියල් ලක්ෂ 70ක පමණ ණයකරුවකු වී තිබිණි.

මෑතක සිට ණයකරුවන් ඔහුගෙන් ණය ඉල්ලීම ආරම්භ කළ විට මෙම තරුණයා කර ඇත්තේ පියාගේ විශ‍්‍රාම පාරිතෝෂිකය ඉල්ලා කරදර කිරීමයි. ඔහුගේ නාස්තිකාර වියදම් ගැන දන්නා පියා එය ලබාදීම ප‍්‍රතික්ෂේප කර ඇත. පසුව කොටපොල පිහිටි නිවසේ සිට කුලී රියකින් සිය මව, පියා සහ සොයුරිය වැල්ලවත්තේ නිවසට ගෙන්වා ගත් ඉහත කී තරුණයා ඔවුන්ට නිදිපෙති මිශ‍්‍ර කළ පලතුරු යෝගට් කන්නට දී ඇත. ඔහු නිදිපෙති 400ක් පමණ කුඩුකර යෝගට්වලට එකතු කළ බවට පාපොච්චාරණය කර තිබේ. නිදිපෙති මිශ‍්‍රිත යෝගට් අනුභව කළ මව සහ පියා මුලින් මියගොස් ඇති අතර අවසන් හුස්ම හෙළමින් සිටි සොයුරියගේ මුවට ඔහු තවත් නිදිපෙති ඇතුළත් කර ඇය ද මරාදැමූ බව පුවත්පත් වාර්තා කර තිබිණි. අනතුරුව සිය මවගේ හා සොහොයුරියගේ රන් ආභරණ උකස් තබා ණයවලින් කොටසක් ගෙවා ඇති ඔහු කොටපොල නිවසට ගොස් එහි ඇති රන් ආභරණ ද උකස් කර ණයවලින් තවත් කොටසක් ගෙවා ඇත. අවසානයේ තැන් තැන්වල ඉබාගාතේ යමින් සිටි මෙම තරුණයා කුරුණෑගල බලා යන බස්රියකදී අත්අඩංගුවට පත්විය.

ආණ්ඩුවේ ඝාතන

සිය ආදායමට නොගැළපෙන තරමේ අධි සුඛෝපභෝගී දිවි පැවැත්මකට හුරුවී සිටි එම තරුණයා සිය සුඛෝපභෝගීත්වය වෙනුවෙන් සිය මව්පියන් හා සොයුරිය මරා දැමීමට තරම් සැහැසි වීම පිළිබඳව බොහෝ අය කම්පාවට පත්ව සිටී. දැන් බස් රථවල ද කාර්යාල දුම්රියවල ද කඩපිල්වල ද කතාබහට ලක්වී තිබෙන්නේ එම පුද්ගලයාට ලබාදිය යුතු ඉතාම බරපතළ දඬුවම් පිළිබඳවය. වැල්ලවත්ත ත‍්‍රිත්ව ඝාතනය පිළිබඳව කම්පා වී වැරැුදිකරුවාට දිය යුතු දඬුවම් පිළිබඳව සාකච්ඡුා කරන බොහෝ අයට ප‍්‍රසිද්ධියේම සිදුවන ඊට බොහෝ සෙයින් සමාන ඝාතන අමතක වී ඇත.

අප රටේ ආණ්ඩුවල හැසිරීම ද වැල්ලවත්තේ තරුණයාගේ හැසිරීමට වඩා වැඩි වෙනසක් නැත. අපේ රටේ ආදායම හා වියදම අතර පරතරය දිනෙන් දින ඉහළ යමින් තිබේ. රටේ සම්පූර්ණ ආදායම හා රට පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වියදම වන පුනරාවර්තන වියදම අතර පරතරය හඳුන්වන ආර්ථික විද්‍යාත්මක නාමය ‘ආදායම් හිඟය’යි. පසුගිය අපේ‍්‍රල් මාසය වන විට ආදායම් හිඟය රුපියල් බිලියන 139.8ක් විය. එය පසුගිය වසරේ අපේ‍්‍රල් මාසය වන විට පැවැති ආදායම් හිඟය 86%කින් ඉහළ නැඟීමකි. මැයි මාසය වන විට ආණ්ඩුව රජයේ වියදම් කපා හැරීම ඇරඹූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ආදායම් හිඟය රුපියල් බිලියන 119දක්වා අඩු විය. එහෙත් කපා දැමූ රජයේ වියදම් වනුයේ ආණ්ඩුවේ නාස්තිකාර වියදම් නොව අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, මහජන සුබසාධන ආදිය සඳහා ඇති වියදම්ය. වැල්ලවත්ත තරුණයා නිශ්චිත මාසික වැටුපක් ලබමින් ‘අත දිගහැර’ වියදම් කළමුත් ආණ්ඩුව සිටින්නේ ඊටත් වඩා නරක අඩියකය. රටේ ආදායම් පහත වැටෙමින් තිබේ. මැයි මාසය වන විට අපනයන ආදායම් ඩොලර් මිලියන 710.1දක්වා 15.1%කින් පහත වැටී තිබිණි. ලංකාව සැලකූ විට වියදම වැඩිවන්නේ ආදායම අඩුවන තත්වයක් තුළය.

