A+ R A-

තිලක් කරුණාරත්න කියන්නෙ ගෝඨාභය රාජපක්ෂ ගැනද?

E-mail Print PDF

 

altශ‍්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිධුරයෙන් ඉල්ලා අස් වූ තිලක් කරුණාරත්න පසුගිය සතියේ ජනමාධ්‍ය වෙත විවිධ ප‍්‍රකාශ නිකුත් කළේය. ඔහුට අනුව, එම කොමිෂන් සභාවෙන් යම් කිසි විමර්ශනයක් ආරම්භ කරන විට එක්වරම  කිසිවකුගෙන් දුරකථන ඇමැතුමක් ලැබේ. ‘‘මේ අය මගේ මිත‍්‍රයෝ තිලක්, ඔතන ඉන්න සමහර අය යූ.ඇන්.පී. කාරයෝ. ඒ නිසා ඒ අය කියන ඒවා පිළිගන්න එපා. මෙතන මගේ යාලූවො වගයක් ඉන්නවා. එයාල ගැනත් ඉන්ක්වයරි එකක් දාලලූ. ඒ අය කියන දේවල් ඔයාට වැදගත් වෙයි. මම ෆෝන් එක දෙන්නම්. ඔන්න  ඕක අපි අල්ලලා දාමු’’ වැනි අවවාද දුරකථනයෙන් අසන්නට ලැබේ.

ශ‍්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිධුරයට පත්වීම ලබාදුන්නේ ජනාධිපතිවරයා වුවද ඔහුට ඉල්ලා අස්වීමට සිදුවූයේ ජනාධිපතිවරයාගේ ඥාති හිතවතුන්ගේ බලපෑමෙන් බව ඔහු නොකියා කීවේය. විවිධ බලපෑම් දිගින් දිගටම එල්ලවීම නිසා ඉල්ලා අස්වීමට සිදු වූ බව ඔහු කීය. දිගු කාලයක සිට ජනාධිපතිවරයාගේ මිතුරකු වන තමා, එසේ පත්වීමට පෙර, ජපානයේ හෝ බි‍්‍රතාන්‍යයේ තානාපති ධුරයක් භාරගන්නට ජනාධිපති කළ ඇරැයුම ප‍්‍රතික්ෂේප කළ බව ඔහු කියා සිටියේය.

ඉන්පසුව, තෙල් සංස්ථාවේ සභාපතිධුරය බාරගන්නා ලෙස කළ ඉල්ලීම ද ප‍්‍රතික්ෂේප කළ ඔහු සුරැකුම්පත් හා විනිමය කොමිසමේ වගකීම භාරගන්නා ලෙස කළ ඉල්ලීමට එකඟ වී තිබේ. ඔහු එසේ පත් වූයේ 2011දෙසැම්බරයේය. පසුගිය වසර අවසානය වනවිට සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිධුරයේ සිටි ඉන්ද්‍රානි සුගතදාස ඉල්ලා අස්වීම මහත් ආන්දෝලනයක් ඇතිකර තිබිණි. ඉල්ලා අස්වීමට සිදුවූයේ ස්වාධීන ලෙස වගකීම ඉටුකිරීමට පරිසරයක් නොමැතිකමෙන් බව හිටපු සභාපතිනිය සිය තීරණයට හේතු පැහැදිලි කළාය. ඒ අනුව, මෙම පදවියට පත්වන විටම ඔහුට ලැබෙන අවබෝධය විය යුත්තේ තමන්

බාරගන්නේ යම් යම් හේතු නිසා ස්වාධීනව කටයුතු කළ නොහැකි වගකීමක් බවයි. තිලක් කරුණාරත්න ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ සහ දේශපාලනයේ ප‍්‍රවීණයකු ලෙස ඒ බව නොදැන තනතුරට පත්වූවා යැයි සිතිය නොහැකිය. එහෙත් මාස 8කට පසුව, ඉල්ලා අස්වන අවස්ථාවේදී තිලක් කරුණාරත්න කියන්නේ ද හිටපු සභාපතිනිය දැක්වූ හේතුවටම සමාන දෙයකි. ඇය කී ස්වාධීනතාවක් නොමැතිකම ඔහු කියන බාහිර බලපෑම් ප‍්‍රශ්නය නොවේද?

ඉන්ද්‍රානි සුගතදාස, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ බිරිය ද වන නිසා ඇයට ස්වාධීන ලෙස කටයුතු කරන්නට නොහැකිවූයේ මන්ද යන ගැටලූව මතුවේ. ජනාධිපතිවරයාගේ ඥාතියකු හා සමීපතමයකු ද වන ජනාධිපති ලේකම්ගේ බිරියට රජයේ තනතුරක් ස්වාධීනව දරා සිටින්නට නොහැකි තරම් තත්වයක් පවතින්නේ නම් රාජ්‍ය ආයතනවල තත්වය වටහාගත හැකිය. එක් දෙයක් මෙහිදී පැහැදිලි කරගත යුතුය. ඇයගේ ස්වාධීන සේවයට බාධාකාරී වූ බලපෑම් එල්ලවූයේ එක්කෝ ජනාධිපතිවරයාගේ පැත්තෙන් විය යුතුය. නැතිනම් ජනාධිපතිවරයාට මැදිහත් වන්නට නොහැකි අයකුගෙන් විය යුතුය. අනෙක් අතට තිලක් කරුණාරත්න මේ කතාව කියන්නේ සිය තනතුරේ මාස 8ක අත්දැකීම්වල අවසානයේය. එක්කෝ ඔහු ඒ කාලය තුළ බලපෑම් පරදවා සිය කාර්යය ඉදිරියට ගෙන යන්නට උත්සාහ කළා විය යුතුය. නැතිනම්, ඔහු මාස 8ක් එම බලපෑම් ඉවසමින් සිය පැරණි හිතවතා වන ජනාධිපතිවරයා

තමන්ගෙන් අපේක්ෂා කළ වැඬේ කරගෙන සිටියා විය යුතුය. ඇත්තටම කරුණාරත්න ඉල්ලා අස්වූයේ ඔහු කියන ආකාරයේ මාෆියාවක් කොටස් වෙළෙඳපොළ තුළ ක‍්‍රියාත්මක වන නිසාද?

