Latest news
A+ R A-

තොපි කිව්වා අපි වැව්වා - වතුර නැතොත් වන්දි දියව්

E-mail Print PDF

altඋඩිවන හා යටිවන හිස්ව තිබියදී කැරකෙන සෙක්කුවෙන් හි‍ඳෙන තෙලක් නොමැති බව ගොනුන් දන්නේ නැතත් තෙල් කණින් වෑහෙන තෙලක් නොමැති බව ගමයා දනී.

වතුර යුද්ධය හෙවත් ජල හි`ගයට එරෙහි ගොවි අරගලය රාජාංගණය ද ඇලහැර ද හොරොව්පතාන ද සූරිය වැව ද මොනරාගල ද ගොවිබිම කුමක් වුවද එකම දේශපාලන සෙක්කුවේ හිඳෙන, නොහිඳෙන ආශ්චර්යයේ තෙල බව කීමට ටීකා ටිප්පනි අවශ්‍ය නැත.

''අපි කළු ගග හරස් කරලා කිරි ඉබ්බන් ආරේ සිට සූරිය වැව දක්වා කුඹුරු අක්කර ලක්ෂයකට වතුර දෙනවා. "

 (2005 මහ මැතිවරණය, මහින්ද රාජපක්ෂ සූරියවැවදී.)

" කවුද කියන්නේ කළු ග`ග හරස් කරලා වතුර දෙනවා කියලා. එතකොට මේ තේ ඉඩම්වලට මොකද වෙන්නේ? මේ අපේ අයගෙ පිස්සු කතානෙ හාමුදුරුවනේ."

 (2012 පළාත් සභා මැතිවරණය, මහින්ද රාජපක්ෂ)

"හම්බන්තොට උන්ට මොකට ද වතුර, උන්ට ගුවන්තොටුපළවල්, වරායවල් ඔය සේරම තියනවා. මොනරාගල ජනතාවට තමයි වතුර නැත්තෙ."

-ඇමැති ජගත් පුෂ්පකුමාර.

" වතුර තියෙනවා. ඒත් ඔයාල වී වවන්න එපා. ගබඩාවල වී  ඕන තරම් තියෙනවා. ඔයාල වී වැවුුවම රජයට තමයි කරදරේ."

(මහවැලි නිලධාරීන්)

"තොපි කිව්වා, අපි වැව්වා. වතුර නැතොත් වන්දි දියව්, වන්දි නැතොත් වතුර දියව්."

(සූරියවැව ගොවියන්)

‘‘මේ වතුර ප‍්‍රශ්නෙ අපි වෙනම කතා කරමුකො. ඊට කලින් ජනාධිපතිතුමා 2005 ගොවියන්ට පොරොන්දු වුණා කළු ගග හරස් කරලා උඩවලවට වතුර අරගෙන වම් ඉවුරේ ඇඹිලිපිටිය කිරි ඉබ්බන් ආරේ සිට සූරියවැවට වතුර දෙනවා කියලා.  පෙරේදා එතුමා රත්නපුරේදී කියනවා ඒක කි‍්‍රයාත්මක කරන්නෙ නැහැලූ. මොකද එහෙ ඡුන්දෙනෙ. අරහෙන් ජගත් පුෂ්පකුමාර ඇමැතිවරයා සෙවණගලට ඉහළින් කටුපිලවැව කියන හරියෙදි වම් ඉවුරේ ඇළ හරහා විශාල ගල්වැටියක් දාලා වතුර හරස් කරලා, උක් වගාවට හා කෙසෙල් වගාවට වතුර ගන්නවා. රක්ෂිතය ඇතුළටත් වතුර ගෙනියනවලූ. මේ ගල් වැටිය ළග පැය 24 පුරාම මුර දාල ඉන්නෙ. අපි

පහුගියදා මිරිජ්ජවිලදි උද්ඝෝෂණය කළේ මේ ගල් වැටිය ඉවත් කරන්න කියල. ඒකට නාමල් මන්තී‍්‍රතුමා එනවා කිව්වා අපේ ප‍්‍රශ්නෙ අහන්න. ඒත් ආවෙ හමුදාවෙන්. ඒ අය ඇවිල්ල අපිට ගුටි ඇන්න. අපි ඉතින් බය නිසාම ගෙවල්වලට ගියා. දැන් ගෙවල්වලට පොලිසියෙන් එනවා පාර හරස් කළා කියලා අපිව උසාවි ගෙනියන්න. ගොවි සංවිධාන සභාපතිල දෙන්නෙක්ව උසාවි දාල පෙරේදා ඇප දුන්නා.’’