සිය නාස්තිකාර ජීවිතය වෙනුවෙන් වැල්ලවත්තේ තරුණයා ණය ගත් ආකාරයටම ආණ්ඩුව ද දිගට හරහට ණය ගනිමින් සිටී. පසුගිය වසරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.6ක ණය මුදලක් ලබාගත් අතර එහි අවසන් වාරිකය මුදාහරින්නටත් පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්ම තවත් ඩොලර් මිලියන 500ක ණයක් ඉල්ලා ඇත. පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට නම් බොහෝ විට ආණ්ඩුවට එය ලැබෙනු ඇත. මීට අමතරව ආණ්ඩුව ඩොලර් බිලියනයක බැඳුම් ඇපකර නිකුත් කිරීමට පසුගියදා තීරණය කර තිබිණි. මේ සියල්ල දේශීය වශයෙන් ගනු ලබන ණයවලට අමතරවය. ආණ්ඩුවට ණය දීම සඳහා මේ වසරේ මැයි මාසය වන විට මහ බැංකුව මුද්‍රණය කළ මුදල්වල වටිනාකම රුපියල් බිලියන 329කි. එය 2011වසරේ මුල් මාස 6තුළ මුද්‍රණය කළ මුදල්වලට වඩා 243%ක වැඩිවීමකි. දැන් වැල්ලවත්තේ තරුණයා සේම ආණ්ඩුව ද ණය ගෙවීම පිළිබඳ අර්බුදයකට මුහුණ දී සිටී.

විශ‍්‍රාම වැටුපට විදීම

ණය ගෙවීම සඳහා වැල්ලවත්තේ තරුණයා පළමුව තෝරා ඇති විකල්පය වනුයේ සිය පියාගේ විශ‍්‍රාම පාරිතෝෂිකයේ තිබූ ලක්ෂ දෙක තුනක මුදල ලබා ගැනීමයි. නමුත් පියාගේ විරෝධතාව නිසා එම උත්සාහය ව්‍යර්ථ විය. ආණ්ඩුව ද සිය බංකොලොත්් භාවය වසා ගැනීම සඳහා පළමුව උත්සාහ කළේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අර්ථසාධක අරමුදල කොල්ලකෑමටය. ඒ සඳහා පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් පනත නමින් නව පනතක් ද ගෙනඑනු ලැබීය. නමුත් වෙළෙඳ කලාප කම්කරුවන් ඇතුළු කම්කරු විරෝධතාවන් හේතුවෙන් එම ප‍්‍රයත්නය මුළුමනින්ම අසාර්ථක විය. පෙර කී එම උත්සාහයන් ව්‍යර්ථ වූ පසු ඉහත කී තරුණයා ද කළේ සිය මව, පියා හා සොයුරිය ඝාතනය කිරීමයි. ආණ්ඩුව ද එය එලෙසම සිදු කරමින් සිටී.