මේ ගැන තවදුරටත් සිය අදහස් ප‍්‍රකාශ කරමින් ඔහු පවසා සිටියේ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ කල්ලියක් විසින් කොටස් වෙළෙඳපොළ තුළ මාෆියාවක් පවත්වාගෙන යන නිසා තමන්ට එහි කටයුතු පාලනය කිරීමට නොහැකි තත්වයක් පවතින බවයි. මේ හා සමාන්තරව ප‍්‍රකට ව්‍යාපාරිකයකුවන දිලිත් ජයවීර පවසා තිබුණේ රසවත් කතාවකි. එක්තරා අවස්ථාවක දිලිත්, තම ව්‍යාපාරික කටයුත්තකට ආරක්ෂක ලේකම්වරයා හමුවූ විට කොටස් වෙළෙඳපොළේ කටයුතු ගැන අහම්බෙන් සාකච්ඡුාවක් මතු වී ඇත. එහිදී ගෝඨාභය රාජපක්ෂ  විසින් සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරයා දුරකථන ඇමතුමකින් සම්බන්ධ කරගෙන තිබේ. තමන්ගේ හිතවතුන් පිරිසක් තමන් අසල සිටින බවත් කොටස් වෙළෙඳපොළේ ක‍්‍රියාකාරිත්වය ගැන ඔවුන් යම් යම් කරුණු තමන් හා පැවැසූ බව හා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ කටයුතුවලදී ඔවුන්ගේ අදහස් ද ප‍්‍රයෝජනවත් වනු ඇති බව ආරක්ෂක ලේකම්වරයා දුරකථනයෙන් පවසා තිබේ. මෙහිදී මතක තබාගත යුතු වන්නේ දිලිත්ගේ ව්‍යාපාර ආයතනයක් සම්බන්ධවද විමර්ශන සිදුවෙමින් තිබෙන බවයි. ශ‍්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් පරීක්ෂණ පවත්වන ආයතන 17කි. ඒ කෙසේවෙතත් කොමිසමේ නව සභාපතිවරයා දිලිත්ට හිමිකම් ඇති දිවැස මුල්‍ය ආයතනයේ සභාපතිවරයා වේ. නාලක ගොඩහේවා යනු, කල්පිටිය බීච් හෝටලයේ මෙන්ම වස්කඩුව බීච් හෝටලයේද සභාපති වේ. එමෙන්ම ඔහු කොළඹ කොටස් වෙළඳ පොළේ ආයෝජනයේ යෙදෙන සමාගම් රැසක කොටස් හිමියෙකි. එසේ නම් මෙම නව පත්කිරීම පවා ප‍්‍රශ්නකාරි වේ. සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් දැනට විමර්ශන සිදුවන ආයතනවලට සම්බන්ධ පුද්ගලයකු එකී විමර්ශන ආයතනයේ ඉහළම වගකීමට පත්වීම කෙසේ නම් විස්තර කරමුද? ගමේ ගොඬේ භාෂාවෙන් ‘නරියාට කුකුළන් භාරදීම’ යැයි කියන්නේ මේවාටය.

වැදගත්වන්නේ නාලක ගොඩහේවා හෝ තිලක් කරුණාරත්න  හෝ වෙන අයකු තනතුරුවලට පත්වීම නොවේ. වැදගත් වන්නේ වෙනස්වන මෙම තත්වයන් තේරුම්ගත යුත්තේ කුමන ආකාරයෙන්ද යන්නයි. සාමාන්‍යයෙන් දේශපාලනයේ යෙදෙන කවුරුත් මෙවැනි සබඳතා පවත්වමින් ඒවා නඩත්තු කරමින් අන්‍යෝන්‍ය පෝෂණයත්, සහයෝගිතාවත් ආරක්ෂා කරති. ආයතන සංග‍්‍රහය හා පිළිගත් ආයතන පටිපාටි ඇතුළු වෙනත් මූලධාර්මික තත්වයන් තිබිය දී මෙවැනි ගනුදෙනු ඇත්තේ වත්මන් ආණ්ඩුවේ පමණක් නොවේ. කළයුතු දේ කරන්නට වෙනත් කිසිවකු උපදෙස් දෙන්නේ නම් එය බාරගතයුතු වන්නේ කුමන අරුතකින්ද යන්න සීරු මාරුවට වටහා ගත යුතුය. කවුරුන් කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය යන කියමන මෙහිදී නිරායාසයෙන් අපගේ මතකයට පැමිණෙයි. එය තිලක් කරුණාරත්න ඉල්ලා අස්වීමේදී කියන කාරණයට ද අදාළය.

විශේෂ ලියුම්කරුවකු විසිනි

This content has been locked. You can no longer post any comment.

සේයා සටහන

අවුරුදු දා

අවුරුදු දා

අධ්‍යාපනයේ නිදහසත්, නිදහස් අධ්‍යාපනයත් දිනා ගැනිමේ අරගලයට, අවුරුදු දා වුව විරාමයක් නොතබන ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය

Search