සූරිය වැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජීවත්වන පවුල් සංඛ්‍යාව තිස්හයදහසකි. එහි වගාබිම් අක්කර හැටදහසක් තිබේ. ජලය නොදීමෙන් වියළී ගොස් ඇත්තේ එම වගාබිම්ය. උඩවලව වම් ඉවුරේ කිරි ඉබ්බන් ආරේ සිට සූරිය වැව දක්වා ජලය ලබාගන්නේ උඩවලව වම් ඉවුරේ මෙම ඇලෙනි. පසුගිය අපේ‍්‍රල් මාසයේ කන්න රැුස්වීමේදී මහවැලි නිලධාරීන් දැනුම් දී ඇත්තේ ගොවියන්ට සිය වගා කටයුතු අරඹන ලෙසය. එහෙත් වී වගාව 50% කින් අතහැර දමන ලෙස ගොවියන්ට මහවැලියෙන් බලකර ඇත. සූරිය වැව ගොවියන් පවසන්නේ ජලය අක්කර අඩි 70,000 ක් තිබියදී ද මීට පෙර තමන් වගා කටයුතු සාර්ථකව සිදුකළ බවයි. එහෙත් පසුගිය අපේ‍්‍රල් මාසය වනවිට උඩවලව ජලාශයේ ජලය අක්කර අඩි 1,76,000 ක් තිබී ඇත. ජල හි`ගයට ප‍්‍රධාන හේතුව ලෙස ගොවියන් පවසන්නේ කාරණා දෙකකි. එනම් සබරගමුවේ ඡුන්දය නිසා උඩවලවෙන් චන්ද්‍රිකා වැවට ජලය ලබාගෙන සබරගමුවේ ගොවියන් අතර බෙදාහැරීමය. එලෙස ජලය ලබාදීමට සමනල වැවෙන් ද අතිරේකව ජලය අක්කර අඩි දසදහසක් උඩවලවට ලබාගෙන තිබේ. අනික් හේතුව ලෙස ගොවියන් පවසන්නේ ජගත් පුෂ්පකුමාර අමාත්‍යවරයාගේ අනුදැනුම මත සෙවණගලට ඉහළින් උඩවලව වම් ඉවුරේ ඇළ හරහා ඉදිකළ ගල්වැටියකි. මහවැලි නිලධාරීන්ට පවා තර්ජනය කර ඉදිකර ඇති මෙම ගල්වැටියෙන් සූරියවැවට ජලය ගලා ඒම මුළුමනින්ම වැළකී ඇත. සූරිය වැව පීදෙන කුඹුරු බිම් මුළුමනින්ම මේ වනවිටත් වියළී ගොසිනි. කෙසෙල් ඇතුළු අතිරේක වගා ද එම ඉරණමට ගොදුරුවෙමින් පවතී. බද්දට රැුගෙන කුඹුරු අක්කර 14 ක් වගා කළ ගොවියකු ස`දහන් කළේ තමන්ට වස බීම හැර අන් මගක් නොමැති බවය. ඔවුන් තම ප‍්‍රශ්නය

විස`දාගැනීමට උද්ඝෝෂණ තුනක් පවත්වා තිබේ. ඒ සූරිය වැව ඇඹිලිපිටිය හා මිරිජ්ජවිලය. මිරිජ්ජවිල හන්දියේ අවසන් උද්ඝෝෂණයට කුමන හෝ දේශපාලකයකු එතැයි ගොවියන් බලාපොරොත්තුවෙන් සිට ඇතත් එතනට පැමිණ ඇත්තේ හමුදාවෙනි.

‘‘තොපිට ගහල අපිට වැඩක් නෑ. තොපි පාර හරස් කරගෙන ඉන්නවා, පාර නිදහස් කරල දෙන්න කියල ඉහළින්  ඕඩරයක් ආවා.’’ පහර කා විසිර යන ගොවියන්ට හමුදා නිලධාරීන් පවසා තිබේ.

ගොවි බිම් වලින් වඩාත් වැඩි වැඩියෙන් ඇසෙන්නේ අරගලයක් නොව විලාප හ`ඩකි.

‘‘අපිට ආණ්ඩුව එළවන්න  ඕන නෑ. අපිට වතුර දෙන්න. වගාව වේළෙනවා’’යනුවෙන් විලාප හඩ අතරින් ඇසේ. ඔවුන් දන්නා දේශපාලනය අතරේ නොදන්නා දේශපාලනයක් ද ඇති බව නොදනී. අවශ්‍ය වන්නේ අර්බුදය වටා කැරකෙන සෙක්කු දේශපාලනය පත්තිරු අතර පට්ටාපතුරු ගැසීමෙන් නොනැවතී නොදන්නා දේශපාලනය හා දන්නා දේශපාලනය අතර පරතරය අවම කිරීමක් නොවේද?

 

ධනූ රාමවික‍්‍රම

This content has been locked. You can no longer post any comment.

පුවත්