Latest news
A+ R A-

නැව ගිලූණත් මේ රටේපරිසර ඇමැතිලාට බෑන් චූන්ය !

E-mail Print PDF

 

altසමස්ත ලෝකයම සැලකූ කල අතිශය පෘථුල ජෛව විවිධත්වයකින් හෙබි රටවල් අතරින් ලංකාවට හිමිවන්නේ ඉහළම ස්ථානයකි. නමුත් අවාසනාවක මහිම! අද වන විට ආසියාවේ ආශ්චර්ය කරා මෙරට දක්කාගෙන යන බව කියන පාලකයන්ට එකී ජෛව විවිධත්වය හා ස්වාභාවික සම්පත් වහකදුරු මෙනි. ඔවුන් දිනෙන් දිනම තමන් ඇසට හසුවන සියලූ එකී සම්පත් වනසා දමන්නේ එබැවිනි. ස්වාභාවික සම්පත් භාරව කටයුතු කරන ඇමැති බානට නැව ගිලූණත් බෑන් චූන්ය. මේ නිසා පරිසරයට ලැදි සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ට උරුම කරදෙන්නේ ඉච්ඡා භංගත්වයක්ම පමණි.

2007වසරේ අපේ‍්‍රල් මාසයේ සිට පානදුර ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබූ නෞකාව ඉකුත් බ‍්‍රහස්පතින්දා (23) මුහුදුබත් වී විශාල සමුද්‍ර දූෂණයකට මුල් වී තිබේ.

සයිප‍්‍රස්  රාජ්‍යයට අයත් මෙම Thermopylae sierra නෞකාව මෙරට මුහුදු සීමාවට පැමිණියේ 2007වසරේ අපේ‍්‍රල් මාසයේදීය. මෙරට මුහුදු වෙරළට ආසන්නව නැංගුරම් දමා තිබුණු එම නැව අයත් සමාගම හා භාණ්ඩ ප‍්‍රවාහන සමාගම අතර ඇතිවූ ගැටුමකට ශ‍්‍රී ලංකා රජයේ වාණිජ මහාධිකරණය මැදිහත් විය. නැවෙහි තිබූ ද්‍රව්‍ය වුණේ සිමෙන්ති සෑදීමේ යන්ත‍්‍රයක්, යකඩ පයිප්ප, මෙටි‍්‍රක් ටොන් 15,612ක ලෝහ ප‍්‍රමාණයක් සහ ගබඩා කර තිබූ දැවි තෙල් මෙටි‍්‍රක් ටොන් 370කි. එතැන් සිට මේ නැව මුහුදු බත් වීම දක්වා පුරා වසර පහකුත් මාස හතරක් මෙම නැව අරබයා විවිධාකාර නඩු ගොඩක් මෙරට අධිකරණ පද්ධතිය තුළ පැවතිණි. එහෙත් මෙමගින් සිදුවීමට තිබූ මහත් පරිසර ව්‍යසනය පිළිබඳව අවනඩුව අසන්නට කිසිවකුත් අපොහොසත් විය.

