2011 වසරේ පැවැති උසස් පෙළ විභාගයේ දිස්ත්‍රික් සහ ජාතික කුසලතා යළි සකස්කර සැප්තැම්බර් 10 දිනට පෙර නිකුත්කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අද නියෝග කළේය.
උසස් පෙළ විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් සිසුන් 400කට අධික පිරිසක් ගොනුකළ පෙත්සම් 7ක් අද විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය මෙම නියෝගය නිකුත්කරනු ලැබීය.
අගවිනිසුරු ආචාර්ය ශීරානි බණ්ඩාරනායක, නිමල් ගාමිණී අමරතුංග හා කේ. ශ්‍රීපවන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලිණ.
2011 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවක් ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අද අධිකරණයට ඉදිරිපත් කළේය.
එහි දී ක්‍රමවේද 4 ක් යෝජනා කර තිබේ.
පළමු ක්‍රමවේදය අනුව අමතර සිසුන් 3,675 දෙනෙකු විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගත යුතු බවද, දෙවන ක්‍රමවේදය අනුව අමතර සිසුන් 3,048 දෙනෙකු ද තුන්වන ක්‍රමය අනුව අමතර සිසුන් 4928 දෙනෙකු ද බඳවා ගත යුතු බවද සිව්වන ක්‍රමවේදය අනුව අතිරේක සිසුන් 4457 දෙනෙකු බඳවා ගත යුතු බවද යෝජනා කර සිටී.
මෙම ක්‍රමවේදයන් 4 සලකා බැලූ අධිකරණය තුන්වන ක්‍රමවේදය වන අමතර සිසුන් 4,928 දෙනෙකු ඇතුළත් කරගැනීමේ යෝජනාව වඩාත් සුදුසු බව පෙන්වා දුන්නේය.