ආණ්ඩුව රටේ ජනතාවගේ අධ්‍යාපනය සඳහා ඇති අයිතිය ඝාතනය කරමින් සිටී. සමෘද්ධිය වැනි දිළිඳු ජනතාව සඳහා වන සහන සේවාවන් ඝාතනය කරමින් සිටී. ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටවන්නේ ද උසස් පෙළ විභාග ප‍්‍රතිඵල තවමත් නිරවුල් වී නැත්තේ ද තත්වයෙන් බාල හා කල් ඉකුත් වූ ඖෂධ ගෙන්වන්නේ ද දිවි නැඟුම පනත වැනි පනත් හරහා සමෘද්ධිය කප්පාදු කෙරෙන්නේ ද එම ඝාතන ප‍්‍රයත්නයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙසය. නව ලිබරල් ධනවාදය තුළ පළමුව ඝාතනය කෙරෙන්නේ සමාජ සුබසාධනයන්ය. එනිසා ආණ්ඩුවේ හැසිරීම පුදුම විය යුත්තක් නොවේ.

ප‍්‍රශ්නයක් වන්නේ තැනින් තැන පැන නඟින හුදෙකලා විරෝධයන්ට අමතරව සංයුක්ත විරෝධයක් පැන නොනැඟීමයි. හැම කෙනාම තම තමන්ගේ ක්ෂේත‍්‍රවලට අදාළව සටනට බැස ඇතිමුත් ඒ ප‍්‍රශ්නයේ මූලය වන සමස්ත අර්බුදය තවමත් නිරාවරණය වී නැත. ඊට හේතුව වන්නේ වැල්ලවත්තේ තරුණයා මෙන්ම ආණ්ඩුව ද මේ ඝාතන වඩාත් පහසු මෙන්ම, විරෝධය පෑම් අඩු ඝාතන බවට පත්කර ගැනීම සඳහා ‘නිදිපෙති’ භාවිත කිරීමයි. පවතින ඛේදනීය තත්වයට එරෙහි මහජන ප‍්‍රතිචාරවලට බාධක යොදා ඇත්තේ ධනේශ්වර දෘෂ්ටිවාදී නිදිපෙති හරහාය. ආණ්ඩුව නව ලිබරල් පරිභෝජනවාදී උන්මාදය, මාධ්‍ය දෘෂ්ටිවාදී අවියක් ලෙස භාවිත කිරීම වැනි ධනේශ්වර උපක‍්‍රම භාවිත කරන අතරම ජාතිවාදය, ආගම්වාදය කුලවාදය ඇතුළු

පසුගාමීත්වයන් ද සමාජය නිදි ගැන්වීම සඳහා නියමිත

අනුපාතයන්ගෙන් භාවිත කරයි. ජන විරෝධයන් ව්‍යාකූල කිරීමට මැතිවරණ කැඳවන අතරම, මැතිවරණ ව්‍යාපෘතියක් ලෙස කපිලවස්තු නුවරින් ගෙන ආ සර්වඥ ධාතු ප‍්‍රදර්ශන යොදා ගැනෙන්නේ එහෙයිනි. සර්වඥ ධාතු ප‍්‍රදර්ශනය කෙරෙන්නේ පැල්මඬුල්ල, අනුරාධපුරය හා කන්තලේ යන ප‍්‍රදේශවලය. ඒවා මැතිවරණ පැවැත්වෙන ප‍්‍රදේශයි. ඒ අතර තමන් මේ ප‍්‍රදර්ශනය අම්පාරටත් ගෙන යාමට උත්සාහ කරන බව ජනාධිපතිවරයා කිසිදු ලැජ්ජාවකින් තොරව ප‍්‍රසිද්ධියේ පවසයි.

නිදිපෙතිවල බල එබඳුය. වැල්ලවත්තේ තරුණයා කළේ ත‍්‍රිත්ව ඝාතනයකි. පසුගාමීත්වයේ හා නව ලිබරල් ධනවාදයේ මුහු වීමෙන් තැනූ නිදිපෙති හරහා ආණ්ඩුව සිදු කිරීමට සැරසෙන්නේ සමූහ ඝාතනයකි. දැන් කළ යුත්තේ වහාම නින්දෙන් අවදි වීමයි. ඒ සඳහා නිදිපෙතිවල බලය පැරදවිය හැකි ජන බලයක් ගොඩනැඟිය යුතුය, සටන්කාමීත්වයක් ගොඩනැඟිය යුතුය. ඉතිහාස කරළියේ තිරය දැන් විවෘත වන්නේ ඒ සටන්කාමීත්වය උදෙසාය.  

This content has been locked. You can no longer post any comment.

පුවත්

Advertisment

advertisment