alt2008අංක 35දරන සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 24වැනි වගන්තිය ප‍්‍රකාරව සමුද්‍ර දූෂණයක් සිදුවිය හැකි යැයි පැහැදිලි සාක්ෂි ඇති  ඕනෑම විටකදී ඊට එරෙහිව පියවර ගැනීමේ බලය ශ‍්‍රී ලංකා සමුද්‍ර දූෂණ ආරක්ෂණ අධිකාරියට හිමිය. එහිදී නෞකාවක කාර්යමණ්ඩලයට, වෙනත් බලයලත් පුද්ගලයකුට හෝ එහි හිමිකරුට එදිරිව ක‍්‍රියාමාර්ග ගැනීම, නැවක් ඉවත් කිරීම හෝ ගිල්වා දැමීම සඳහා වුවද නෛතික ප‍්‍රතිපාදන අදාළ අධිකාරියට හිමිය. ඒ අනුව පරිසර ඇමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වෙන අධිකාරියේ බලධාරීන් මෙම නැව සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වීමට බලය ඉල්ලා අධිකරණය හමුවට කරුණු දක්වා ඇති බව පරිසර අමාත්‍යාංශය විසින් ප‍්‍රකාශ කර ඇත. එහිදී වාණිජ මහාධිකරණය මගින් අදාළ නැව වෙන්දේසි කර එමගින් සිදුවන සමුද්‍ර දූෂණය වැළැක්වීමට සහ අගතියට පත් පාර්ශ්ව වෙත වන්දි ගෙවීමට නියෝගයක් ලබාදී තිබුණි. නමුත් අදාළ නැව් සමාගම මේ පිළිබඳව අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීම නිසා එම කටයුත්ත තවදුරටත් කල්දැමීමට සිදුවූ බව බලධාරීහු ප‍්‍රකාශ කරති. 2012අපේ‍්‍රල් මස 22වැනිදා නිකුත් වූ අභියාචනාධිකරණ තීන්දුව වූයේ 2012සැප්තැම්බර් 07දක්වා නැව ඉවත් කිරීම වාරණය කිරීමය. අවාසනාවක මහත වන්නේ එම වාරණය අවසන් වන්නට දින 15කට පෙර නැව ගිලී මහත් සමුද්‍ර දූෂණයක් මේ වන විට සිදුවෙමින් පැවතීමය. මේ සම්බන්ධයෙන් අධිකරණ පද්ධතියේ ක‍්‍රියාකාරීත්වය ද විශාල ආන්දෝලනයකට හේතු වී ඇතත් විෂය භාර ඇමැතිවරයා සිදුවන්නට තිබූ අවදානම කලින් දැක ඉහළ අධිකරණයේ සහය නොපැතීම මෙම විනාශයට මූලික හේතුවක් බව නොකියාම බැරිය.

නැව ආපදාවට ලක්වීම හේතුවෙන් සිදුවිය හැකි මහා සමුද්‍ර දූෂණය පිළිබඳව සමුද්‍ර දූෂණ ආරක්ෂණ අධිකාරිය අවස්ථා ගණනාවකදී වාණිජ මහාධිකරණයට කරුණු දක්වා තිබූ අතරම ඉකුත් නිරිතදිග මෝසම් සමයේ ඇති විය හැකිව තිබූ ප‍්‍රචණ්ඩ රළ හේතුවෙන් නැව ගිලීයාමේ අවදානම තීව‍්‍ර වූ බව පරිසර සංරක්ෂණවේදීන් ද බලධාරීන්ට පෙන්වා දී තිබුණ ද අභියාචනාධිකරණයට බෝලය පාස් කිරීම හැර වෙනත් විසඳුමක් ලබාදීමට කිසිවකුත් කටයුතු නොකිරීම ද මෙම ඛේදවාචකයට හේතු වූ බව අවධාරණය කළ යුතුය. එකල මෙම නැව නිරිතදිග මෝසමත් සමග ඇති වූ දැඩි රළ පහරින් බේරාගැනීම සඳහා ත‍්‍රිකුණාමලය ආසන්න මුහුද  දක්වා ඇදගෙන යාමට ද උත්සාහ දැරුණු අතර එයද ව්‍යර්ථ වූයේ අධිකරණයේ කි‍්‍රයාකාරීත්වය හා බලධාරීන්ගේ මන්දෝත්සාහී බව නිසා යැයි කිව හැකිය.

කෙසේ හෝ දැන් ව්‍යසනය සිදුවී හමාරය. මෙම මහා පරිසර විනාශයට මග ඇහිරීම සඳහා ආපදා කළමනාකරණය, වනජීවී හා පරිසර විෂය භාර ඇමැතිවරුන් මෙන්ම දෙපාර්තමේන්තු

