සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව සමාගම් කිහිපයක් පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවට පසුගියදා පළවූ මාධ්‍ය වාර්තා කොමිසම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
එම වාර්තාවල දැක්වුණු කිසිදු සමාගමක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර හෝ පරීක්ෂණයක් සිදු කිරීමට තීරණය කර නැති බවත් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්න පසුගියදා ඉල්ලා අස්වූයේ තමන්ට ව්‍යාපාරිකයින් හා තැරැව්කරුවන් කණ්ඩායමකින් බලපෑම් එල්ලවූ බව පවසමිනි.
තිලක් කරුණාරත්න මහතා පවසා තිබූ පරිදි ඔහු ඉල්ලා අස්‌වන විට කොටස් වෙළෙඳපොළ අක්‍රමිකතා සම්බන්ධ විමර්ශන 17ක් විභාග වෙමින් තිබී ඇත. එසේම කරුණාරත්න මහතා නව සභාපතිවරයා ලෙස පත් වන විට කොමිසමේ විමර්ශන කටයුතු කොමිෂන් සභාව විසින් ගන්නා ලද තීරණයකින් තොරව ලැබී තිබූ යම් යම් උපදෙස් අනුව නැවතී තිබූ බවද ඒ මහතා මාධ්‍යයට පවසා තිබිණි.
තිලක් කරුණාරත්න මහතාගෙන් පසු එම තනතුරට පත් කළ ආචාර්ය නාලක ගොඩහේවා මහතා සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් සිදු කරමින් පැවැති විමර්ශන එලෙසම ඉදිරියටත් කරගෙන යන බව "දි අයිලන්ඩ්" පත්‍රයේ "නෑන්ෂල් රිවීව්" අතිරේකය කළ විමසුමකට පිළිතුරු දෙමින් පවසා තිබිණි.








