Latest news
A+ R A-

108ක්‌ තෝරා ගන්න 3073ක්‌ තරග බිමේ - ඡන්දය ප්‍රකාශ කිරීම මන්දගාමියි

E-mail Print PDF

 

උතුරු මැද, නැගෙනහිර හා සබරගමුව පළාත් සභා මැතිවරණය අද (08වැනිදා) පෙරවරු 7.00සිට සවස 4.00දක්‌වා ඡන්ද මධ්‍යස්‌ථාන තුන්දහස්‌ දෙසිය හතළිස්‌හතකදී පැවැත්වෙයි. ඡන්ද ප්‍රකාශකිරීම සඳහා පළාත් තුනෙන් ඡන්දදායකයන් තිස්‌තුන්ලක්‍ෂ තිස්‌හයදහස්‌ හාරසිය දාහතක්‌ සුදුසුකම් ලබා ඇත.

කෙසේ වෙතත් අද උදෑසන කාලය වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු මන්දගාමීව සිදුවූ බව අප වාර්තාකරුවන් පවසති.

මැතිවරණයට තරග කිරීමට දේශපාලන පක්‍ෂ විසිපහකින් හා ස්‌වාධීන කණ්‌ඩායම් අසූහයකින් අපේක්‍ෂකයන් තුන්දහස්‌ හැත්තෑතුන්දෙනකු ඉදිරිපත් වී ඇති අතර එයින් නියෝජිතයන් එකසියඅටදෙනකු තෝරා පත්කර ගැනීමට නියමිතය.

උතුරු මැද පළාත් සභාවට දේශපාලන පක්‍ෂ නවයකින් හා ස්‌වාධීන කණ්‌ඩායම් දොළහකින් අපේක්‍ෂකයෝ පන්සිය හතළිස්‌හතර දෙනකු තරග කරන අතර එයින් තිස්‌එක්‌ දෙනකු තෝරාගැනීමට නියමිතය. අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේදී සිදු කෙරේ.

සබරගමුව පළාත් සභාවට දේශපාලන පක්‍ෂ පහළවකින් හා ස්‌වාධීන කණ්‌ඩායම් දහනවයකින් අපේක්‍ෂකයන් එක්‌දහස්‌ පනස්‌නවදෙනකු තරග කරන අතර එයින් හතළිස්‌ දෙනෙක්‌ පළාත් සභාවට තෝරා ගැනෙති.

දේශපාලන පක්‍ෂ දහසයක්‌ හා ස්‌වාධීන කණ්‌ඩායම් පනස්‌පහක්‌ නැගෙනහිර පළාත් සභාවට තරග කරති. එහිදී අපේක්‍ෂකයන් එක්‌දහස්‌ හාරසිය හැටදෙනකු තරග කරන අතර නියෝජිතයන් තිස්‌පස්‌දෙනකු තෝරා ගැනීමට නියමිතය. අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය යන දිස්‌ත්‍රික්‌ක තුන මෙම පළාත් සභාවට අයත් වන අතර එම දිස්‌ත්‍රික්‌කවලින් පිළිවෙළින් දාහතර, එකොළහ සහ දහය වශයෙන් නියෝජිතයන් තෝරා ගැනීමට නියමිතය.

ඡන්ද ගණන් කිරීමේ කටයුතු අදාළ දිස්‌ත්‍රික්‌කවලට ඡන්ද පෙට්‌ටි ලැබිමෙන් පසුව සවස 6.00ට පමණ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක්‌ පැවැසීය. ඒ අනුව ප්‍රථම තැපැල් ඡන්ද ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියට පෙරත් කොට්‌ඨාස මට්‌ටමින් ප්‍රථම ප්‍රතිඵල හෙට අලුයම එක පමණ වන විටත් නිකුත් කිරීමට හැකිවනු ඇති බවද හෙතෙම කීය.

 

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 88 guests online

Advertisment

advertisment