රැසකටම ක‍්‍රියාත්මක වීමේ හැකියාව තිබුණි. එනම් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික ජලජ සම්පත් නියෝජිතායතන වැනි රාජ්‍ය ආයතන ද ඒ අතර වන බව අපගේ වැටහීමයි. නමුත් මේ තරම් රාජ්‍ය ආයතන හා නිලධාරීන් සහිත සංවිධාන ව්‍යුහයක් තුළ පුරා වසර පහක් ඉක්ම වූ කාලසීමාවක් අනතුර පෙනි පෙනී නිසලව සිටි මෙම යකඩ ගොඩ අවසානයේ මුහුදුබත් වන්නේ අද වන විට උග‍්‍ර පාරිසරික, සමාජයීය මෙන්ම ආර්ථික හානියක් ද මෙරට ජනතාවට හිමිකර දෙමිනි. එමගින් අවදානමට හා තම ජීවන වෘත්තීන්ට බලපෑම් එල්ල වන සංචාරක ව්‍යාපාරිකයන්, ධීවර ප‍්‍රජාව ඇතුළු සමස්ත වෙරළබඩ ප‍්‍රජාවට අයත් අතිබහුතරයක් එදාවේල සරිකර ගන්නා දුප්පතුන්ට මෙමගින් එල්ල වන බඬේ පහර ධනපති පන්තියට හෝ ශීත කාමරවලට වී පුටු රත්කරන උසස් බලධාරීන්ට ද නිලධාරීන්ට ද දේශපාලන අධිකාරියට ද නොදැනෙන බව අපි දනිමු. ඊට හේතුව කොයි කරුමයත් පඩිසං දෙන්නේ අහිංසක දුප්පත් නිර්ධනයින්ටම බැවිනි. ඉකුත් මැයි 22වැනිදාට යෙදුණු ලෝක ජෛව විවිධත්ව දිනයේ ද තේමාව වූයේ ‘සාගර ජෛව විවිධත්ව’ යන්නය. වැඩිදෙනකුගේ අවධානය යොමු නොවන සාගරයේ ජෛව විවිධත්වයේ හා සාගර සම්පත්වල වටිනාකම සම්බන්ධයෙන් සැමගේ අවධානය යොමු කිරීම මෙම තේමාවේ අරමුණ බව කිවයුතු නැත. එකී ජෛව විවිධත්ව දිනය ද මෙරට පාලක කාරකාදීන් ගෙවා දැමුවේ කිසිදු වැදගැම්මකට නැති පුරාජේරු හා කටමැත දෙඩුම් සමගිනි. ඒ වන විට ද මෙකී තෙල් නැව පානදුර වෙරළට ඔබ්බෙන් මහා සමුද්‍ර දූෂණයක පෙර නිමිති පළ කරමින් නිසලව බලා සිටියේය. නමුත් නැව ගිලූණත් බෑන් චූන් වගකිව යුත්තන් මෙම අවදානම වටහා නොගන්නා පසුබිමක එකි අජීවී යකඩ කඳට ද තවදුරටත් ඉවසා සිටිය නොහැකි වන්නට ඇත.

මෙම දැවි තෙල් මේ වන විට දිවයිනේ බටහිරදිග වෙරළ ඔස්සේ හම්බන්තොට සිට කොළඹ හරහා මීගමුව දෙසට ඇති මුහුදු තීරයට හා වෙරළට දැඩි බලපෑම් එල්ල කිරීමට නියමිතය. එමගින් ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවන අතර වෙරළට පැමිණෙන තෙල් නිසා එහි ආකර්ෂණය නැතිවීමෙන් සංචාරක කර්මාන්තයට ද බලපෑම් එල්ල කරයි. එසේම මෙතෙකැයි කිව නොහැකි සමුද්‍ර ජෛව විවිධත්වයට ද එමගින් එල්ල වන්නේ මරු පහරකි. ඒ මතුද නොව අවසන් වශයෙන් මෙම තෙල්, කලපු හා ගංගා මෝය ඔස්සේ කඩොලාන ප‍්‍රජාව වෙත පැමිණ සාන්ද්‍ර වීමෙන් එල්ල කරන බලපෑම ද දීර්ඝකාලීන හා බිහිසුණු එකකි. සියල්ල එසේ වෙද්දී නැව ගිලූණත් පරිසර ඇමැතිලාට නම් බෑන් චූන්ය. මුහුදේ ගිලී ඇති නැව්වල යකඩ ටික ගිල ගැනීමට බලා සිටින දේශපාලන හිතවතුන්ට ද රජ මඟුල්ය. සංක්ෂිප්තව කියතොත් මෙරට පරිසර සංරක්ෂණය ද එයමය.

නැවේ ගබඩා කර තිබූ තෙල් ටොන් 370න් යම්කිසි ප‍්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කර තිබුණ ද ඉතිරි ප‍්‍රමාණය ගැන මෙවේලේ තොරතුරු විමසීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් බඳුය. එම ප‍්‍රමාණය ටොන් 20-70දක්වා හෝ ඊට වඩා වීමට ද ඉඩ ඇත

 

හිරුසර තැඹිලියගොඩ

This content has been locked. You can no longer post any comment.

පුවත්

Advertisment

advertisment